කොරෝනාවෛරස ආසාදිත සංඛ්‍යාව අතින් ඉන්දියාව මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබෙන්නේ ඇමෙරිකාව හා බ්‍රසීලයට පසු ලොව තුන්වෙනි විශාලතම ආසාදිතයින් සංඛ්‍යාව සහිත රට බවට පත්වෙමිනි.

එහි අති විශාල ජනගහනය සැලකීමේදී මෙය පුදුමයට කරුණක් නොවුව ද ඉන්දියාවේ අසල්වැසි රටවල් ද වෛරසයේ දැඩි බලපෑමට ලක්ව ඇත.

පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය තුළ වසංගතය බලපෑ ප්‍රමාණය විමසා බලමු.


ලෝකයේ වඩා සක්‍රීය ස්ථානයක්

සෑම දින 20 කදීම රෝගීන් ප්‍රමාණය දෙගුණයක් වෙමින් ඉන්දියාව දැන් කොරෝනාවෛරසයේ මධ්‍ය ලක්ෂ්‍යයක් බවට පත්ව තිබේ. රෝගීන් ප්‍රමාණය තවමත් වේගයෙන් ඉහළ යමින් තිබේ.

කෙසේවෙතත්, දෛනිකව වාර්තාවන රෝගීන් සම්බන්ධයෙන් කළාපයේ අනෙකුත් ප්‍රදේශ වෙනස් ගමන් මගකට පිවිස තිබෙන්නේ, මැයි - ජුනි මාසවලදී දුටු අධික ඉහළ යාමෙන් අනතුරුව තහවුරු කරන ලද ආසාදිතයන් ප්‍රමාණය පහළ යාමක් පෙන්නුම් කරන හෙයිනි.

වැඩිම රෝගීන් සංඛ්‍යාව අතින් කළාපයේ දෙවෙනි ස්ථානයේ ඇති පාකිස්තානය තුළ ආසාදිත වක්‍රය පහළට දිශාගත වීම සම්බන්ධයෙන් සුභවාදී බවක් පළවී ඇත.

ජුනි මැද වනවිට දෛනික ආසාදිත සංඛ්‍යාව 6,000ක් වූ තැන සිට ජූලි මැද වනවිට 2,000 ට වඩා අඩු තත්ත්වයකට පහළ වැටී තිබේ.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් තවමත් සැලකිල්ල පවතින අතර ඇතැමුන්ට අනුව, වෛරසය පාලනය කර ඇතැයි නිගමනය කිරීමට කල්වේලා වැඩි ය.

''ඇතැමුන්ට අනුව, වෛරසය පාලනය කර ඇතැයි නිගමනය කිරීමට කල්වේලා වැඩි ය.''

මේ හා සමානව, ජූලි 16 වනවිට 196,323ක් ලෙස බංග්ලාදේශ් හි සමස්ත රෝගීන් ප්‍රමාණය වාර්තා විය. ජුනි මැද සහ ජූලි මස ආරම්භයේදී එරට වැඩිම දෛනික රෝගීන් ප්‍රමාණය වාර්තා විණි.

ඉන් අනතුරුව, ආසාදිත වක්‍රයේ පහළ යාමක් පෙන්නුම් කළේ මේ වනවිට සෑම දින 28 දී ආසාදිතයින් සංඛ්‍යාව දෙගුණ වෙමිනි.

 113442628 bbc                         Boy in Afghanistan gets his temperature check

ඇෆ්ඝනිස්තානය තුළ ආසාදිතයින් දෙගුණවීමේ වේගය අසල්වැසි රටවලට වඩා අඩුවී තිබෙන්නේ සෑම දින 41 දී එය වාර්තා වීමක් ලෙසය. එහෙත් එරට නිල සංඛ්‍යා දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගී ඇත.

ලංකාව :

නේපාලය හා ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස ආසාදිත ප්‍රමාණයේ පෙන්නුම් කරන්නේ පහළ මට්ටමකි. නේපාල ආණ්ඩුව විසින් පනවන ලද ලොක්ඩවුන් වැඩපිළිවෙල දින 100ක් ක්‍රියාත්මක විණි. එම කාලය තුළදී වැඩිම රෝගීන් ප්‍රමාණය හඳුනාගනු ලැබුණේ ඉන්දියාවට මායිම්වන ප්‍රදේශ වලිනි.

