මෙම නඩුවල තීන්දුව මීට පෙර පසුගිය අප්‍රේල් මස 30 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුන ද එදින විනිසුරුවරයා නිවේදනය කළේ අදාළ තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා දක්වා කල් තබන බවයි. ඒ අනුව දීර්ඝ විභාගයකින් අනතුරුව මෙම නඩු තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරේ.
චෝදනා පසුබිම
මෙම නඩු පවරා ඇත්තේ 2006 වසරේදී සරණ ගුණවර්ධන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයට අදාළවයි.
එම කාලසීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කරමින් රජයට සිතාමතාම විශාල වශයෙන් පාඩුවක් සිදු කළේ යැයි පවසමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන ට එරෙහිව මෙම නඩු හතර ගොනු කර තිබුණි.
අල්ලස් පනත යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව, රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කිරීම සහ දූෂණය යන චෝදනා මත මෙම නඩු පවරා තිබූ අතර, අද දින කොළඹ මහාධිකරණයේදී මීට අදාළ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
දේශපාලන හා සමාජීය වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති මෙම නඩු තීන්දුව කුමක් වනු ඇත්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවෙති.




