මත්පැන් පානය කර සිටියදී පොලිස් රථයක් ධාවනය කර රටේ පුරවැසියකුගේ දේපල වලට දැඩි හානි සිදු කළ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනකු

ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකු සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස දෙමළ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබේ.

වව්නියාව නෙදුන්කේනි දකුණ ප්‍රදේශයේ දී ජුනි 4 වැනිදා හවස හතරට පමණ පොලිස් නිලධාරීන් සිදු කළ අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වමින් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් චෝදනා කළේ අනතුර වන මොහොතේ පොලිස් රථයේ සිටි නිලධාරීන් බීමතින් සිටි බවටයි.

"එම පොලිස් රථයේ පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති, කනගරායන්කුලම් පොලිස් ස්ථානාධිපති සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙක් ඉදලා තියනවා. ඔවුන් හොදටම බීලා ඉදලා තියනවා. ඒ රථය මාර්ගයෙන් පැන නිවසක හැප්පිලා නතර වෙලා තියනවා."

මහා මාර්ගයෙන් ඉවතට පැදවුණු පොලිස් රථය පුද්ගලික නිවසක ගැටී නතර වන විට එම නිවසේ දරුවන් 40 දෙනකු පමණ අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර, ඔවුන්ගේ ජීවිත වලට කිසිදු අනතුරක් සිදුව නොමැත. වගකීම් විරහිත පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කළාපය ජනතා නියෝජිතයා හෙළා දැක තිබුනේ නින්දිත ක්‍රියාවක් ලෙසිනි.

"ඒ වෙලාවේ එම නිවසේ දරුවන්  හතලිස් දෙදෙනෙක් ඉගෙන ගනිමින් ඉඳලා තියනවා. එයා ගුරුවරයෙක් නිසා හවස පංතිය තමයි පවත්වමින් ඉඳලා තියෙන්නේ. නමුත් ඔවුන්ට අනතුරක් සිදු වෙලා නැහැ. මෙය ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස මම හෙළා දකිනවා."

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ප්‍රදේශයේ සුබ්‍රමනියම් රජිනිකාන්ත් නැමැති ගුරුවරයාගේ ඉඩම තුලට වාහනය කඩා වැදීම නිසා ඔහුට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 20 ට වැඩි බවයි.


නිවස ආසන්නයේ නවතා තිබු ඔහුගේ යතුරු පැදියට හානි සිදුවී ඇති අතර නිවසේ වෙත විදුලිය රැගෙන එන රැහැන් පට හා වැටට දැඩි හානි සිදුව ඇති බව ඔහු  පළාත් බද වාර්තාකරුවන් සමග පවසා තිබේ.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ජුනි 5 වැනිදා පාර්ලිමේන්තුවේදී තව දුරටත් ඉල්ලා සිටියේ චෝදනාවට ලක්ව සිටින නිලධාරීන්ගේ සේවය අත්හිටුවා විමර්ශනයක් සිදු කරන ලෙසයි.

"ආණ්ඩුව අවංකව කටයුතු කරනවා නම් ජනාධිපති වෙන්න පුළුවන්, පොලිස් ඇමැති වෙන්න පුළුවන්, ඒ පොලිස් නිලධාරීන්ගේ වැඩ තාවකාලිකව තහනම් කරලා එයාලා ගැන විමර්ශනය කළ යුතුයි. රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන සහ අධීක්‍ෂණය කරන පොලිස් නිලධාරීන්, පොලිස් ස්ථාන භාර නිලධාරීන් හොදටම බීලා ඉදලා තියනවා."

අනතුරට ලක්වු පොලිස් රථය ධාවනය කර තිබුනේ පොලිස් ස්තානාධිපතිවරයකු විසින් බව පැවසු  මන්ත්‍රීවරයා එහිදී පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කර තිබුනේ මෙවැනි නිලධාරීන් සමග රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ කෙසේද යන්නයි.


"මෙම රථය පැදවූයේ පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා විසින්. ස්ථානාධිපතිවරයෙක් බීමතින් ඉතා මිලේච්ඡ ලෙස හැසිරී තිබෙනවා. ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕන. මෙවැනි නිලධාරීන් සමඟ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ කොහොමද?"

මෙවැනි ක්‍රියාවල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ද එදින පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබුනි.

පොලීසිය අනතුර සිදු කර මද වේලාවක් ගත වන විට එම ස්ථානයට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් රැස්වු බව පවසන පළාත් බද වාර්තාකරුවන් අවධාරණය කරන්නේ එම පිරිස පාලනය සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට කැදවීමටත් නෙදුන්කේනි පොලීසිය කටයුතු කළ බවයි.


accident1

accident2

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්