මහවැලි සංවර්ධන අධිකාරිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුමේන්තුව සතු හම්බන්තොට යෝජිත "අලි කළමනාකරණ රක්ෂිතය"ට වෙන් කොට ඇති

ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට හා සමාගම්වලට ලබා දීමට රාජපක්ෂ පවුලේ හිටපු අමාත්‍යවරයෙක් නියෝග ලබා දී ඇති බවට පාරිසරික ආයතනයක් චෝදනා නගයි.

 චමල් රාජපක්ෂ මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන හිටපු අමාත්‍යවරයාගේ නියෝගය මත මහවැලි අධිකාරිය විසින් මේවන විට අදාළ කළමනාකරණ රක්ෂිතයෙන් අක්කර 2500 ක භූමි ප්‍රමාණයක් විවිධ සංවර්ධන ව්‍යාපෘති හා මහ පරිමාණ වානිජ්‍ය වගා සඳහා පවරා දී ඇතැයි චෝදනා කරන්නේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයයි.

"හම්බන්තොට ගල්වැව, වැලිවැව, කුරුදාන, කැටැන් වැව, ගලහිටිය වැවට ඉහලින් පිහිටි අන්දර වැව දක්වාත්, ගොන්නෝරුව හා බුරුත කන්ද අතරත් අක්කර 2000 වැඩි ප්‍රමාණයක් හා එයට අමතරව, ගොන්නෝරුව හා බුරුත කන්ද අතර අක්කර 500 ක යෝජිත අලි කළමනාකරණ රක්ෂිත වනාන්තරය ඩෝසර් යන්ත්‍ර යොදා මේවන විටත් එළිපෙහෙළි කරමින් පවතින්නේය," යි එම ව්‍යාපාරයේ සජීව චාමිකර පෙන්වා දෙයි.

Land2

ගොන්නෝරුව හා බුරුත කන්ද අතර අක්කර 500ක වනාන්තරය සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියක් සඳහා එළිපෙහෙළි කිරීමේ චෝදනාවට ලක්ව සිටින්නේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකි.

 නිවේදනයක් නිකුත් කරමින් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) පවසන්නේ 450ක පමණ අලි ඇතුන් ගේ නිජබිම වූ මේ වනාන්තර ප්‍රදේශ  "හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය" ලෙස වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන්, හම්බන්තොට  දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනත්, ප්‍රදේශවාසිනුත් එක්ව සැලසුම් කර යෝජනා කර තිබෙන බවයි.

 "මේ සැලසුමේ විදුලි වැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක්‍රියා මාර්ග යෝජනා වී තිබුනා. මේ සියලුම සැලසුම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට යවලා අවුරුදු නවයකට වැඩියි. ඒත් අදවන තුරු කිසිදු ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ. මේ සැලසුමේම කොටසක්වන නියමිත වනාන්තර ප්‍රමාණය වෙන්කර ගන්න ඉඩම් අමාත්‍යාශයට යවන ලද යෝජනාවට අවුරුදු හතක් ගතවෙලාත් කිසිදු ප්‍රගතියක් නැහැ," යි  සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මගින් කරන ලද අධ්‍යයනයකින් තොරතුරු ගෙන හැර දක්වයි.

වසර ගණනාවක් තිස්සේ සිට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබියදීත්, අලි ඇතුන්ගේ වාසභූමි නිත්‍යානුකූල ලෙස වෙන් නොකරමින් ඒවා අල්ලා ගෙන ජාවාරම් සඳහා යොදා ගැනීමෙන් හා උන් කැලයකින් තවත් කැලයකට මාරුවන මාර්ගය නැතිනම් අලිමංකඩවල් අහුරා දැමීම හේතුවෙන් ගම් වැදීමෙන් මිනිස් ජිවිත පහළොවක් පමණද, මිනිසුන් සැලසුම් කොට අලි ඇතුන් 31 ක් පමණද ඝාතනය කර තිබේ.

 

යහපාලනයේ අලින්නේ වැඩ:

යහපාලන රජයේ හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායකයාද අලිමංකඩවල් වසා දමමින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ අලුතින් ගම්මාන පිහිටුවමින්ද, ඔහුගේ ආධාරකරුවන්ට වාණිජ වගාවන් සඳහා ඉඩම් ලබාදීමෙන්ද අලි - මිනිස් ඝාතන දෙගුණ තෙගුණ වූ බවටයි චාමිකර චෝදනා කරන්නේ.

