ආන්දෝලනාත්මක විදුලි බල පනත් කෙටුම්පත අද (ජුනි 6 වැනිදා) දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැණුනි.

ඒ, විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති පසුබිම තුළයි.

අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බව, පනත් කෙටුම්පත පිළිබඳ ‍‍ශ්‍රේෂ්ඨාධිකරණ මතය සභාවට ඉදිරිපත් කරමින් කතානායකවරයා (ජුනි මස 04වැනිදා) පැවසුවේය.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද ( ජුනි මස 6 වෙනිදා) සවස පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණි.

එහිදී මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් හිමිවිය.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බව ය.

ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේ දී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට අදාලව සංශෝධන එක් කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්මත කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්කර ඇති විදුලිබල පනත් කෙටුම්පතට අදාළව මේ දක්වා සිදුවුයේ කුමක්ද ?

 විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව ලංවිම මූලස්ථානය ඉදිරිපිට උපවාසයක්

 

පනත් කෙටුම්පත ගැන පාර්ලිමේන්තුවේ උණුසුමක්

බලශක්ති පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව (ජුනි 04 වැනිදා) විදුලිබල පනත් කෙටුම්පත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන සාකච්ඡා කර අනුමත කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

ඒ අනුව නියමිත පරිදි පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමැතිය සඳහා විදුලිබල පනත් කෙටුම්පත (ජුනි මස 06 වෙනිද) ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා කීයා සිටියේය.

245fxgdd
සංශෝධන සහිත ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් අවශ්‍ය බව අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේවුවත් විදුලිබල පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු විවාදය සඳහා දින දෙකක් ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට එකඟ නොවීය.


විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණයේ ආරම්භය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර 2023 වසරේ පෙබරවාරි මස 24 වෙනිදා සිය X ගිණුමේ සටහනක් තබමින් පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම සහ මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බවය.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය ඒ සඳහා සහය ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මූල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් අදාළ ආයතනවල සහාය ලබා ගැනීමට මේ වනවිටත් එකඟතාව පළකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේය.

නව පනත යටතේ විදුලිබල මණ්ඩලයේ දැවැන්ත වෙනසක් බලාපොරොත්තු වන බව  විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසීය


jkhnsaker33නව පනත යටතේ විදුලිබල මණ්ඩලයේ දැවැන්ත වෙනසක් බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසීය



විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

‘ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත’ 2023 වසරේ දෙසැම්බර් මස 5 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලැබුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ නියෝගය මතය.

ප්‍රකාශයට පත් කළ නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා ඇත්නම් ඒවා 2024 වසරේ ජනවාරි මස 03 වෙනිදාට පෙර යොමු කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් කරන ලදී.

ලද යෝජනා සහ අදහස් සැලකිල්ලට ගත් බව පවසමින් නව පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පසුගිය අප්‍රේල් 8 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

එම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු බවත් ඒ අනුව නව විදුලිබල අංශයේ පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපත ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමි වූ බවත් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ඒ අනුව සංශෝධිත නව පනත් කෙටුම්පත 2024 වසරේ අප්‍රේල් මස 17 වෙනිදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදී.


විදුලිබල කෙටුම්පත පාර්ලිමේන්තුවට

යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විසින් අප්‍රේල් මස 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබිණ.

සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හැකි බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර එහිදී පැවසීය.


කෙටුම්පත යටතේ කරන්න යන සංශෝධන මොනවාද ?

යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රය තුළ කිරීමට යන සංශෝධන මොනවාද යන්න ගැන රට තුළ විශාල සංවාදයක් ඇති විය.

නව පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අහෝසි වනු ඇත.
නව කෙටුම්පත යටතේ විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට බෙදා වෙන් කිරීමට යෝජනා කොට ඇත.

එහිදී ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට තනිවම සිදුකරගෙන යන මෙහෙයුම් කටයුතු කොටස් 06 කට බෙදා ඒවා සමාගම් ලෙස පත් කිරීමට හැකි ලෙස නව පනත හරහා ඉඩ සැලසේ.

විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළඳාම, සැපයීම සහ ප්‍රසම්පාදනය යෝජිත කොටස් 06 ලෙස දැක්වේ.

මේ හරහා නව තරගකාරී ආයෝජන අවස්ථා ඇති කිරීම රජයේ අපේක්ෂාව බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කරන ලදී.

