ලෝක හෙවිවේට් බොක්සිං ශූර ‘ඩයිනමයිට්’ ඩැනියල් ඩූබ්වාගෙන් (Daniel Dubois) අතිශයින් දරුණු පහර කෑමට ලක්වූ ෆැබිඔ් වෝඩ්ලී (Fabio Wardley) ට තරග තහනමක් පනවා තිබෙනවා.
අතරමග නතරකළ පහර කෑම
31 හැවිරිදි වෝඩ්ලී ලන්ඩනයේ O2 බොක්සිං වළල්ලේ පැවති තරගයේදී 29 හැවිරිදි ඩූබ්වාගෙන් නොසෑහෙන්න ගුටිකෑ අතර දෙවැනි වටයේ මිනිත්තු 2යි තත්පර 21ක් ගතව තිබියදී සටන නතර කෙරුණා.
බලවත් බොක්සිං ක්රීඩාවක් ප්රදර්ශනය කරමින් ඩූබ්වා ඔහුගේ ලෝක හෙවිවේට් කිරුළ රැක ගත් මේ තරගයේ පළමු වටය වෝඩ්ලි කෙසේ හෝ ඔරොත්තු දී සිටිය ද දෙවැනි වටයේදීත් එල්ල වූ දරුණු ප්රහාරය හමුවේ ඔහුගේ කඳවුර නුවණක්කාර ලෙස තරගය නතර කළා.
සාහසිකව එක් පැත්තකට පමණක් සීමාවූ මේ සටනේදී වෝඩ්ලි ප්රතිවාදියාට වැදෙන්න ගැසුවේ පහර හතරක් පමණයි.
තරග තහනමේ ස්වභාවය
මේ අන්ත පරාජයෙන් පසුව ඔහු දැන් බ්රිතාන්ය බොක්සිං පාලක මණ්ඩලය යටතේ තරග කිරීමේ තහනමකට ලක්ව සිටිනවා.
වෝඩ්ලි මෙන් ‘තාක්ෂණික බිම හෙළීමකට’ (තාක්ෂණික නොක් අවුට් - TKO) ලක්වන ක්රීඩකයන්ට මණ්ඩලය විසින් අවම වශයෙන් දින 28ක ක්රීඩා තහනමක් පනවනවා.
තරගයකදී අත්විඳින ශාරීරික තුවාල හා කම්පනයේ දරුණුකම මත ඒ තහනම දීර්ඝ කිරීමට හැකියාව තිබෙනවා. එහෙත් වෝඩ්ලි මෙහි අවම කාලය ගත කිරීමෙන් පසුව නොවැම්බර් 14 වැනිදා යළි තරග කිරීමට සුදුසුකම් ලබනවා.
අනිවාර්ය තහනමකදී සටන්කරුවන්ට තරග කිරීම පමණක් නොව බොක්සිං පුහුණුවේ තරග කිරීම (ස්පාරිං) ද තහනම් වනවා.
කිරුළ වෙනුවෙන් මුෂ්ටි පහර 60ක්
තරගය පැවති වට දෙකේදී වෝඩ්ලි ට එල්ල කිරීමට හැකිවුණේ මුෂ්ටි පහර 27ක් පමණයි. ඩූබ්වා එල්ල කළ පහර සංඛ්යාව 119ක්.
වෝඩ්ලිගේ උත්සාහයන් හිදී ඩූබාවා ට වැදුනේ පහර හතරක් පමණක් වූ අතර ඩූබ්වා සටන පැවති කෙටි කාලය තුළ ඔහුගේ ප්රතිවාදියාට 60 වතාවක් පහර දීමට සමත් වුණා.
තමා මෙන්ම එංගලන්ත ජාතිකයෙකු වන වෝඩ්ලී විනාශ කරමින් ලබා ගත් මේ ජයග්රහණයෙන් ඩූබ්වා රැක ගත්තේ ඔහුගේ WBO - ලෝක බොක්සිං සංවිධානයේ - හෙවිවේට් කිරුළ යි.