අලි ඇතුන් සඳහා වෙන් කැරුණු ඉඩම් නින්දගම් ඉඩම් නමින් මුදලට විකිණීමේ ජාවාරමක්ද මේ අතර ක්‍රියාත්මක පවතී. හම්බන්තොට ගොන්නෝරුව නින්දගම ලෙස හැඳින්වෙන පන්වැව සිට ගොන්නෝරුව දක්වා විහිදී ඇති අක්කර 500 ක පමණ වනාන්තර ප්‍රදේශයත්, කැටැන් වැව සිට මළල ආර දක්වා කොටසේ පිහිටා ඇති ගලහිටිය වත්ත නින්දගම ලෙස හඳුන්වන රක්ෂිතයත් අක්කර 25 -.50 කට්ටි කර විකිනීමේ ජාවාරමට ගොදුරු වී තිබෙනවා..මේ පරිසර නීති විරෝධී ඉඩම් කට්ටි කර විකිනීමට පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසන සංවිධායෙකුත් සම්බන්ධ බවට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නිකුත් කොට ඇති නිවේදනයේ සදහන් වේ.  

"යෝජිත අලි කළමනාකරණ රක්ෂිත වනාන්තරයේ සූරිය වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයිති අන්දර වැව හා පහල අන්දර වැවඅතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අනීතික ලෙස අක්කර 2000 පමණ කැලෑව සුද්ද කරලා මහා පරිමාණයෙන් කෙසෙල් වගාවක් දමලා,” යි සජීව චාමිකර දෝෂ දර්ශනයට ලක්කරන්නේ ඡයාරූප සාක්ෂි ද සහිතවය.

Unauthorized cultivation of kehel

“මහින්ද රාජපක්ෂ පාලන සමයේ තවත් පොඩි රාජපක්ෂ කෙනෙකුගේ අනුග්‍රහයෙන් තමයි මේ අනවසර කෙහෙල් වගාව ආරම්භ කරලා  තියෙන්නේ. ඉන්පස්සේ මේ වගාව දිගටම පවත්වා ගෙන යන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාප ප්‍රබලයෙකුගෙන් හා හිටපු එජාප නියෝජ්‍ය අමාත්‍ය ආරච්චි කෙනෙකුගේද නොමඳ සහයෝගය ලැබී තිබෙනවා."

 

ව්‍යාපාරික වාසි:

හිටපු ගුවන් හමුදාපතිවරයාගේ සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘතියකට අමතරව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අයිරිස්, අනෝචි, ෆාර්නා, නාවිටාස්, යන සමාගම් වලට සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරිම සඳහා තිස්සපුර, බුරුතකන්ද  ප්‍රදේශයේ වනාන්තර වලින් අක්කර 600 ක් ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් ලබා දී ඇතැයි සඳහන්වේ.

මයුරපුර හා නාගර වැව ප්‍රදේශ මුල් කරගනිමින් තවත් ස්ථාන ගණනාවකද වනාන්තර විනාශ කරමින් අධිවේගී මාර්ගයන් සඳහා පස් කැපීම මහා පරිමාණයෙන් සිදුවන බවද තවත් චෝදනාවකි.

එලෙසින්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහවැලි අධිකාරියට අයත් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වෙහෙරගල, මහ අලුත්ගංආර, මයුරපුර, සිනුක්කුගල, කැටන් වැව, ඉහළ අන්දර වැව, කුඩා ඉදිවැව, ගලහිටිය හා ගොන්නෝරුව යන අලි- ඇතුන්ගේ වාසස්ථාන සමතලා කරගෙන මහා ගල්කොරි ඉදි වී ඇතැයිද පවසයි.

Land

ගුවන් තොටුපොළ, වරාය,ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාව,හා අධිවේගී මාර්ග පද්ධතිය ඇතුළු මහා පරිමාණ අවිධිමත් මහා සංවර්ධන ව්‍යපෘති හේතුවෙන් හම්බන්තොට අක්කර 20,000කට අධික වනාන්තර ප්‍රමාණයක් එළිකර ඇතැයිද  මේ හේතුවෙන් අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර පද්ධතිය දැඩි ලෙස ඛණ්ඩනය වී තිබෙන්නේ යැයිද ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කියයි. මේ හේතුවෙන් අලි- ඇතුන් පමණක් නොව එළ හා මි ගවයින් 30,000 කට වැඩි ප්‍රමාණයකට තණ බිම් අහිමිව ඇත.

 රක්ෂිත වනාන්තර පද්ධතිය මෙලෙසින් විනාශයට යෑමෙන් මේ තුළ පිහිටා තිබෙන මහ පරිමාණ හා කුඩා වැව් 42 ක් පමණ වියළීයෑමේ අනතුරටද මුහුණ පා තිබේ.

 ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ අක්කර 2.5 වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව ඒ සඳහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතුය. නමුත් හම්බන්තොට අලි- ඇතුන්ගේ නිජබිම අලි කළමනාකරණ රක්ෂිතයක් බවට නීතියෙන් වෙන් නොකරමින් හා සියළුම පාරිසරික නීති උල්ලංඝනය කරමින් මහවැලි අධිකාරිය කරගෙන යන්නාවූ වනාන්තර විනාශය පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර වැඩි දුරටත් කියා සිටී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්