වෘත්තීය සමිති වලින් ලැබුණු ප්‍රතිචාරය සහ ඇමතිගේ පිළිතුර

මෙම නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු පාර්ශව රැසකින් විවිධ චෝදනා එල්ල වුණි.

අඩුම පිරිවැයකට විදුලිය ජනනය කිරීම ගැන පනතේ ප්‍රතිපාදන තිබූ නමුත් නව කෙටුම්පතේ සඳහන්ව ඇති ' ආර්ථික පිරිවැය' යන වචනයත් සමග ඊට වියදම් එකතු කිරීමෙන් අනතුරුව විදුලි මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේය.

එල්ල වන චෝදනාවලට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පසුගිය අප්‍රේල් මස 19 වැනිදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රතිචාර දැක්විය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ වෙනම වගන්තියක් පනතේ ඇතුළත්ව ඇති බවය.

"ජනනය, බෙදාහැරීම සහ සම්ප්‍රේෂණය කියන කොටස් තුන වෙන් කිරීම. ලෝකයේ 90%කට වැඩි රටවල්වල විදුලිබල කර්මාන්තයේ කටයුතු සිදුවන්නේ මේ ආකාරයට."

"ඒ නිසා අපි යෝජනා කරලා තියෙන්නෙත් අපේ තියෙන ජලවිදුලි බලාගාර 100%ක්ම රජය සතුව පවත්වාගෙන යන්න."

"ගල්අඟුරු බලාගාර, ඩීසල් සහ පුනර්ජනනීය බලාගාර මේවට අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන අවශ්‍ය වෙනවා මෙය සාර්ථක කරගන්න."

"වෘත්තීය සමිති කිහිපයක බලය මත තමා විදුලිබල මණ්ඩලයේ කටයුතු පවතින්නේ. ඒ වෘත්තීය සමිතිවලට බැඳුනොත් විතරයි පඩි වැඩි වෙන්නේ, බැඳුනොත් විතරයි ස්ථාන මාරුවක් හම්බවෙන්නේ. ඔවුන්ට ණය ලැබෙන්නේ. මේ කාරණා පනත ඇතුළෙන් ඉවත් වෙනවා."

"වෘත්තීය සමිති නායකයින්ට විතරයි පනත සම්මත වුණාම ගැටලුවක් වෙන්නේ. පාරිභෝගික ආරක්ෂාව ගැන වෙනම වගන්තියක් තියෙනවා මේ පනත ඇතුළේ." අමාත්‍යවරයා පැවසුවේය.

විදුලිබල කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසක් අධිකරණය හමුවට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව විදුලිබල කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12ක් ගොනු කෙරුණි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි බල පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් වී තිබේ.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව, ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වූ පුණ්‍යා ශ්‍රී කුමාර ජයකොඩි සහ මයුර චානක නෙත්ති කුමාර යන අය විසින් මේ වනවිට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

යෝජිත පනත් කෙටුම්පත තුළින් විෂය භාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් පැවරෙන බව පෙත්සමේකරුවන් සිය පෙත්සම්වල සඳහන් කර තිබේ.


‘ඉන්දියාවෙන් ස්වීච් එක දානකම් බලන් ඉන්න වෙනවා’

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ ආණ්ඩුව (ජුනි මස 06 වෙනිදා) දිනයේදීම විදුලිබල පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමේ උත්සාහයක නිරතවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්වරයා කියා සිටියේ;

"ආණ්ඩුව හදන්නේ මේ පනත් කෙටුම්පත සම්මත කරලා ලංකා විදුලිබල මණ්ඩලය සතුව තිබෙන බෙදා හැරීම් පද්ධති 04ම ඉන්දියාවේ ටාටා සමාගමට දෙන්න යනවා කියලා පැහැදිලිවම නිශ්චිත තොරතුරු තියෙනවා."

"ඒ වගේම විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ අංශය කොටස් දෙකකට බෙදලා එකෙන් සීයයට 49ක් දෙන්න යනවා අදානි සමාගමට. "

"අනිත් පැත්තෙන් ගත්තොත් මේ පනතේ කොහවත් නැති වුනාට පැහැදිලිවම මේකේ පෙළ ගැස්මත් එක්ක පැහැදිලිව පේනවා භූ දේශපාලනයත් එක්ක ඉන්දියාව සහ චීනය අපේ රටේ බලශක්ති අංශය අල්ලා ගන්න විශාල උත්සාහයක ඉන්නවා කියලා."

