The Leader News
BREAKING
ආසියානු සායනික පෝෂණ සංගමයේ නායකත්වය පළමු වරට ලංකාවට●ඕස්ට්‍රේලියානු කෘෂිකර්මයට සිනහවක් එක්කළ යෝධ වියළි මිදිගෙඩිය●ඩූබ්වාගෙන් ‘ඩයිනමයිට්’ පහර කෑමට ලක්වූ වෝඩ්ලී ට තරග තහනමක්!●ආදරය වෙනුවෙන් බෙල්ජියම් ඉංජිනේරුවා වියට්නාම ගෝත්‍රික චාරිත්‍ර ඉටුකරයි●ඉන්ධන මිල පාලනයේ බර අවසානයේ මහජන කරපිටට?●අපනයන ඉපැයීම් ඉහළට: බිලියන 36 ඉලක්කයට මඟ සකස්වේ ද?●යුරෝපා වෙළෙඳ සහනය රැකගන්න ලංකාවට අලුත් කොන්දේසි පහක්●ඉරාන ජෙට් ඉන්ධන මියන්මාරයට ගලාගිය හොර පාර●ආදර ගැටය: සිරගත ස්ත්‍රීත්වයේ කලාත්මක කියවීම | ආචාර්ය අතුලසිරි සමරකෝන්●තොරතුරු ඉල්ලීමේදී රාජ්‍ය ආයතනවලට හිතුමතේ ගාස්තු අය කළ හැකි ද?●
Top Ad
පුවත්

ජගත් මානව හිමිකම් දිනයේ ආණ්ඩුවට උතුරු නැගෙනහිරින් චෝදනා

T

The Leader Desk

December 11, 2024 • 4:48 PM

ජගත් මානව හිමිකම් දිනයේ ආණ්ඩුවට උතුරු නැගෙනහිරින් චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැවත පණ ගන්වමින් තම ඡන්ද දායකයන් සැනසීමේ පැරණි ප්‍රතිපත්තියම නව ජනාධිපතිවරයාගේ ආණ්ඩුවත් පවත්වාගෙන යන බවට බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදී සිටින දෙමළ මව්වරුන් චෝදනා කර තිබේ.
  • සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින සියළු මව්වරුන් ජීවිතයෙන් සමු ගැනීමට පෙර ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා සිටි ඇය අවධාරණය කර තිබුනේ දෙමළ මව්වරුන්ගේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර නීති යාන්ත්‍රණයක් හරහා අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
  • නමුත් ඒ යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක් බවට පත්වෙමින් තිබෙනවා.
  • යුද්ධය අවසන් වෙලා අපි දිගටම සටන් කළත්, කිසිම පිළිතුරක් නැතිව අම්මලා තාත්තලා 300කට වැඩිය මැරිලා.
අකුරු ප්‍රමාණය (Font Size):

නැවත පණ ගන්වමින් තම ඡන්ද දායකයන් සැනසීමේ පැරණි ප්‍රතිපත්තියම නව ජනාධිපතිවරයාගේ ආණ්ඩුවත් පවත්වාගෙන යන බවට බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදී සිටින දෙමළ මව්වරුන් චෝදනා කර තිබේ.

අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ එළැඹි පළමු ජගත් මානව හිමිකම් දිනයත් ශෝක දිනයක් පත් කරමින් දෙසැම්බර් 10 වැනිදා  උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක අට තුලම විරෝධතා දියත් කළ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් එක් හඩින් කියා සිටියේ සිය සමීපතමයන් වෙනුවෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර යුක්තිය පමණක් බවයි.

76 වැනි ජගත් මානව හිමිකම් දිනයදා, බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ (ARED) ලේකම් ලීලාදේවි ආනන්දනඩරාජාගේ නායකත්වයෙන් කිලිනොච්චි රෝහල සමීපයෙන් විරෝධතා පෙළපාලිය ආරම්භ කළ යුද වින්දිත දෙමළ මව්වරුන්  කිලිනොච්චි පිහිටි  OMP ප්‍රාදේශිය  කාර්යාලය දක්වා පැමිණ එම ස්ථානයේදී විරෝධතා දියත් කර තිබේ.

ලීලාදේවි ආනන්දනඩරාජා මාතාව මාධ්‍යවේදීන් වෙත එහිදී අවධාරණය කර තිබුනේ බලහත්කාරයෙන්  අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට අසමත් වූවත් හත් අවුරුද්දකට වැඩි  කාලයක් තිස්සේ පවත්වාගෙන යන අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයට තව දුරටත්  නව සාමාජිකයන් බදවා ගනිමින් එය පණ ගැන්වීමට දරන උත්සාහය දෙමළ මව්වරුන්ට වේදනාවක් බවයි.

