රටේ ඇති ලොකු ම ඩීල් එක ඇත්තේ මාලිමාවේ සහ අලියාගේ බවත් එය පසුගිය දා ස්වාධීන රූපවාහිනියේ නටපු නාඩගමින් ඔප්පු වූ බවත් විපක්ෂ නායකවරයා පවසයි.


එම වැඩසටහන මෙහෙයවු නිවේදකයාට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ නීති ක්‍රියාමාර්ග ගෙන ඇති මොහොතක ඒ පුද්ගලයා සමඟ අලි මාලිමා ඩීල් එක රටට ම ඔප්පු කළ බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

සමගි ජන බලවේගයට ජනාධිපති එක්ක සාකච්ඡාවක් ඇති බවට කයිය නායකයා ලන්ඩන් ගිහින් පවසන බවත් එය අමූලික බොරුවක් බවයි ඔහු පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (16) පැවැති සමගි ජන බලවේගයේ රජරට ගොවි සමුළුව අමතමිනි.

තමාට 71 වතාවක් අගමැතිකම ගන්න කියා ඉල්ලීම් සිදු කළත් ප්‍රතිපත්තිගරුක තමා එය ප්‍රතික්ෂේප කර බව කී සජබ නායකයා කියා සිටියේ තමා තනතුරු ගන්නේ පොදුජනතා ආශිර්වාදයෙන් බවයි.

තමා එදින අගමැතිකම හෝ ජනාධිපතිකම බාර නොගෙන ප්‍රතික්ෂේප කළේ රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා වීමට තමා අකැමැති නිසා බව ද ඔහු සඳහන් කළේය.

සක්විති රජකම දෙනවා කිව්වත් සජිත් ප්‍රේමදාස රට බංකොලොත් කළ අය එක්ක ඩීල් දමන්නේ නැති බවත් තමාගේ ඩීල් එක ඇත්තේ මේ රටේ ලක්ෂ 220 පුරවැසියන් සමඟ බව ද හෙතෙම අවධාරණය කරයි.

සක්වල හා හුස්ම වැඩසටහන් සඳහා යොදවන මුදල්වලින් විදේශ රටවල ගොස් දේශපාලන සැණකෙළි දමන්නට තමාට ද හැකියාව තිබුණත් ඒ මුදලින්වලින් තඹුත්තේගම ජාතික පාසල ඇතුළු පාසල්වලට බස් රථ ලබා දීම ඊට වඩා වටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

''සුහුරු ගොවියකු බිහි කිරීම අපේ අරමුණයි''

ගොවියාව සුහුරු ගොවියකු බවට පත් කර තමන්ගේ නිෂ්පාදන එකවර වෙළෙඳපොළට නිකුත් නොකර ගබඩා කර නියමිත අවස්ථාවට නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම තමන්ගේ නිෂ්පාදනයට ස්ථාවර අලෙවි මිලක් ලබා දීම ගොවි ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැනුම, නව්‍යකරනය, ඩිජිටල්කරණය ආදී ක්‍රමවේද හරහා ගොවියාට සුහුරු ගොවි උපකරණ ලබා දීමත් සමඟ කෘෂිකර්මාන්තය ඉහළම තලයකට ගෙනවිත් නෙදර්ලන්තය මෙන් ඊශ්‍රාලය මෙන් අපේ රටේත් වීරෝදාර ගොවි පරපුරක් බිහි කරන බවත් රටේ ආහාර සුරක්ෂිතභාවයත් ආහාර අපනයනය කරන්නටත් හැකියාව ඇති යුගයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

''රණවිරුවන් සුරකින උපාධිධාරීන්ට රැකියා දෙන යුගයක් ඇති කරනවා''

දේශය වෙනුවෙන් අමරණිය සේවාවක් ඉටු කළ රණවිරුවන් ඇතුළු සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය සුරකින බවත් මහපාරට ඇද දමා ඇති උපාධිධාරීන්ට සුදුසුකම් මත රැකියා ලබා දීම මෙන් ම ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හිරවි ඇති ජනතාවට විසඳුම් ලබා දෙනවා සේම සතා සිව්පාවන්ගෙන් වගාවට වන හානිය වළක්වාලන්න ප්‍රායෝගික ශක්තිමත් වගා රක්ෂණ ක්‍රමයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවිබිම් මෑත කාලයේ රක්ෂිත ලෙස නම් කර ගොවියාගේ ගොවිබිම් උදුරා ගෙන ධන කුවේරයන්ට ධනවාදී ගජමිතුරන්ට ඉඩම් කුට්ටි පිටින් ලබා දුන් යුගය නතර කර ගොවියාගේ උරුමය ගොවිබිම නැවත වරක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

(චතුරංග මේදිස්)

apura 1
apura 2
apura 3 apura 4
 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්