කුඩා දරුවන් ඇතුළු දහතුන් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක දහ අට වැනි

අනුස්මරණය උතුරේදී පවත්වා තිබේ.

මළවුන් වෙනුවෙන් යාපනය වේලනෙයි දුපතේ අල්ලෙයිපිඩ්ඩි ග්‍රාමයේ, අල්ලෙයිපිඩ්ඩි ඝාතන අනුස්මරණ කමිටුව විසින් ස්ථාපිත කර තිබෙන ස්මාරකයට මැයි 13 වැනිදා  මලින් පහනින් උපහාර දක්වා ඝාතනය වු තම සමීපතමයන් අනුස්මරණය කරන ලද බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

 ආගමික නායකයන්, සිවිල් ක්‍රියාකාරින් මෙන්ම අල්ලෙයිපිඩ්ඩි ඝ සමුල ඝාතනයේදී මිය ගිය අයගේ ඥාතීන්ගේද සහභාගීත්වයෙන් පැවැති මෙම අනුස්මරණයේ දී, පහලොස් වසරකට ඉහත යුද්ධයේ අවසාන දිනවලදී මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වු දෙමළ ජනයාද අනුස්මරණය කර තිබේ.


යාපනය නගරයට කිලෝමීටර් 15ක් නිරිත දෙසින් පිහිටා ඇති අල්ලෙයිපිඩ්ඩි යනු යාපනය අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් වූ දූපත් වලින් එකකි. සමූල ඝාතනය සිදුවූ කාලය තුළ මෙම දුපත සහ ඒ ආසන්නයේ පිහිටි අනෙකුත් දූපත් නාවික හමුදාවේ පූර්ණ පාලනය යටතේ පැවතුනි.


ආණ්ඩු කීපයකම හවුල්කාර EPDP අතුරු සන්නද්ධ කල්ලිය ද මෙම කලාපයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ කටයුතු කරමින් සිටි අතර, සටන් විරාම ගිවිසුමෙන් පසුව වුවද ජනයාට මෙම ප්‍රදේශයට ඇතුළු වීමට ඉඩ ලැබුනේ ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසුව සහ පුද්ගල ශරීර සෝදිසියෙන් පසුව පමණි.

 ප්‍රදේශවාසීන් පවසන පරිදි 2006 වසරේ මැයි 13 වැනි සෙනසුරාදා රාත්‍රියේ යාපනය වේලනෙයි දුපතේ අල්ලෙයිපිඩ්ඩි, පුලියන්කුඩල් සහ වංගලාවඩි ගම්මාන වලට ආයුධ සන්නද්ධව කඩා වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදා භටයන් විසින් සිවිල් වැසියන් දහතුන් දෙනකු වෙඩිතබා ඝාතනය කර ඇත්තේ ඊට දින දෙකකට ඉහත දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ප්‍රහාරයකින් නාවික හමුදාවේ 18 දෙනකු මරුමුවට පත් වීමෙන් පසුවයි.


නාවික හමුදාව 2006 වසරේ මැයි 13 වැනිදා රාත්‍රියේ නිවෙස් වලට කඩා වැදී සිදු කළ වෙඩිතැබීමෙන් අල්ලෙයිපිඩ්ඩි ග්‍රාමයේ එකම පවුලේ 9 දෙනකුට ජීවිතය අහිමි වු අතර කුඩා දරුවන් දෙදෙනකුද ඒ අතර වන බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.


පුලියන්කුඩල්  ග්‍රාමයේ තිදෙනකු මෙන්ම වංගලාවඩි ග්‍රාමයේ පුද්ගලයෙකුද එදිනම නාවික හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කර තිබු බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

 මේ සිදුවීමෙන් දින දෙකකට පසුව, එනම් 2006 මැයි 15 දින, මෙම ඝාතනය හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙන්නේ, ප්‍රධාන නාවික හමුදා කඳවුරක් ඇති මෙම ප්‍රදේශය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දැඩි පාලනයකට යටත්ව පැවැති බවයි.

 "කයිට්ස් දූපතේ එල්ල වූ ප්‍රහාරයේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එල්ල කරමින් එල්.ටී.ටී.ඊ සංවිධානය චෝදනා කර ඇති අතර එය නාවික හමුදාව ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත්, එල්ටීටීඊයට විරුද්ධ දෙමළ දේශපාලන පක්ෂයක් වන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (EPDP) සම්බන්ධ සන්නද්ධ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් ඝාතනය සිදු වූ ස්ථානයේ සිටි බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත විශ්වාසදායක වාර්තා ලැබී තිබේ."


