වන්නියේ ස්ථාපිත කර තිබෙන බන්ධනාගාරයක අධික තද බදයක් පවතින බව පෙන්වා දෙන එම බන්ධනාගාරයේ සතියක් සිරගත කොට සිටි අයකු එම

ස්ථානය වධකාගාරයකට සමාන කර තිබේ.

මහසිවරාත්‍රී දිනයේ හින්දු ආගමික වතාවත් පැවැත්වූයේ අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමිනැ’යි  නගන ලද චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් අධිකරණය විසින් නඩුව නිෂ්ප්‍රභ කිරීම නිසා නිදහස ලැබු දෙමළ තරුණයකු මෙම අනාවරණය කර ඇත.

 වව්නියාව මාධ්‍ය සමාජයේ දී මාර්තු 21 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් සුබ්‍රමනියම් තවපාලසිංහම් පෙන්වා දී තිබුනේ වව්නියාවේ බන්ධනාගාරයේ රැඳවිය හැකි පිරිස මෙන් තුන් ගුණයකට ආසන්න පිරිසක් එහි රඳවා සිටින බවයි.

 
"වව්නියාව හිරගෙදර, බන්ධනාගාරයකට වඩා වධකාගාරයක් කියලා කියන්න පුළුවන්. බන්ධනාගාරයේ කිහිම මූලික පහසුකමක් නෑ. 200 ට අඩු පිරිසක් එහි රැදවීමේ හැකියාව තියෙද්දී ගිය අගහරුවාදා වෙනකොට 586 කට වැඩි පිරිසක් එහි රදවා තිබුනා."

සුබ්‍රමනියම් තවපාලසිංහම් අවධාරණය කරන්නේ එම පිරිසට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමෙන් ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර මේ වන විට රටේ පවතින අධික උණුසුම් කාලගුණික තත්වය හමුවේ බහුතරයක් කුෂ්ඨ රෝගවලින් ද පීඩා විදින බවයි.

"ඔවුන් ඉන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් යන මූලික දේ නැති පරිසරයක. ජල සැපයුම ඉතා දුර්වලයි. පුද්ගලයන් 586 දෙනෙකුට තියෙන්නේ අඩි 10ක් 12 ක් පමණ වන එක වතුර ටැංකියක් විතරයි.  ඒ වතුර ටැංකියවත් හරියට වැඩ කරන්නේ නැහැ. බාල්දි තුනකින් වතුර දෙනවා. සබන් ගෑවාට පස්සේ තවත් බාල්දි තුනක් වතුර දෙනවා. ඒ වතුර බාල්දි 6ට පැය දෙකහමාරක් ඉන්න වෙන තත්වයක් තියෙනවා. පවතින අධික උණුසුම් කාලගුණ තත්වය නිසා සිරකරුවන් වැඩි පිරිසක් කුෂ්ඨ රෝගවලින් පීඩා විඳිනවා"

 මෙම තත්වය මුලික මානව හිමිකම් උල්ලංඝනක් ලෙසින් පෙන්වා දෙන සුබ්‍රමනියම් තවපාලසිංහම් මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අනතුරු අඟවා තිබුනේ රැඳවියන්ගේ ජීවිත අනතුරු පවා ඇති වීමේ තත්වයක් පවතින බවයි.

 
"ජීවිත අනතුරු පවා ඇති වීමට ඉඩ තියනවා. මේ මූලික පහසුකම් ලබාදිය යුතු කියන එක තමයි රැදවියන්ගේ ඉල්ලීම. ඔවුන්ට නිදාගන්නවත් පහසුකම් නැහැ. මේක මුලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි අපි දකින්නේ."

සියළු දෙනා නිදහස්



වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි  ආදි ලිංගේස්වර කෝවිලේ  මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.

හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට  කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර ඔවුන් සියළු දෙනා නිදහස් කිරීමට වව්නියාව දිසා  අධිකරණය මාර්තු 19 වැනිදා  නියෝග කර තිබුනි.

චෝදනා පත්‍ර ගොනු කිරීමට පොලිසිය අසමත් වීම නිසා අධිකරණය විසින් මුදා හරින ලද්දේ කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනාය.


"සාඩින් පැටවූ" ආකාරයෙන්


 1980 සිට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) කොටස්කාර ශ්‍රී ලංකාව, සැකකරුවකු නිරපරාදේ සිරගත කිරීම සම්බන්ධයෙන් වගවීමට බැඳී සිටී.


ලංකාණ්ඩුව විසින් 2021 වසරේ සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළිවී තිබුනේ "බන්ධනාගාරගත ජනගහනයේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන” බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුව කෑගල්ල ප්‍රදේශයේ ජනාකීර්ණ වීම සියයට 511ක් ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය එය සියයට 443ක් ලෙස අනාවරණය කරගෙන ඇත.

ශ්‍රී ලංකාවද සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් සම්මත කොටගෙන ඇති මැන්ඩෙලා නීති නමින් හැඳින්වෙන බන්ධනාගාර අයිතිවාසිකම් පිළිබඳ කොන්දේසි ප්‍රකාර එවැනි තදබදයකින් විය හැක්කේ තවත් ගැටලු ඇති කිරීම පමණෙකි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ බන්ධනාගාර පිළිබඳ වාර්තාවේ සඳහන් පරිදි සිර කුටි වල සිරකරුවන්ට දිවි ගෙවන්නට සිදුවී ඇත්තේ "සාඩින් පැටවූ" ආකාරයෙනි.

 බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද අධ්‍යනයකට අනුව දැනට දශකයකට වැඩි කාලයක් තුළ බන්ධනාගාරවල තදබදය නොවිසඳී ඇති ප්‍රශ්නයකි. එය 2016 දී 148.6% දක්වා අඩු වූ නමුත් ඉන් පසුව ක්‍රමයෙන් 2020 දී සමස්ත ප්‍රතිශතය 248.7% දක්වා වැඩි වී ඇත.


රජයේ දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය නොමැතිකම නිසා බන්ධනාගාරවල තදබදය වැඩි වී සිරකරුවන්ට මෙවැනි දුක්ඛිත තත්වයන්ට මුහුණ දීමට සිදුවී ඇත.

ආණ්ඩුවේ ‘යුක්තිය’ මෙහෙයුම සමගින් හිරගෙවල් පිරී යාමෙන් අයිතිවාසිකම් උල්ලංඝනය වීම මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පසුගියදා සාධාරණීකරණය කර තිබුණි.

“අපට සැකකරුවන් අල්ලා ගැනීම නවත්තන්න බෑ. බන්ධනාගාරයේ රැඳවියන්ගේ තදබදය කළමනාකරණය කිරීම බන්ධනාගාර කටයුතු ඇමැතිවරයාගේ යුතුකම,“ යැයි අමාත්‍ය ටිරාන් අලස් ජනමාධ්‍ය වෙත පවසා තිබුනි.

බන්ධනාගාරවල අධික තදබදය දරුණු ප්‍රතිවිපාක සහිත ප්‍රචණ්ඩත්වයට තුඩු දීමෙන් මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරය 2020 වසරේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පලකරන ලද වාර්තාවක් මගින් පෙන්වා දෙන ලදී.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්