පිට පළාත්වලින් මුලතිව් මුහුදට පැමිණෙන ධීවරයන් නීති විරෝධි පන්න ක්‍රම භාවිත කරමින් සිදු කරන මසුන් මැරීම නවතාලීමට බලධාරීන් දිගින් දිගටම අසමත් වීම නිසා මහ සයුරේ දී ධීවරයන් අතර මහා ගැටුමක් ඇතිවිමේ අවදානමක් මතුව තිබේ.


එම අනතුර නවතාගැනීම සදහා මුලතිව් මුහුදේ මසුන් මරණ ධිවරයන් රජයේ බලධාරීන්ට ලබා දී ඇත්තේ දින දෙකක කාලයකි. බලධාරීන් පියවර නොගතහොත් පිටස්තර යාත්‍රා වලකාලීමට පියවර ගැනීමට උතුරේ ධීවරයන්ට කටයුතු කරන්නට සිදුවන බවට ධීවර නායකයෝ අනතුරු අඟවති.

“මෙහෙම ගියොත් දිස්ත්‍රික් හතරේම ධීවරයෝ ගෙන්නලා මුහුදේ දැවැන්ත වියසනයක් කරන්න අපි කටයුතු කරනවා. මොකද නායාරු, කොකිලායි වල තහනම් පන්න කිරීම නිසා අපේ පවුල්වලට බඩගින්නේ මැරෙන්න වෙන තත්වයක් ඇති වෙලා. ඒ ගැන තීරණයක් ගන්න වෙනවා.”

යාපනය දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිතියේ උප සභාපති අන්තෝනිපිල්ලෙයි ෆ්‍රෑන්සිස් රත්නකුමාර් එම අනතුරු ඇඟවීම සිදු කලේ ජුනි 10 වැනිදා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ධිවර සගයන් සමග  විරෝධයක් දියත් කරමිනි.

 

ධිවරයන් මුහුණ දී සිටින ගැටළුවට කඩිනම් විසදුම් ඉල්ලා දියත් කළ විරෝධතාවයේ දී ධිවර සංගම් නායකයා සාගර කලාපයට හානිකර පන්න ක්‍රම යොදාගන්නවුන් නවතාලීමට අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් ක්‍රියා නොකරන බවට තව දුරටත් චෝදනා කළේය.

 

“ඇයි ධීවර ඇමති මේ දිහා බලන් ඉන්නේ? ඒක තමයි අපිට නොතේරෙන්නේ. නාවික හමුදාවත් බලාගෙන ඉන්නවා. නාවික හමුදාව අල්ලා ගන්නේ බෝට්ටු එකක් දෙකක් පමණයි. දිගටම අල්ලන්න ඕන. ධීවර අමාත්‍යාංශය කියනවා තහනම් ආම්පන්න භාවිත කරන්න එපා කියලා. ඒ නියෝග ක්‍රියාත්මක කරන්න  දෙපාර්තමේන්තු නිලධාරීන් සහාය ලබා දෙන්නේ නැහැ.”

මුලතිව් මුහුදේ මසුන් මැරීමෙන් ජීවිකාව සරිකරගන්නා දෙමළ ධිවරයන් අවධාරණය කරන්නේ පිට පළාත් වලින් පැමිණ තහනම් ආම්පන්න භාවිතයෙන් මසුන් මරන්නන් මාළු පැටවුන් ද විනාශ කරමින් කිලෝ දහස් ගණනක මත්ස්‍ය අත්වැන්නක් නෙලා ගන්නා බවයි.

ධීවරයන් එල්ල කරන චෝදනා වලට පිළිතුරු දෙමින් මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ නීතිවිරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා ධීවර අමාත්‍යවරයා නිරන්තරයෙන් සම්බන්ධ කර ගනිමින් ගැටළු විසඳීමට දිස්ත්‍රික් ලේකම් ලෙස තමන්  උපරිම උත්සාහයක් දරන බවයි.

 

විරෝධතාව පවත්වන දිනයේත් මාතර වැනි පළාත්වලින් පැමිණි බෝට්ටු සුරුක්කු දැල් වැනි තහනම් ආම්පන්න යොදා ගනිමින් මාළු බෑමේ යෙදී සිටින බව පවසමින් ධීවරයන් විමසා සිටියේ ඒ සම්බන්ධයෙන් නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්නයි.

 

“ලංකාවේ තියෙන්නේ එක නීතියයි. ඒ නීතිය අනුව නීති විරෝධී මසුන් මැරීම තහනම් කරන්න ඕනේ. රජයේ බලධාරීන් හැටියට අපිට නිකං බලන් ඉන්න බැහැ,” යි දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන් ප්‍රකාශ කර තිබුණි.

විරෝධයේ නිරත ධීවරයන් යළි අවධාරණය කර ඇත්තේ තම ඉල්ලීමට දින දෙකක් ඇතුලත යහපත් විසදුමක් ලබා නොදුනහොත් දිස්ත්‍රික් හතරේ ධීවරයන් සමග එක්ව මහ සයුරේදී අරගලයක් කිරීමට කටයුතු කරන බවයි.

එවැනි තත්වයක් ඇති වූවහොත් දිස්ත්‍රික් ලේකම්වරයා, ධිවර අමාත්‍යවරයා මෙන්ම නාවික හමුදාව එම ගැටුමේ වගකීම භාර ගත යුතු බවත් ඔවුන් තව දුරටත් අනතුරු අගවා තිබේ.

එම අවස්ථාවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන් ධිවරයන්ට යෝජනා දෙකක් ඉදිරිපත් කර ඇත.

ඒ ජුනි 13 වැනිදා පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වී තම ගැටළුවට විසදුම් ලබා ගන්නා ලෙසත්, නොඑසේනම් විෂයභාර අමාත්‍යවරයා, දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන්, ධිවරයන් සහ ධිවර සංගම් නායකයන් එකතුව මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තීරණයකට එළඹෙන ලෙසයි.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ එම යෝජනාවන්ට එකග වෙමින්, විරෝධතාවයට එක්ව සිටි යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ධිවරයන් එම ස්ථානයෙන් පිටව ගිය බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

තහනම් පන්න ක්‍රම භාවිතයෙන් මසුන් මැරීමේ යෙදී සිටින පිට පළාත් වලින් පැමිණි ධිවරයන්ට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාව නීතිය ක්‍රියාවේ යුදවන්නේ නැතිනම් නම් මුලතිව් මුහුද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ ධිවරයන් සමග මුහුදට බැසීමට තිරණය කර ඇති බවට මැයි 6 වැනිදා  මුලතිව් මාධ්‍ය සමාජයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මුලතිව් දිස්ත්‍රික් ධීවර සංගමයේ නායක අරුල්නාදන් වින්සන්ති පෝල් ධිවර සංගම් නායකයා ද අනතුරු අගවා තිබුනි.

“නීති විරෝධී මසුන් මැරීම නැවැත්වීමට ඔයාලා  පියවර ගන්න ඕන. නැත්නං කුඩා බෝට්ටු 890ක් තියනවා. බැහැලා අපේ මුහුද ආරක්ෂා කරන්න අපි තීරණයක් අරගෙන තියනවා.”

mu fi 1 mu fi 2
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්