මෑත ප්‍රවණතාව පෙන්වන්නේ දෛනික රෝගීන් සංඛ්‍යාව පහත වැටෙන බවකි. එහෙත්, ප්‍රජාව අතරේ රෝගීන් හඳුනා නොගැනීම මීට එක් හේතුවක් විය හැකි බව විශේෂඥයෝ පවසති.

අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ ද එම සංඛ්‍යා පහළ මට්ටමක රඳවා ගැනීමට සමත්වී ඇත. දැඩි 'ලොක්ඩවුන්' පියවර ක්‍රියාවට නැගූ අතර තහවුරු කරන ලද රෝගීන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම හා ආසාදිතයින් සඳහා දැඩි නිරෝධායන රීති පැනවිණි.

"මහජන සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය, බුද්ධි තොරතුරු නිලධාරීන් හා ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන්ගේ දායකත්වය සහිතව, දැඩිව ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැගුණා," යැයි බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ පැවසීය.

ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ ශ්‍රී ලංකාව 'ලොක්ඩවුන්' පියවර ඉවත් කළේය.

 113475246 srilanka                              Temperature check at a railway station in Sri Lanka

අඩු මට්ටමේ පරීක්ෂාව:


ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ සිටින්නේ දකුණු ආසියාවේ ය. එහෙත් සමස්ත වාර්තාගත ආසාදිතයින් අතරින් මෙම කළාපයෙන් වාර්තාවූයේ 11% ක් පමණි.

"ඉන්දියාවේ වගේම දකුණු ආසියාවේ රටවල පුද්ගලයින් මිලියනයකට සමස්ත රෝගීන් සංඛ්‍යාව සිටින්නේ අඩු මට්ටමක. පුද්ගලයින් මිලියනයකට කෙරෙන මුලු පරීක්ෂණ සංඛ්‍යාවත් ඒ වගේමයි," වෛරසවේදියෙකු වන වෛද්‍ය ෂහීඩ් ජමීල් පැවසීය.

මෙම රටවල මුලු පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නවා වගේ පෙනුන ද, ජනගහනය සමග සසඳන විට "උසස් තත්ත්වයක නැති" බව ඔහු කියා සිටියේය.

උදාහරණයක් ලෙස, කල් යද්දී ඉන්දියාව පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවූ අතර මේ දක්වා මිලියන 10.3 ක පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. පාකිස්තානයේ එය මිලියන 1.6 ට අධිකය.

එහෙත් ඒක පුද්ගල පරීක්ෂණ ප්‍රමාණය අනෙකුත් බොහෝ රටවලට වඩා අඩු මට්ටමක පවතී.

මීටත් වඩා, පාකිස්තානයේ හා බංග්ලාදේශ් හි පරීක්ෂණ මට්ටම පහළ වැටී ඇති අතර එය වාර්තා වූ තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාවට බලපෑමක් එල්ල කෙරෙනු ඇත.

රෝගීන් වැඩිවශයෙන් වාර්තා වූ කාලය තුළදී පාකිස්තානය දිනකට පරීක්ෂණ 31,000 ට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කළේය. එහෙත් ජුනි මස අග සතියේ සිට එම ප්‍රමාණය අඩු කර ඇති අතර රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ නොපවත්වයි.

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර හා ඒ අවට ආණ්ඩුව විසින් මෑතදී කරන ලද සමීක්ෂණයකදී පෙන්නුම් කළේ එම ප්‍රදේශයේ පමණක් ආසන්න වශයෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට වෛරසය ආසාදනය වී ඇති බවකි. ඉන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්වති.

බංග්ලාදේශ් හි පරීක්ෂණවල ප්‍රමාණයද පහළ යාමක් පෙන්වන අතර ආසාදනය වී නැති බව දැක්වෙන ව්‍යාජ සහතික අලෙවි කිරීමේ ජාවාරමක් හේතුවෙන් පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගිණි.