"ඒ අනුව ගත්තම අපි රටක් විදිහට චීනයෙන් ගත්තු ණය තවම ගෙවලා නැහැ. රටේ ජාතික විදුලි සැපයුමෙන් සීයයට 80ක් සපුරන්නේ නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන්. ඒ නිසා ඒක අපිට අනිවාර්යෙන්ම චීනයට දෙන්න වෙනවා."

"අපි දකින දෙයක් තමයි රටේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන වශයෙන් බලපෑමක් ගෙන එනවා බලශක්ති ක්ෂේත්‍රය විදේශකරණය කිරීම."

"විදුලිබල ඇමතිවරයා ලොකු උත්සාහයක් ගන්නවා (ජුනි 06 වෙනිදා) මේක පාර්ලිමේන්තුව හමුවේ සම්මත කර ගන්න."

"පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කරනවා මේ පනත ගැන විවාද කරන්න දවස් දෙකක් කල් දෙන්න කියලා."

"අතීතය මතක් කරන්න ඕන 2021 ජුනි මස 11 වෙනිදා කෝප් එකට ඇවිල්ලා විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් ෆර්ඩිනැන්ඩ්ස් කිව්වා 2020 වසරේ නොවැම්බර් මාසේ 27 වෙනිදා බලශක්ති සම්බන්ධයෙන් ඉන්දියාවත් එක්ක පැවති සාකච්ජාවකදී තමාව පසෙකට කැඳවලා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වා කියලා ' ෆර්ඩි, මෝදීගේ බලපෑමක් තියෙනවා. ඒ නිසා සුනිත්‍ය බලශක්ති එක අදානිලට දෙන්න පුළුවන් වටපිටාවක් හදන්න කියලා.' ඒක ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක්."
"අපේ රටේ බලශක්ති කේෂ්ත්‍රයට ඉන්දියාව සහ චීනය අත තියලා තියෙනවා. ඒක රටේ ස්වාධිපත්‍යට බරපතල ප්‍රශ්නයක්."

"ආණ්ඩුව ඉදිරියේදී අසරණ වෙනවා. මොකද ඉන්දියාව තමයි එහෙ ඉදන් ස්වීච් එක දාන්න ඕන."

"මේ පනත අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය තනිකරම ඉන්දියාවට දීලා තියන්නේ." යනුවෙනි.

'පනතේ මුල් පිටූ දෙක ලස්සන වුනාට ඇතුලට යන්න ඒ තරම් ලස්සන නැහැ'

ජනතාව වෙනුවෙන් විදුලිබල පනත ගෙන ආ බව ආණ්ඩුව පැවසුව ද එහි ඇතුළත පිටු ඒ තරම් සුබදායි එකක් නොවන බව ජාත්‍යන්තර බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය බීබීසී සිංහල වෙත කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා,"විදුලිබල පනත් කෙටුම්පත ගැන සම්පුර්ණයෙන් බැලුවොත් විදුලිබල ක්ෂේත්‍රයේ සම්පුර්ණ ප්‍රතිව්‍යුහගතකරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ."

"මේ පනත හරහා පාරිභෝගිකයාට හොඳ සේවාවක්, තරගකාරී මිලක් පනත යටතේ බලාපොරොත්තු වෙනවා කියලා."
"ඒ වගේම මේ පනතේ නරක පැත්තකුත් තියෙනවා. "

"පනතේ අලුතෙන් යෝජනා කර තිබෙනවා අමාත්‍යවරයා විසින් පත් කරන බලශක්ති උපදේශක කවුන්සිලයක්. උපදේශක කියලා නම තිබ්බට ඒක ව්‍යවස්ථාපිත ආයතනයක්."

"එතකොට මේ පනතේ දී ඇමතිවරයාට වැඩි වශයෙන් බලය ලබාදීලා තියෙනවා."

අදානි සමාගමෙන් විදුලිය මිලදි ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ

kdfheඅදානි සමාගමෙන් විදුලිය මිලදි ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ


"මේ පනත මගින් මහජන උපයෝගීතා කොමිසමේ තිබුණු සමහර ඉතා වැදගත්ම තීරණ ගැනීමේ තාක්ෂණික ක්‍රියාවලිය ඇමතිවරයා විසින් පත්කරන කවුන්සිලයේ සාමාජිකයින් වෙත ලබාදීලා තිබෙනවා."

