උතුරේ සහ දකුණේ අන්‍යෝන්‍ය විශ්වාසය ඇතිකර ගනිමින් ජාතිය හා ආගම් පදනම් කර ගත් ගැටළු යළිත් ඇති නොවීමටත්,

සෑම පුරවැසියෙකුටම ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ලබා දීමටත්, එකී ගැටළු විසදීමේ වගකීම ඊළඟ පරපුරට බාර නොදෙන්නැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කර තිබේ.

වත්මන් ජනාධිපති හා විපක්ෂ නායක මෙන්ම හිටපු රාජ්‍ය නායකයින් ද සහයෝගය පළ කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසයි එම ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

“මෙකී කරුණුවලට අදාලව 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පසුගිය දා ගරු විපක්ෂනායකතුමා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර ඇති අතර වර්තමාන ගරු ජනාධිපතිතුමා, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම හිටපු රාජ්‍ය නායකයින් වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සහ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහයෝගය පළ කර ඇත. දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බහුතරයක් මන්ත්‍රීවරුන් මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකවරුන් ද මෙම මතයේ දැඩිව සිටින බව අප විශ්වාස කරන්නෙමු. එකී සාධනීය අභිලාශයන් අප අගය කළ යුතුය.”

මෙම සියළු තත්ත්වයන් සළකා බැලීමේ දී වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගන්නා වටමේස සාකච්ජාවක් නොපමාව කැඳවමින් මෙම කරුණු නිරාකරණය කරගන්නා ලෙසයි එම ව්‍යාපාරය රජයට බල කර සිටින්නේ.

“කවර හේතුවක් මත හෝ මේ පිළිබඳව සිදු කරන සාකච්ජා මඟහැරීම ‌හෝ වර්ජනය නොකිරීම මේ රටේ සියළුම දෙමළ පක්ෂ ද ඇතුළු සමස්ත දේශපාලන පක්ෂවල වගකීමයි.” සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

මෙම අවස්ථාව පැහැර හැරිය හොත් එය ජාතිද්‍රෝහි ක්‍රියාවක් ලෙස අනාගත පරපුරෙන් චෝදනා එල්ල වනු ඇතැයි පෙන්වා දෙන කරු ජයසුරිය සභාපතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ සද්භාවයෙන් මෙයට මැදිහත් වන ලෙසයි.

(චතුරංග මේදිස්)

සබැඳි පුවත් :
වෙනසක් නැතිව 13 දෙන්න සජිත් සුදානම්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්