''වෙනස් කියන නාමයෙන් පැමිණි නව රජය අප විසින් නොසලකා හරින ලද OMP නැවත පණ ගැන්වීමට පෙළඹී සිටීම අපට වේදනාවක්. OMP ට අලුතින් බඳවා ගැනීම නිසා අපිට සැකයක් තියනවා, පසුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් තම ඡන්ද දායකයන් තෘප්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව පැහැදිලියි.''

 

                 

 
2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ඕ.එම්.පී සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භකර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පසුගියදා  නිවේදනය කර තිබුනි.  


වව්නියාවේ කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ කර වව්නියාව පරන බස් නැවතුම් පොල දක්වා කපුරු දැල්වු මැටි හට්ටි හිස තබා  විරෝධතා පා ගමනින් පැමිණ එහිදී විරෝධතා දියත් කළ දෙමළ මව්වරුන්ට නායකත්වය දි තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව දිස්ත්‍රික් සභාපතිනි සිවානන්දන් ජෙනීටා මාතාවයි.

සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටින සියළු මව්වරුන් ජීවිතයෙන් සමු ගැනීමට පෙර ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා සිටි ඇය අවධාරණය කර තිබුනේ දෙමළ මව්වරුන්ගේ ඉල්ලීම පරිදි  ජාත්‍යන්තර නීති යාන්ත්‍රණයක්  හරහා අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

''ජාත්‍යන්තර නීති යාන්ත්‍රණය හරහා අපරාධකරුවන් කූඩුවට දමා යුක්තිය ඉටු කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. නමුත් ඒ යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක් බවට පත්වෙමින් තිබෙනවා. යුද්ධය අවසන් වෙලා අපි දිගටම සටන් කළත්, කිසිම පිළිතුරක් නැතිව අම්මලා තාත්තලා 300කට වැඩිය මැරිලා. ඒ නිසා අපි මේ සාක්කිකරුවන් මැරෙන්න කලින් යුක්තිය ඉල්ලනවා.''

මුලතිව් දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී මාතාවගේ නායකත්වයෙන් ජගත් මානව හිමිකම් දිනයදා විරෝධතා දියත් කර තිබුනේ යුද්ධයෙන් වැඩිම විනාශයට පත්  මුලතිව්හි, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නවක පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් ද මෙම විරෝධතාවයට එක්ව සිටිනු දකින්නට ලැබුණි.

යුක්තිය ඉල්ලා සිටින දෙමළ ජනතාවට එරෙහිව දිගින් දිගටම ආණ්ඩුවේ බුද්ධි අංශ වලින් තර්ජන එල්ල වන බව නැවත නැවතත් අවධාරණය කළ ඇය එහිදී තව දුරටත් ප්‍රකාශ කර තිබුනේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබෙන තුරු මානව හිමිකම් දිනය යනු  ශෝක දිනයක් පමණක් බවයි.

''ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දෙමළ ජනතාවට නෙමෙයි. දෙමළ අයට ඒ අයිතිවාසිකම් නැහැ. උතුරු, නැඟෙනහිර ඔවුන් මර්දනය කරනවා. ඔවුන් තර්ජනයට ලක් වෙනවා. බුද්ධි අංශ තර්ජනය කරනවා. පොලිසිය අත්අඩංගුවට ගන්නවා. මේ තත්වය තුළ අද මානව හිමිකම් දිනය අවශ්‍යද? මෙය ශෝක දිනයක් බව අපි ජාත්‍යන්තර ප්‍රජාවට අවධාරණය කරනවා. මානව හිමිකම් දිනය උතුරු නැගෙනහිර දෙමළ ජනයාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබෙන තුරු ශෝක දිනයක් තමයි.''


යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා ජගත් මානව හිමිකම් දිනය දා යාපනයේ මහජන පුස්තකාලය ඉදිරිපිටදී යුද වින්දිත දෙමළ මව්වරුන් සමග විරෝධතා දියත් කළ යාපනය දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි සිවපාදම් ඉලන්කෝදෛ කියා සිටියේ සිය සමීපතමයන්ට අත්වු ඉරණම සොයා ගැනීම වෙනුවෙන් බව පවසමින් පැවැති ආණ්ඩු විසින් පිහිටවු සියළු ආයතන ප්‍රතිළුල රහිත බවයි.


''අපි මෙච්චර කල් බලාගෙන හිටියා. ඒ කොමිසම, මේ කොමිසම, ඒ යාන්ත්‍රණය, මේ යාන්ත්‍රණය, සංහිදියා කොමිසම, OMP මේ කිසිවෙකුත්  අපේ ප්‍රශ්නයට මෙතෙක් විසඳුමක් දීලා නැහැ. අපි පස් දෙනෙකුගේ විස්තර OMP එකට දීලා කිව්වා එයාලව හොයලා දෙන්න , එහෙම වුණොත් අපි OMP ළඟට එනවා කියලා. නමුත් දීපු ලියකියවිලි පවා නැති කරලා. එතකොට මොකක්ද OMP, ඊට පස්සේ මොකක්ද සංහිඳියාව. අපිට කිසිම දෙයක් අවශ්‍ය නැහැ.''

