වත්මන් දේශපාලන තත්වය ගැඹුරින් සැලකිල්ලට ගෙන 'මන්ත්‍රී දේශපාලනයට' සමුදීමටත්, ඒ අනුව මෙවර මහ මැතිවරණය සටනින් ඉවත්වීමටත් තීන්දු කළ බව

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මෙය කිසිඳු ලෙසකින් දේශපාලනයෙන් සමුගැනීමක් හෝ විශ්‍රාම ගැනීමක් නොවන බවත්, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට තබන්නාවූ අලුත් පියවරක් බවත් ඔහු කියා සිටියි.

එඩිතර මාතර ජනතාවගේ ශක්තියෙන් තිස් දෙවසරක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ තමා ඉදිරියටත් මාතර ජනතාවගේ ආශිවාදය අපේක්ෂා කරන බවද ඔහු පැවසිය. 

'සමගි ජන බලවේගයෙන්' මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට නියමිතව සිටි මංගල සමරවීර එබව සඳහන් කර සිටියේ, මාතර පිහිටි ඔහුගේ නිවසේ අද (ජුනි 09) පස්වරුවේ පැවති සාකච්ඡාකදීය. මාතර දිස්ත්‍රීක්කයේ පළාත් පාලන නියෝජිතයින් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණ.

මනාපය දෙන්න එපා කියයි :

ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ 'සමගි ජන බලවේගයේ' අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටින බව පැවසු මංගල සමරවීර, තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රීක් ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට දන්වා ඇතැයි මංගල සමරවීර කියා සිටියේය.

 

ගෝඨාභය වැඩ බැරි බව ඔප්පු කර ඉවරයි !

එහිදී විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදූරදර්ශී පාලනයක් බවත්, මාස 6ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කරමින් ඇති බවත්, ජාතිවාදය, ආගම්වාදය පතුරා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින බවත්, ඒ හමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහාගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර ප්‍රකාශ කළේය.

මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය. 

තිස්වසරකට අධික කාලයක් මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ නොබිඳුණු ප්‍රතිපත්තියක් වෙනුවෙන් තමා කටයුතු කළ බවත්, මේ රටේ ජීවත්වන සියලු මිනිසුන්ගේ ජීවනාලිය, සහජීවනය සහ මිනිස්කම දශමයකින් හෝ ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියා කළ බව ද  සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, ඒ කාලය තුළ මාතරට මෙන්ම රටට යම් වැඩකොටසක් හෝ සාර්ථකව ඉටුකිරීමට හැකියාව ලැබුණු නමුත් තවත් බොහෝමයක් දෑ රට වෙනුවෙන් කළයුතුව ඇති බව ද එහිදී සඳහන් කර සිටියේය.

 

නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුමක්...

කෙසේ නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන,  එකිනෙකා කෙරේ වෛරයෙන් නොබැඳුණු මිනිස් කැළක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක් ගොඩනැංවීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුමක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ රටේ මිනිසුන් උප්පත්තියෙන් හිමිකර ගත් ජාතිය, කුලය, ආගම, ජන වර්ගය හෝ ලිංගික අනන්‍යතා සාධක තම හිස මත පුරවා නොගත්, දේශපාලන, සංස්කෘතික හා සමාජ කුහකත්වයෙන් තොර සියලු මිනිසුන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් අවධාරණ කර සිටියේය.

 මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි යලි යලිත් අවධාරණය කර සිටි මංගල සමරවීර, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශීර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්