ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සත්ව අහිංසා ස්මාරකය පිහිටා ඇත්තේ පාදෙණිය -අනුරාධපුර රාජධානි පිවිසුම ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුව,

සෙනරත්ගම, පුලංචිය වැව අසබඩ පිහිටි ගිමන්හල පාරිසරික උද්‍යානයේ ය. අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධක සංවිධානය මගින් ඉදිකොට ගල්ගමුව ප්‍රාදේශීය සභාව වෙත භාර දෙනු ලැබූ එහි පාලනය සහ නඩත්තු කටයුතු මුළුමනින්ම ගල්ගමුව ප්‍රාදේශීය සභාව මගින් සිදු කරනු ලැබේ.මේ වන විටත් එය මෙම මාර්ගයේ ගමන් ගන්නා මඟීන් විශාල පිරිසකගේ ආකර්ශනයට ලක් වෙමින් පවතී.

එම තත්වය යටතේ 2024 වසරේ සිංහල අලුත් අවුරුදු, වෙසක් සහ විශේෂයෙන් පොසොන් සමය මුල් කොට පාදෙණිය- අනුරාධපුර මාර්ගයේ ගමනා ගමන කටයුතු වල යෙදෙන වන්දනා කරුවන් ඇතුළු මගී ජනතාව අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් ද මෙම ගිමන්හල උද්‍යානයේ පිහිටි සත්ව අහිංසා ස්මාරකය දැක බලා ගැනීමටත් එහි විවේක සුව විඳීමටත් පැමිණෙනු ඇත.මේ වන විට ද එම පැමිණීම් වල සැලකිය යුතු ප්‍රවර්ධනයක් දක්නට ලැබේ.

එම ජනතාව සේම ගල්ගමුව ප්‍රදේශ වාසීන් තුළ සත්ව අහිංසා ආකල්ප ප්‍රවර්ධනය කරනු පිණිස ‘සතුනගෙ හිමිකම් අපගේ මනුදම්’ යන තේමාව යටතේ 2024 අප්‍රියෙල් 02 දා සිට ජූනි 30 තෙක් වන දිනය තෙක් එම ස්මාරකය කේන්ද්‍ර කොට සත්ව අහිංසා ආකල්ප ප්‍රවර්ධන දින අනූවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාව අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධන සංවිධානය එකඟත්වයට පත්ව තිබේ.

 

WhatsApp Image 2024 04 02 at 15.56.49

එම කාල සීමාව තුළ සෑම සති අන්තයක්ම ආවරණය වනු පිණිස සත්ව හිමිකම් ප්‍රවර්ධන වැඩසටහන්, පරිසර බක් මහ උළෙලක්, ලේ දන් දීමේ කඳවුරක්, ආරක්ෂාකාරී සර්ප දමනය පිළිබඳ ප්‍රායෝගික නිරූපණය, සුනඛ ජලභීතිකා එන්නත් සහ වන්ද්‍යාකරණ වැඩසටහන්,එළිමහන් නාට්‍ය ඇතුළු කුඩා දරුවන් සඳහා පාරිසරික දැනුවත් බව වර්ධනය කෙරෙන ක්‍රියාමාර්ග,වෙසක් පොසොන් දන්සල් ආදිය සංවිධානය කොට තිබේ.

එම වැඩසටහන් මාලාවේ උත්කෘෂ්ඨතම අංගය ලෙස 2024 ජුනි මස 21 දිනට යෙදෙන පොසොන් පුන් පොහොය කේන්ද්‍ර ගතව 2024 ජුනි 17 ඉරු දින සිට ජුනි 23 ඉරු දින තෙක් සංවිධානය කොට ඇති ස්වභාවික අමු ද්‍රව්‍ය යොදා සැකසෙන පොසොන් පහන් කූඩු තරඟය හඳුන්වා දිය හැක.

ගල්ගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පදිංචි සැමට එක්විය හැකි මෙම තරඟය සඳහා  ස්වභාවික අමුද්‍රව්‍ය වැඩිම ප්‍රමාණයක් යොදා ගනිමින් ගෘහස්ථ භාවිතය සඳහා යෝග්‍ය අන්දමින් නිර්මාණය කෙරෙන කලාත්මක බවින් පිරිපුන් දැකුම්කළු පොසොන් පහන් කූඩු තුන සඳහා පිළිවෙලින් රුපියල් විසි පන්දහස (රු. 25,000/-) විසි දහස (රු. 20,000/-) සහ පහලොස් දහස (රු. 15,000/-) වශයෙන් මුදල් තෑගි සහ අනෙකුත් තෑගි සමඟ සහතික පත් ප්‍රදානයක් කිරීමට ද අපි අදහස් කරමු. එමෙන්ම එම  ත්‍යාග ලබා දීම පිණිස සොබාදහම පරිසරය සේම සත්ව හිමිකම් රැකදීම සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන ආයතන වල හා පරිත්‍යාගශීලීන් ගේ ගේ කාරුණික අනුග්‍රහය අපේක්ෂා කෙරේ.

 

598850 246022882179545 1163793783 n

මෙම පහන් කූඩු තරඟයේ විනිශ්චය සඳහා අදාල කලා ක්ෂේත්‍රයන් හි වෘත්තීය මට්ටමේ සුදුසුකම් ලත්  විද්වතුන්, ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ නියෝජිතයකු සහ අහිංසා ශ්‍රී ලංකා සංවිධානයේ නියෝජිතයකු එක් වන අතර එම තරඟයේ තෑගි සඳහා අනුග්‍රහය සළසන පාර්ශවයේ නියෝජිතයකුට ද ඊට එක් වීමට අවස්ථාව උදා කෙරේ.

වර්තමාන සමාජ ආර්ථික රටාව තුළ මිනිසා සහ සොබා දහම අතර පැවැතිය යුතු  අවියෝජනීය සබැඳියාව බරපතල ලෙස හානි පැමිණෙන පසුබිමක හා අතීත සමාජයේ දුවා දරුවන් ඇතුළු මුළු පවුලේම සහභාගීත්වයෙන් හා සහයෝගයෙන් නිමා කෙරුණු වෙසක් සැරසිලි පවා  මුළුමනින්ම ආනයනය කරමින් එවක පැවැති පවුල් සබඳතා සේම දරුවන් ගේ පරිකල්පන ශක්තිය නිර්මාණාත්මක හැකියාව බරපතල ලෙස වනසා දැමෙන පසුබිමක් තුළ දියත් කෙරෙන මෙම සොබා දහම පිළිබඳ ආකල්ප ප්‍රවර්ධන වැඩ සටහන් දාමය සඳහා සැම ගේ කාරුණික සහයෝගය හා අනුග්‍රහය අපේක්ෂා කෙරේ.

 

WhatsApp Image 2024 04 02 at 15.58.21

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්