යුද අනාථයන්ට වියළි සළාක රැගෙන යමින් සිටිය දී රාජ්‍ය සේවකයන් ඇතුළු විසි එක් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතනයක තිස් අට වැනි අනුස්මරණය නැගෙනහිරදී සිදු කර තිබේ.


පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පුනගර් පිහිටි ගණදෙවි කෝවිල තුලදී පුජාවක් පවත්වා, ඝාතනය වු සමූහය වෙනුවෙන් පහන් 21 ක් දල්වා ඔවුන්ගේ ඥාතීන්, මලින් පහනින් උපහාර දක්වා එම අනුස්මරණය සිදු කළ බවයි.

 

උන්හිටි තැන් අහිමි ව කඳවුරුවල විසුවන්ට ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්ගේ අණට අනුව වියළි සළාක රැගෙන යමින් සිටි ඊච්චලම්පත්තු රජයේ නිලධාරින් තිදෙනකු සහ ඔවුන්ගේ සහායකයන් දහඅට දෙනකු කපා කොටා වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් ගත වු තිස් අට වසර තුළ යුක්තිය ඉටු වී නැත.

 

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමැති ධුරයක් හෙබවූ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු පාලන සමයේ 1986 ජුනි 12 වැනිදා මොවුන් මරා දමා ඇත්තේ සේරුවිල සිට ඊච්චලම්පත්තු දක්වා ගැල් මගින් ආහාර ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී  මහින්දපුර ප්‍රදේශයේදී බවයි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්වුන් පවසන්නේ.

ඝාතනයට ලක්වූ රජයේ නිලධාරින් තිදෙනා ඇතුළු විසි එක් දෙනාගෙන් 19 දෙනෙක් දෙමළ ජාතිකයන් වන අතර සෙසු දෙදෙනා මුස්ලිම් ජාතිකයන්ය.

දිවි ගලවා ගත් තිදෙනෙක් තමන් ඇසින් දුටු දේ පොලිසිය ඇතුළු වගකිව යුතු ආයතන වෙත දැනුම් දී තිබුන ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැත.

ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් වුවන් පවසන්නේ යුද හමුදාවේ සහයෝගය ලැබූ රන්බණ්ඩා නම් ග්‍රාමාරක්ෂකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් යුද අනාථයන් වෙත ආහාර රැගෙන යමින් සිටි පිරිසේ මග හරස් කොට ප්‍රධාන මාර්ගයෙන් මීටර් පනහක් පමණ එපිටට රැගෙන ගොස් කපා කොටා පසුව වෙඩි තබා මරා දැමූ බවයි.

වෙරුගල් ඊච්චලම්පත්තු ප්‍රදේශවලට එල්ල වූ රජයේ හමුදා ප්‍රහාර වලින් උන් හිටි තැන් අහිමිව දිවි ගලවා ගෙන පලාගිය දහස් ගණන් ජනයාගෙන් යුත් පූමඩිත්තචේනෛ සහ මාඩත්තලචේනෛ අනාථ කඳවුරු දෙකක් පිහිටුවා තිබිණි.

මේ යුද අනාථයන්ට ලබා දෙන වියළි ආහාර සෑම සතියකට වරක්ම සේරුවිල සිට කරත්ත මගින් වෙරුගල් වෙත රැගෙන ඒම සිදුවන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්ගේ අනු දැනුම අනුවයි. ජුනි 12 ප්‍රහාරයේදී ඝාතකයන් විසින් වියළි ආහාර ද කොල්ලකා ඇත.

සේරුවිල, වෙරුගල්, ඊච්චලම්පත්තු, පුනගර් ප්‍රදේශයේ පිහිටි ගණදෙවි කෝවිල ඉදිරිපිට දී 2024 ජුනි 12 වැනිදා අනුස්මරණය කරනු ලැබුවේ සමුහ ඝාතනයට ලක් වු ග්‍රාම නිලධාරී තංගරාසා, ග්‍රාම නිලධාරී අලිබුකාන්, නැවත පදිංචි කිරීමේ නිලධාරී ඒ.එම් අබ්දුල් ලතීෆ්, කෝනාමලෙයි වේලායුදම්, කදිර්ගාමතම්බි විනායගමුර්ති, දේවේන්ද්‍රම් නවරත්නම්, තම්බිරාසා නවරත්නම්, කනගසබෙයි කනගසුන්දරම්, කදිරගාමතම්බි සෙල්ලතම්බි, මූත්තත්තම්බි කාසිපිල්ලෙයි, කදිරගාමතම්බි නාගරාසා, වීරපත්තිරන් නඩේසපිල්ලෙයි, මුත්තයියා කාලිරාසා, මුතුකුමාර් වේලුපිල්ලෙයි, වේලුපිල්ලෙයි චිත්‍රවේල්, චිත්‍රවේල් සිවලිංගම්, වීරපත්තිරන් සෝමසුන්දරම්, චිත්‍රවේල් තම්බාපිල්ලෙයි, නල්ලයියා පරමේෂ්වරන්, තාමෝදරම් ධර්මලිංගම්, පුන්නියම් මදිවදනන් යන විසි එක් දෙනාය.

 

memo 1

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්