පාස්කු ප්‍රහාරය කළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරන හෙයින් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක්

ආරම්භකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයාට නියෝගකර ඇත.

ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය.

"මේක රහසිගතව තියා ගත යුතු කාරණයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ." හෙතෙම සඳහන් කළේය.

 අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලුදෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන ඊයේ (22) පැවසිය.

 
අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් ඊයේ එක් වූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

"මට කලකිරීමකට වඩා මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මම 2015 පොදු අපේක්ෂකයා විදියට මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතා ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න ඕන වුණා. ඒ වැඩපිළිවෙල මට ගෙනියන්න හම්බ වුණේ නෑ. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. විපක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ. 19 වන සංශෝධනයෙන් මගේ බලතල නැතිව ගියා. මම කැමැත්තෙන් තමා ඒ දේවල් දුන්නේ. නමුත් මම හිතුවේ නෑ බලය ගන්න අය වැරදි විදියට පාවිච්චි කරයි කියලා. ඒ නිසා ආණ්ඩුව සහ විපක්ෂය දෙගොල්ලෝම එකතු වෙලා මට පහරදුන්නා.

ඊළඟට පාස්කු ආවා. අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කවුද කළේ කියලා කවුරුත් කියලා නෑ. මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිත් ප්‍රකාශයක් කරන්න. මම ලෑස්තියි පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා හෙළි කරන්න. අනිත් එක ඒක රහසිගතව තියා ගන්න එකත් ඒ විනිසුරුවරුන්ගේ කාර්යක් වෙනවා."

අස්ගිරි මහා විහාරයේ පැවැති මෙම අවස්ථාවට අස්ගිරි මහානායක අතිපූජ්‍යය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අනුනායක පූජ්‍ය  වේඩරුවේ ශ්‍රී උපාලි, අනුනායක පූජ්‍ය  ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිවරු මෙන්ම හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියහ.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්