ජනපතිවරණය තෙක් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා සිටීමට ජනාධිපතිවරයා උත්සාහ කරන විට, බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට උත්සාහ දරන බව විපක්ෂ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.

දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වීමට ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම එකම දිනයේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවන බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසන්නේ.

“ජනාධිපතිවරයාට ඕනෑ ජනපති ධූරයේ බලය හීන වීම වලක්වා ගන්න ජනපතිවරණය තෙක් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ඉන්න. බැසිල් රාජපක්ෂ මහතාට ඕනෑ ජනපතිවරණ ප්‍රතිඵල ජනතාව දකින්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. මේ නිසා තමයි බැසිල් මහතා පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියන්න කියලා ජනාධිපතිට බල කරන්නේ. මේ නිසාම තමයි ජනාධිපති මේ ඉල්ලීම ඉටු කිරීම මග හරින්නේ. දැන් දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වෙන්න ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම එකම දිනයේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුල සාකච්ඡා කරන බව අපට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණා.”

 මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට නීතියෙන් බාධාවක් නැතැයි කී මන්ත්‍රීවරයා ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී සිටින බව ද සඳහන් කළේය.

 
“මැතිවරණ දෙකම එකම දවසේ පැවැත්වුවොත් ජනාධිපතිටත් පොහොට්ටුවටත් එක වගේ වාසියි.  නමුත් අපට වැදගත් ජනාධිපතිටවත් පොහොට්ටුවටවත් වාසි ක්‍රමය නොවේ.  රටට වාසි ක්‍රමය මොකක්ද කියන එකයි.” යැයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

මේ මොහොතේ කිසිම පක්ෂයකට වලංගු ඡන්ද වලින් 50%ක් ගන්න බැරි බව පවසන හෙතෙම, සාමාන්‍ය බහුතරය ලබා ගන්න බැරි වීම ජනපතිවරණයට ගැටලුවක් නොවුනත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බහුතරය නොමැති වුවහොත් පනතක් රෙගුලාසියක් යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකි වන බව පෙන්වා දුන්නේය.

“ඒ විතරක් නොවේ වසර දෙකහාමාරක් යන තුරු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. ඒ නිසා මැතිවරණයෙන් පසු එළැඹෙන පළමු වසර දෙකහාමාරම කිසිම වැඩක් නොවන කවුරුත් බල පොරයක ඉන්න මන්ත්‍රිවරු විකිණෙන අරාජික සමයක් උදා වන බවට කිසිම සැකයක් නෑ. ආර්ථික අර්බූදයක් මැද දේශපාලන අස්ථාවරත්වයක් රටේ ඇති වුණොත් රට නැවත ගොඩ ගන්න බැරි ආගාදයකට ඇද වැටෙනවා සිකුරුයි.” යනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image