එවකට රජය මෙම සිදුවීම හෙලා දකිමින් මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කරන බව නිවේදනය කළද, රජය විසින් සිදුකරනු ලබන මෙවැනි පරීක්ෂණ වල අසම්පූර්ණ හෝ අකාර්යක්ෂම රටාවක් පවතින බව පෙන්වා දෙන ඇම්නස්ටි ජාත්‍යන්තරය, එහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ප්‍රචණ්ඩත්වයක් මුදා හරින අපරාධකරුවන් සාමාන්‍යයෙන් දණ්ඩමුක්තියක් සහිතව ක්‍රියාත්මක වන බව අවධාරණය කරයි.


"නාඳුනන තුවක්කුකරුවන් අල්ලෙයිපිඩ්ඩි  ප්‍රදේශයේ සෙල්ලතුරෙයි අමලදාස්ගේ නිවසට ඇතුළු වී වෙඩි තබා ඇති බව වාර්තා වේ. මාස හතරක් වයසැති බිළිඳකු සහ සිව් හැවිරිදි පිරිමි ළමයකු⁣ ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියේය," යි ජාත්‍යන්තරය ක්ෂමා සංවිධානයේ නිවේදනය සඳහන් කරයි.

නාවික හමුදා ප්‍රහාරයෙන් භිතියට පත් අල්ලෙයිපිට්ට්,  පුලියන්කුඩල්  සහ වංගලාවඩි ගම්මානවල පවුල් 150 ක් ජීවිත ආරක්ෂාව පතා ඒ සමයෙහිම කිලිනොච්චියේ පදිංචි වු බව වේලනෙයි දුපත් වාසීහු පවසා තිබේ.  

 උතුරු නැගෙනහිර මානව හිමිකම් කාර්යාංශයේ (NESOHR) සමූලඝාතනයට ලක් වූ වින්දිතයන් නම දෙනකුගේ විස්තර ලේඛනගත කොට ඇත.

1. ඒබ්‍රහම් රොබින්සන්, 28
2. ජෝසප් අන්තෝනිමුත්තු, 64
3. කනේෂ් නවරත්නම්, 50
4. කේතීස්වරන් ඇනෙක්ස් එස්තර්, 23
5. කේතීස්වරන් දනුෂ්කාන්ත්, 04
6. කේතීස්වරන් යතූර්සන්,  
7. පලචාමි කේතීස්වරන්, 25
8. එස්. සිවනේසන්, 46
9. සෙල්ලදුරෙයි අමලදාස්, 28

උතුරු නැගෙනහිර ජනතාවට එරෙහිව රාජ්‍යය විසින් සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝන ලේඛණගතකළ NESOHR ප්‍රධානියා වූ ෆාදර් කිලී යනුවෙන් ගෞරවාදරයට පාත්‍රව සිටි මරියම්පිල්ලේ ෂේවියර් කරුණාරත්නම් පියතුමන් 2008 වසරේ අප්‍රියෙල් 20 දා මල්ලාවි සිට වවුනිකුලම් දේවස්ථානයට තම යතුරුපැදියෙන් යන අතරමඟදී ක්ලේමෝ ප්‍රහාරයකින් ඝාතනය කෙරුනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දුරදිග විහිදුම් බලකාය විසින් බවට විශ්වාස කෙරේ.

 යුද්ධයේ අන්තිම දවස් ගෙවුණු 2009 වෙසක් මාසයේ මුහුදුබඩ බිම් තීරුවකට කොටුවී ෂෙල් වෙඩි, ගුවන් බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර වලට මැදිවී සිටි ඇතැම් දෙමළ ජනයාට නොමැරී දිවි ගලවාගන්නට සරණ වූ 'මුල්ලිවයික්කාල් කන්ජි' නමින් ඉතිහාසගතවූ කැඳ මේ වසරේ අල්ලෙයිපිඩ්ඩි ඝාතනය අනුස්මරණට එක්ව සිටි පිරිසට බෙදා  දීමටත් සංවිධායකයන් කටයුතු කර තිබේ.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්