ජීවත්ව සිටියදී රජයේ ආරක්ෂක අංශ වෙත බාර දුන් දරුවන්ට අත් වු ඉරණම කුමක්දැයි මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න කොකරන්නේ ඇයිදැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැති විරෝධතාවයට නායකත්වය දුන් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ මන්නාරම දිස්ත්‍රික් සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍රා මාතාව ප්‍රශ්න කර තිබුනි.

''මහළු වියේදී හරි අපි නිදහසේ සිටිය යුතුයි. අපි අපේ දරුවන්ව බාර දුන්නේ විශ්වාස කරලානේ. එයාලා නැවත එයි කියන විශ්වාසයෙන් තමයි බාර දුන්නේ. අපි සටන් කරන්නේ අපේ මැරුණු දරුවන් වෙනුවෙන් නෙවෙයි, අපි සටන් කරන්නේ ජීවත්ව සිටියදී බාර දුන් ළමයි වෙනුවෙන්. මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන ඒ ගැන ජාත්‍යන්තරයෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද?''

මන්නාරමේ දියත් කළ විරෝධතාවයට දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පක්ෂ නායකයන්ද එක්ව සිටි අයුරු පළාත් බද වාර්තාකරුවන් වීඩියෝ ගත කර තිබේ.

නැගෙනහිර පළාතේ මඩකලපුව, ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික්ක තුලත් ජගත් මානව හිමිකම් දිනය දා බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලා විරෝධතා දියත් කර ඇත.

මඩකලපුව තන්දෙයි සෙල්වා අනුස්මරණ උද්‍යානය අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියෙන් ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන ස්මාරකය අසලට පැමිණි සිය ගණනක් වු දෙමළ මව්වරුන් දියත් කළ උද්ඝෝෂණයට නායකත්වය සපයා තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපු සභාපතිනි අමලරාජ් අමලනායකී මාතාවයි.


සිය ලේ ඥාතීන්ට අත්වු ඉරණම වහාම හෙළි කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඇය තව දුරටත් කියා තිබුනේ ආරක්ෂක අංශ විසින් සිදු කරන ප්‍රශ්න කිරීම් හමුවේ දෙමළ මව්වරුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.


''මේ හමුදාව මේ කඳවුරේ ඉඳන් කොහොමද ඥාතීන්ව අරගෙන ගියේ කියලා අපි කියමින් ඉන්නවා. නමුත් මේ ගැන සොයා බලන්නේ නැතිව වින්දිත මව්වරුන්ව ප්‍රශ්න කරන නිසා අපි මානසික පීඩනයට ලක් වෙලා ලෙඩ වෙලා මැරිලා යනවා. තවත් ප්‍රමාද නොවී අපට විසඳුමක් දෙන්න. අපේ ඥාතීන් නැවත දිය යුතුයි. නැතිනම් ඔවුන්ට අත්වු ඉරණම හෙළි කරන්න.''

ජගත් මානව හිමිකම් දිනය දා  අම්පාර නගරයේ ඔරලෝසු කනුව අසල පැවැති විරෝධතාවයට නායකත්වය දෙමින් අම්පාර දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති තම්බිරාසා සෙල්වරානි මාතාව කියා සිටියේ අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ නොව පළමු ස්ථානයේම ශ්‍රී ලංකාව සිටිදැයි සැක සහිත බවයි.

''අපි අභ්‍යන්තර යාන්ත්‍රණ විශ්වාස කරන්නේ නැහැ. බොහෝ අභ්‍යන්තර යාන්ත්‍රණ ගෙනැවිත් ඒවා අප මත පැටවීමට උත්සාහ කරනවා. පසුගිය යුද්ධයේදී අපට මිනිසුන් 149,679 ක් අහිමි උනා. ඒ විතරක් නෙවෙයි ලංකාව අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැන ඉන්නවා. නිදහසට පෙර සිටම අපගේ මිනිසුන්ගේ සහ අපගේ ඥාතීන්ගේ මරණය අනුව බැලුවොත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ සිටිනවාද කියන ප්‍රශ්නාර්ථයත් අපිට තියනවා.''

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි කේ සෙබස්තියන් දේවි මාතාවගේ ප්‍රධානත්වයෙන්  දෙසැම්බර් 10 වැනිදා සිය සමීපතමයන්ට යුක්තිය ඉල්ලමින් යුද වින්දිත දෙමළ මව්වරුන් විරෝධතා දියත් කර තිබුනේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය ඉදිරිපිටදීය.

 sdftw45
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජගත් මානව හිමිකම් දිනයේ ආණ්ඩුවට උතුරු නැගෙනහිරින් චෝදනා | The Leader