"උදාහරණයක් විදිහට ගත්තොත් කාටහරි විදුලි බලාගාරයක් සාදන්න අවශ්‍ය නම් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලුම් පත්‍රයක් යොමු කරලා බලපත්‍රය ලබා ගන්න පුලුවන් කියලා."

"නමුත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු නව පනතේ සඳහන් වෙනවා බලපත්‍රය නිකුත් කරන්න ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍යයි කියලා. ඒක අවුල් සහගතයි."

"අලුත් පනතෙන් යෝජනා කරල තියෙනවා ලංකාවේ දිගුකාලින විදුලි සැලැස්ම මහජන උපයෝගිතා කොමිසමෙන් කරුණු දැක්‌වූවාට පස්සේ විෂය භාර අමාත්‍යවරයාගේ අභිමතය පරිදි කැමැති ආකාරයට වෙනස් කරලා අනුමත කරන්න."

"ලංකාවේ මේ වෙද්දී ක්‍රියාත්මක වෙන අදානි ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මකයි රට ඇතුලේ. මේවා එකක්වත් නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව පස්ස දොරෙන් රටට ආපු ව්‍යපෘති."

"සමහර දේශපාලඥයෝ බලාගෙන ඉන්නවා ඒ වගේ ව්‍යපෘති ගිවිසුම් අත්සන් කරන්න. "

"මේ පනතේ එයාලා ලියලා තියෙනවා කැබිනට් එක මේ වගේ ව්‍යාපෘතියක් අනුමත කරලා තිබ්බට තරගකාරිත්වයට ඒක අදාල නැහැ කියලා."

"පනත ගේනවා කිව්වේ මහජනතාවට තරගකාරී මිලකට විදුලිය සපයන්න කියලා ගිවිසුමේ මුල් හරියේ කියලා ඇතුළට යන්න යන්න ලියලා තියෙනවා මේ ව්‍යාපෘති වලට තරගකාරිත්වයක් නැහැ කියලා කැබිනට් එක ඒක අනුමත කරලා තියෙන නිසා කියලා. බලන් යද්දි විදුලි ජනන කේෂ්ත්‍රයේ තරගකාරිත්වයක් නැහැ."

"පනත ස්ථාපිත වෙද්දී අර ව්‍යාපෘති ඔක්කොම කැබිනට් එකෙන් අනුමත කරල තියේවි. එතකොට පාරිභෝගිකයාට තරගකාරිත්වය නෙමේ රිවර්ස් එකට තමයි යන්න වෙන්නේ."

"උදාහරණයක් විදිහට ගත්තම මන්නාරමේ තියෙනවා විදුලිබල මණ්ඩලයට අයිති සුළං විදුලි බලාගාරයක්."

"එකෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක් රුපියල් 13 කට විදුලිය නිෂ්පාදනය කරනවා."

"ඒ පරිසරයේම අදානි සමාගම විදුලිය නිෂ්පාදනය කරනවා ඒකකයක් රුපියල් 25 කට."

"විදුලිබල මණ්ඩලය සුළං බලාගාරය ඉදිකරලා අවුරුදු 05 කට පස්සේ අදානි සමාගම බලාගාරය ඉදිකරන්නේ."

"හැබැයි ආදානි සමාගමට හැකිවෙන්න ඕන මීට වඩා අඩු මුදලකට විදුලිය නිපදවන්න. මොකද දැන් නවීන සුළං බල උපකරණ තියෙනවා ඇවිල්ලා."

"නමුත් මේ රජය එකඟ වෙලා තියෙනවා ඉදිරි අවුරුදු 20 සඳහා විදුලි ඒකකයක් රුපියල් 25 ගානේ මිලදී ගන්න කැබිනට් යෝජනාවක් එක්ක."

"ඒ වගේම නව සමාගම් පිහිටෙව්වාම විදුලිබල මණ්ඩලයේ කොටස් වල අයිතියට මොකද වෙන්නේ කියලා පැහැදිලිව සඳහන් වෙලා නැහැ."

"පනතේ පළවෙනි පිටු දෙක තුනේ ලස්සනට ජනතාව වෙනුවෙන් මේක ගෙනාවා කිව්වට පනතේ ඇතුල් පිටුවලට යන්න යන්න ඒක ඒ තරම් සුබදායි එකක් නෙමෙයි කියලයි කියන්න ඕන." ජාත්‍යන්තර බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය කියා සිටියේය.

(BBC සිංහල සේවය)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්