ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආදර්ශයට ගෙන ජනතාවට සේවය කිරීමට කැපවන්නැයි 'වියත්මග' සංවිධානය

පාර්ලිමේන්තුවට පත්වූ ජනතා නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටියි.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ ලබාගත් ජයග්‍රහණයෙන් පසුව වියත්මඟ සංවිධානය විසින් ඔවුනගේ සමාජ ජාල ගිණුම් ඔස්සේ නිකුත් කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

''ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආදර්ශයට ගෙන ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය තවත් තහවුරු වන ආකාරයට ජනතාව ඔබ වෙත පවරා ඇති වගකීම් සම්භාරය නිසි බරින් අවබෝධ කරගෙන කටයුතු කරන ලෙස තේරීපත්වූ සියලු ජනතා නියෝජිතයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.'' යයි එම නිවේදනය මගින් ඉල්ලා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

''2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට ජනතාව තීන්දු කර තිබේ. රටේ අනාගතය පිළිබඳ ගැඹුරින් සිතා බලා ජනතාව ගත් එම තීන්දුව පිළිබඳ වියත්මග ලෙස අපි අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

වියත්මග සභාපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විධායක බලයට අමතරව ව්‍යවස්ථාදායක බලයත් ලබා දෙන ලෙසය. ජනතාව සිය වගකීම මැනවින් ඉටු කොට තිබේ.

සිය වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් සෞභාග්‍යවත් දේශයක් ගොඩනැඟීමේ ගමන ආරම්භ කිරිමට නව රජයට දැන් අවස්ථාව උදා වී ඇත. රටට අහිතකර ව්‍යවස්ථා නීති රීති සංශෝධනය කරගත හැකිය. රටට ඔබින ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත හැකිය.

එසේම ඒකීයභාවය තහවුරු කළ දියුණු සංවර්ධිත දේශයක් ගොඩනඟන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබා දීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලු පාර්ශ්ව වෙත ආරාධනා කර සිටිමු.''

 

වියත්මග ආරම්භය :

VIyathmagaනාලක ගොඩහේවා ගේ FB පිටුවෙන්

වියත්මග සංවිධානයේ නායකත්වය හා සභාපතිත්වයට ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කිරීම සිදුවුයේ 2016 පෙබරවාරි 4 නිදහස් දිනය දාය. 'වියත්මග' සංවිධානයේ ආරම්භය ලෙස එදින සැලකේ.

මහින්ද රාජපක්ෂ ද සහභාගී වී සිටි එම අවස්ථාව සනිටුහන් කරමින් 'වියත්මග' ආරම්භක සාමාජිකයින් කිහිප දෙනෙකු ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී ගනු සමුහ ජායරුපයක් ආචාර්ය නාලක ගොඩහේවා විසින් ඔහුගේ FB පිටුවේ පළකර ඇත්තේ, ''වියත්මග ආරම්භක සාමාජිකයන් 12 දෙනා සමග කියාය.

ජායාරුපයේ දැක්වෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සමග එම අවස්ථාවට එක්වූ 12 දෙනා මෙසේය.

  1. මහින්ද රාජපක්ෂ
  2. මනෝරි උනම්බුව
  3. නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
  4. දමිත වික්‍රමසිංහ
  5. සඳමාලි ඒකනායක
  6. ආචාර්ය නාලක ගොඩහේවා
  7. මහාචාර්ය ජනිතා ලියනගේ
  8. රියල් අද්මිරාල් සරත් වීරසේකර
  9. දෙවලොචන රණසිංහ
  10. ඉන්දික ලියනහේවගේ
  11. තෙෂාර ජයසිංහ
  12. නිවන්ත ප්‍රනාන්දු  

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි, අනුරාධා යහම්පත්, ශාමිලා ගෝනවල, මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම සහ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ද මෙම සංවිධානයේ ආරම්භක සාමාජිකයින් ලෙස සැලකේ.ඉහල ජායාරුපයේ සිටින පුද්ගලයින් අතරින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයටත්, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයටත් පත්ව සිටිති.

පසුගිය මහ මැතිවරණයට කොළඹින් ඉදිරිපත් වූ රියල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර හා ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වූ ආචාර්ය නාලක ගොඩහේවා වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ගනිමින් ඒ දිස්ත්‍රීක්ක වලින් පළමු ස්ථානයට පත්විය.

මනෝරි උනම්බුව මේවනවිට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරන අතර  මහාචාර්ය ජනිතා ලියනගේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කරයි.

දමිත වික්‍රමසිංහ ශ්‍රී ලංකා වෘත්තීය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන අතර තෙෂාර ජයසිංහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි.

ජායාරුපයේ පෙනී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටිය දී  ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ලෙස කටයුතු කළේය.

නිවන්ත ප්‍රනාන්දු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් සබරගමු විශ්ව විද්‍යාලය කුලපති ලෙස කටයුතු කරන අතර අනුරාධා යහම්පත් නැගෙනහිර ආණ්ඩුකාර ලෙසත් ශාමිලා ගෝනවල කොළඹ නාගරික මන්ත්‍රීවරියක ලෙසත් කටයුතු කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image