leader s

ශ්‍රී ලංකාවෙන් හමු වු අලුත්ම සමූහ සුසානයේ කැනීම් ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකුලව හා අපක්ෂපාති විය යුතු බවට වින්දිතයන් දිගින් දිගටම

කරන ඉල්ලීමට එක්සත් ජාතීන්ගේ අනුමැතිය පලවී තිබේ.

"සමූහ මිනීවල සම්බන්ධයෙන් කළ යුතු දෙය වන්නේ, සත්‍යය හෙළි කිරීමට සමත් අධිකරණ වෛද්‍ය විශේෂඥතාවක් ඇති ස්වාධීන විශේෂඥයන් විසින් මෙහෙයවන පුළුල්, ශක්තිමත් පරීක්ෂණ මගින් තමන්ගේ ආදරණීයයන් අතුරුදන් වූ පවුල්වල සාමාජිකයන්ගේ වේදනාවට හා දුකට අවසානයක් ලබා දීමයි," යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් යාපනයේ චෙම්මනි, සිද්ධුපත්ති සමුහ සුසානය අසල දී කළ ප්‍රකාශයක වීඩියෝවක් පල කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය දිවයිනේ සියලු සමූහ මිනීවල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාව අවධාරණය කර තිබුණි.

“විමර්ශන පැවැත්විය යුත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව අපක්ෂපාතී හා පරිපූර්ණ අයුරිනි. රටපුරා සමූහ මිනීවළවල් ගණනාවක් සොයාගෙන තිබේ,” යි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබේ.


යුද වින්දීත දෙමළ ජනයාද එකහෙලාම ඉල්ලා සිටින්නේ සමුහ සුසානවල කැනීම් කටයුතු ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකුලව ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ සිදු විය යුතු බවයි.

 

කෙසේවෙතත්, මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ජුනි 25 වැනිදා චෙම්මනි, සමුහ සුසානය නිරීක්ෂණය කරන අවස්ථාව වාර්තා කිරීම සඳහා ඉඩ නොදෙමින් පොලීසිය දේශීය මාධ්‍යවේදීන්ට වාරණයක් පනවා තිබුණි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මහ කොමසාරිස්වරයා සමුහ සුසානය නිරීක්ෂණය කරන අවස්ථාවේ එම භුමියට ජනයා ඇතුළුවිම වැලැක්වීම වෙනුවෙන් යාපනය පොලීසිය අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබා ගෙන තිබු බවයි.

මේ වනවිට බාල ළමුන් ඇතුළු 19 දෙනකුගේ සිරුරු කොටස් ගොඩගත් ශ්‍රී ලංකාවෙන් දැනට හමු වී ඇති පස්වැනි සමූහ සුසානය නීති විරෝධී හෝ රහසිගත හෝ අයුරින් සිරුරු වල දැමූ භූමියක් විය හැකි බව කැනීම් කටයුතු මෙහෙයවන විශේෂඥයන් අධිකරණයට වාර්තා කර තිබේ.


සුසානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහකොමසාරිස්වරයා, යුක්තිය සඳහා සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඇතුළු වගඋත්තරදායකත්වය සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් චෙම්මනි සමූහ මිනීවලට නුදුරින් ‘ජනතා ක්‍රියාකාරිත්වයේ’ සංවිධානත්වයෙන් දල්වා තිබෙන  ‘නොනිමෙන ප්‍රදීපය’ විරෝධතා භුමියට පැමිණ යුද්ධයේදී මළවුන් වෙනුවෙන් පුෂ්පානුස්මරනයක් පවත්වනු දැකගත හැකිවිය.


යාපනයට පැමිණිමට පෙර ජුනි 25 වැනි දා පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ගොස් තිබුනේ ත්‍රිකුණාමලයටයි.

හැඬුම්බර නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාව ත්‍රිකුණාමලයට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් මහමගදී හමුවී දෙමළ වර්ග සංහාරය, සමූහ ඝාතන, අතුරුදහන් කිරීම්, ඉඩම් කොල්ලය, සමූහ සුසාන, හමුදාකරණය හා බෞද්ධකරණය ඇතුළු නොවිසඳුණු ගැටළු පිළිබඳ ලියවිලි බාරදී තිබුනි.

ත්‍රිකුණාමලයේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද මුණගැසී සාකච්ඡා පැවැත්වු මහ කොමසාරිස්වරයා යාපනය බලා ගුවනින් පියත්වීමට පෙර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාද මුණගැසුනු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ජුනි 25 වැනිදා චෙම්මනි සමුහ සුසානය කිරීක්ෂණය සදහා පැමිණිමට පෙර වොල්කර් ටර්ක් මහ කොමසාරිස්වරයා යාපනයේ දී සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර කාර්යාලයේ (IOM) නියෝජිතයන්, යුද වින්දිත දෙමළ මව්වරුන්, විශ්ව විද්‍යාල සිසුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ආගමික නායකයන්, හා දේශපාලනඥයන් කිහිප දෙනකුද මුණ ගැසුනු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

එදින පස්වරුවේ යාපනය නල්ලූර් කෝවිල වෙත ගිය ඔහු ඉන් අනතුරුව රාත්‍රි 7 ට පමණ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මුණගැසී සාකච්ඡා පවත්වා ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

Chemmani UN 2

Chemmani UN 1

Chemmani UN 7

Chemmani UN 6

Chemmani UN 3

Chemmani UN 5

Chemmani UN 4

සබැඳි පුවත් :

ශ්‍රී ලංකාව හමුවේ ඇති උගුල් දෙකක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් කියපු කතාව

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil