යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කර එම ජනතාවට ද සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙන බව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා  " උරුමය "වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ "උරුමය "  වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (24) යාපනය තන්තයි චෙල්වා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමිනි.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක්  ජනතාවට ලබාදීම  මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය.

"උරුමය" වැඩසටහන යටතේ  උතුරු  පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතය.

sjdkhf4df
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ නැවතුන උතුරු පළාත් නිවාස ව්‍යාපෘතිය ලබන වසරේ සිට යළි ආරම්භ කරන බවයි. මෙම සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන එහි එක් පියවරක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙරට ක්‍රියාත්මක විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන බවද සඳහන් කළේය.



''ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙනවා''

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

''රටේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. සියලු ජනතාවට තමන් ජීවත්වන භූමියේ සින්නකර ඉඩම් අයිතිය ලබාදිය යුතුයි.

අද මෙම ඔප්පු ලබාදීම සිදුවුණා වගේම ඉදිරියටත් මෙම කටයුත්ත සිදු කෙරෙනවා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම නිසා එම කටයුතු තරමක් ප්‍රමාද වී තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලයට 100ක් සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා  150 දෙනෙක් අලුතින් බඳවා ගැනීමට  මම අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ඉතා කාර්යක්ෂම අයුරින් ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා.


ඉඩම් ගැටළුව උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට දැඩිව බලපා තිබෙනවා. රජයේ ඉඩම්වල පදිංචි කළ පිරිසට අමතරව යුද්ධය නිසා ඉඩම් අහිමි වූ විශාල පිරිසක් සිටිනවා. එහිදී ප්‍රශ්න දෙකක් විසඳිය යුතුව තිබෙනවා. මේ පිළිබඳ උතුර සහ නැනෙහිර නියෝජනය කරන මන්ත්‍රීවරු වරින් වර මා සමඟ සාකච්ඡා කර තිබෙනවා.


ඒ අනුව ආරක්ෂක හමුදාව සමග සාකච්ඡා කර ආරක්ෂිත ප්‍රදේශවල තිබෙන ඉඩම් නිදහස් කළ හැකි අවස්ථාවලදී ඒ සියලු ඉඩම් ජනතාවට නැවත ලබා දී තිබෙනවා. ඒ වගේම තමන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය පමණක් තබාගෙන අනෙක් ඉඩම් නැවත ලබා දෙන ලෙස ආරක්ෂක අංශ වෙත අප දැනුම් දී තිබෙනවා.

ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ඉඩම් පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. මේ ප්‍රශ්නය උතුරු නැගෙනහිරට පමණක් සීමා වී නැහැ. දකුණු පළාතෙත් මෙම ගැටලුව තිබෙනවා. ඒ නිසා 1985 සිතියම අනුව වනාන්තර ලෙස තිබෙන ප්‍රදේශ වනාන්තර ලෙස පත්වාගෙන යාමටත්, ඉතිරි ඉඩම් වනාන්තර නොවන  ප්‍රදේශ ලෙස සැලකීමටත් අප ප්‍රතිපත්තිමය තීන්දුවත් ගෙන තිබෙනවා. අප දැන් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතර ඇතැම් ඉඩම් භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ද විශාල ඉඩම් ප්‍රමාණයක් පවතිනවා. පුරාවිද්‍යා කටයුතුවලට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය හැර අනෙක් ඉඩම් නැවත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම සියලු ඉඩම් නිදහස් කිරීමට අප කටයුතු කරනවා.


ඒ වගේම යාපනයේ අධි ආරක්ෂිත කලාපය බොහෝ දුරට අඩු කර තිබෙනවා. විශේෂ සමීක්ෂණයක් සිදු කර තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් නිදහස් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ වගේම අධි ආරක්ෂිත කලාපයේ ආගමික සිද්ධස්ථානවලට අයත් ඉඩම්වලින් කොටසක් මේ වන විටත් නිදහස් කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දීමට මම බලාපොරොත්තු වෙනවා.

 

''ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි''

ඒ වගේම පසුගි වසර දෙක තුළ පැවති ආර්ථික අර්බුදය නිසා මෙම පළාතේ ජනතාව අවශ්‍ය නිවාස ඉදිකරදීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට එය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම සින්නකර ඔප්පු ලබාදීම එම වැඩසටහනේ කොටස් බව කිවයුතුයි. මෙම සින්නක්කර ඔප්පු ලබාදීම මෙරට සිදුවන විශාලම පුද්ගලීකරණ වැඩසටහන ලෙස හැඳින්විය හැකියි.

ජපානය සහ කොරියාව හැර වෙන කිසිදු රටක් ඒ අයුරින් ඉඩම් අයිතිය ජනතාවට ලබා දී නැහැ. ජපානය සහ කොරියාවත් ජනතාවට නොමිළේ ඉඩම් අයිතිය ලබා දී නැහැ. අඩු මිලකට මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම පමණයි. නමුත් අපේ රටේ නොමිලේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා.


පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සහ මඩකලපුවේ සිට මීගමුව දක්වා අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවේ ජනතාව කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවද සම්ප්‍රදායිකවම ඉඩම් අයිතිය අගය කරනවා. එම අයිතිය අද ඔබට ලැබෙනවා. එම ඉඩම ආරක්ෂා කරගෙන තමන්ගේ දරුවන්ට ලබාදීම ඔබගේ වගකීම බව සිහිපත් කිරීමට කැමතියි.


අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්, නීතිඥ එම්.ඒ.සුමන්තිරන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්, හිටපු රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් ද මෙහිදී අදහස් දැක්වූ අතර ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරදලිංගම් ප්‍රතීපන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kjfg56sdfkdjf78k

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්