සමාජ මාධ්‍ය නියාමනය සඳහා මෑතකදී රජය විසින් සම්මත කළ "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත" යටතේ පළමු තහනම් ආඥාව ( අප්‍රේල් 4 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්

නිකුත් කරන ලදී.

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම තහනම් ආඥාව නිකුත් කරනු ලැබීය.

මෙම තහනම් ආඥාව නිකුත් කෙරුණේ පැමිණිලිකාර ජනක රත්නායකගේ පුද්ගලික සහායිකාවක වශයෙන් කටයුතු කළ මේ වන විට තායිවානයේ වෙසෙන ගයත්‍රී බිම්බා, ජනක රාජපක්ෂ සහ ඔෂල හේරත් ඇතුළු පාර්ශ්ව 8 කට එරෙහිවය.

මෙම තහනම් ආඥාව පිළිබඳව ගූගල් සහ වට්ස්ඇප් සමාගම් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.


පැමිණිල්ල කුමක් ද?


පැමිණිලිකරු කියා සිටින්නේ වග උත්තරකාර ගයත්‍රි බිම්බා නමැත්තිය 1999 වසරේ සිට සිය පුද්ගලික සහයිකාව වශයෙන් කටයුතු කළ අතර ඇය සමග තමා සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව ය.

එම නිසා පැමිණිලිකරුගේ පුද්ගලික සහ රාජකාරී ජීවිතයේ තිබෙන අතිශය රහසිගත තොරතුරු වග උත්තරකාරිය දැන සිටි බව පැමිණිල්ලේ සඳහන් වේ.

පැමිණිලිකරු සහ වග උත්තරකාරිය ලිංගිකව එක්ව ජීවත්ව ඇති අතර එය ප්‍රසිද්ධ කරුණක් බවත් එවැනි අවස්ථාවලදී දෙපාර්ශවය විසින්ම ඡායාරූපගත කර තිබෙන බව පිළිගන්නා බවත් පැමිණිකරු කියා සිටියි.

 කෙසේ වෙතත් 2023 වසරේ පැමිණිලිකරු සහ වගඋත්තරකාරිය අතර පැවැති සමීප සම්බන්ධය බිඳී ගිය අතර ඉන් පසුව අදාල රහසිගත ඡායාරූප හා වීඩියෝ ගබඩා කර තිබූ තම දුරකථනයේ මුරපදය ඇය විසින් ලබාගෙන ඒවායේ පාලනය මේ වනවිට සම්පූර්ණයෙන්ම තමන් සතු කරගෙන ඇති බවත් පැමිණිලිකරු චෝදනා කරයි.

 
මෙවැනි වීඩියෝ දර්ශනයක් මෑතකදී වගඋත්තරකාරිය විසින් වට්ස්ඇප් [WhatsApp] හරහා හුවමාරු කරගෙන ඇති බවට තම මිතුරෙකු මාර්ගයෙන් දැනගන්නට ලැබුණු බවද පැමිණිලිකරු සඳහන් කර ඇත.

ඊට අමතරව talk with ලාල් සහ මී මැස්සෝ යනාදී [YouTube] නාලිකා ඔස්සේ වගඋත්තරකාරිය පෙනී සිටිමින් පැමිණිලිකරුට අගතියක් වන ආකාරයේ තොරතුරු ප්‍රකාශ කර තිබෙන බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

වග උත්තරකාරියගේ ක්‍රියාකලාපය පිරික්සීමේදී ඇය පැමිණිලිකරු ඉලක්ක කර ගනිමින් ඔහු හිරිහැරයට පත් කිරීමේ අදහසින් ඔහුට අදාළ පෞද්ගලික තොරතුරක් පැතිරවීමට හෝ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන ආකාරයක් පෙනී යන බවද ඔහු සඳහන් කරයි.


නීතිමය තර්ක

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

" ස්වාමීනී... මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත තාව පිළිබඳ පනතේ 20(1) වගන්තිය යටතේ යම් ඉලක්කගත පුද්ගලයෙකුට හිරිහැර කිරීමේ චේතනාවෙන් එම පුද්ගලයා පිළිබඳ පුද්ගලික තොරතුරු පළ කිරීම, ප්‍රචාරය කිරීම හා සන්නිවේදනය කිරීම වරදක් ලෙස දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ තුළ පමණක් නොව ඉන් පිටතදී පවා සිදුකරනු ලබන වැරදි ක්‍රියා මීට ඇතුළත්. යම් පුද්ගලයෙකු එවැනි චෝදනාවකට වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයක් නියම කිරීමට අධිකරණයට බලය තිබෙනවා. එසේම අදාල වගන්තිය යටතේ "පෞද්ගලික තොරතුරු" යන්නට යම් ඡායාරූපයක්, හඬ පටයක්, වීඩියෝ පටයක් ඇතුළත් වෙනවා." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තමා මෙම අවස්ථාවේදී වග උත්තරකරුවන්ට එරෙහිව නඩු විභාගයක් අපේක්ෂා නොකරන බවත් සඳහන් කළේය.

එහෙත් පැමිණිලිකරු සම්බන්ධයෙන් වූ පෞද්ගලික තොරතුරු ඔහු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන් පළ කිරීම, ප්‍රචාරය කිරීම සහ සන්නිවේදනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ වන කොමිසම මේ දක්වා ස්ථාපිත කර නොතිබුණද පනතේ විධිවිධාන ප්‍රකාරව මහේස්ත්‍රාත් අධිකරණයකින් එවැනි තහනම් ආඥාවක් ඉල්ලා සිටිය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරු සම්බන්ධයෙන් වන පෞද්ගලික තොරතුරු ඔහු හිරිහැරයට පත් කිරීමේ චේතනාවෙන් සමාජ මාධ්‍යය හරහා ප්‍රචාරය කිරීම හා සන්නිවේදනය කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන බව නියෝග කළේය.

(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්