බංග්ලාදේශ් හි පරීක්ෂණවල ප්‍රමාණයද පහළ යාමක් පෙන්වන අතර ආසාදනය වී නැති බව දැක්වෙන ව්‍යාජ සහතික අලෙවි කිරීමේ ජාවාරමක් හේතුවෙන් පරීක්ෂණවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැගිණි.
නේපාලය ජූලි 16 වනවිට ලක්ෂ තුනට මඳක් වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කර තිබිණි. ජූලි මාසයේ සිට දෛනිකව පරීක්ෂණ 10,000 ක් පවත්වන බව ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද මෙතෙක් එය පවතින්නේ 4,000 ක පමණ ප්‍රමාණයක ය.

ඇෆ්ඝනිස්තානයේ පරීක්ෂණ දත්ත දැනගන්නට නැති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන රතු අඩසඳ සංවිධානය පවසන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමාණයට වඩා සත්‍ය රෝගීන් ප්‍රමාණය මීට වැඩි විය හැකි බවකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සකස් කරන ලද නිර්ණායකයට අනුව රටක හෝ කළාපයක පරීක්ෂණ 10 ත් 30 අතර ප්‍රමාණයකට තහවුරු වූ රෝගියෙකු හඳුනාගැනීම සිදුවේ.

මේ ගණනය සැලකීමේදී දකුණු ආසියානු රටවල තිබෙන්නේ දුර්වල තත්ත්වයකි. බංග්ලාදේශ් හි ජනගහනයට සමාන ජනගහණයකින් හෙබි රුසියාව හා ජපානය තුළ වඩා පුළුල්ව පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ. එම රටවල පිළිවෙලින් පරීක්ෂණ 32 ට හා 26 ට තහවුරු වූ රෝගියෙකු සොයා ගැනේ. එහෙත් බංග්ලාදේශ් තුළ සෑම පරීක්ෂණ පහකදී එක් රෝගියෙකු හමුවේ.

නේපාලය තුළ ජුනි 14 වෙනිදා තෙක් සෑම පරීක්ෂණ 25 ට රෝගියෙකු සොයා ගැනිණි. ඉන් පසු දත්ත දැනගන්නට නැත.

විශ්වසනීය නොවන සංඛ්‍යාලේඛන:

නිශ්චිත අංක හෝ ජනගහනය අතරින් සලකන ප්‍රමාණය දෙස අප විමසීම යොමු කළද, මෙම රටවල මරණ සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ බටහිර රටවලට වඩා බෙහෙවින් අඩු මට්ටමකිනි.


මෙය දිරිගන්වන සුලු සංඥාවක් වුව ද, අසතුටුදායක සෞඛ්‍ය යටිතල පහසුකම් පිළිබද වාර්තාවක් ඇති කළාපයකින් ලැබෙන මෙම දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න නැගී ඇත.

"බොහෝ මරණ, අතිශයින් වැදගත් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ වාර්තා වී නැහැ. ඒ වගේම මරණවලට හේතුව වැරදි ගොන්නට ඇතුළු කරලා," යැයි යෝක් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය විශේෂඥ මහාචාර්ය කම්රන් සිද්දිකි පැවසීය.

එහෙත් වෛද්‍ය ෂහිඩ් ජමීල් පවසන පරිදි මරණ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වුවද ඒ වෙනස "සැලකිය යුතු තරම්."

"බොහෝවිට දිය හැකි පැහැදිලි කිරීම වන්නේ යුරෝපයට හා ඇමෙරිකාවට වඩා බොහෝ තරුණ පිරිසකින් දකුණු ආසියානු ජනගහනය සමන්විත වන බවයි," යැයි ද මහාචාර්ය සිද්දිකි පැවසීය.

(බීබීසී රියැලිටි චෙක් (BBC Reality Check) හි ශ්‍රැති මෙනන් සකස් කළ වාර්තාවක් ඇසුරිණි -

අතිරේක පර්යේෂණ තොරතුරු: ධකා හි වලියුර් රහ්මන්, මිරාජ් සහ කත්මණ්ඩු හි රාමා පරාජූලි විසිනි.)


(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්