leader s

මහියංගනය 17 කණුව ආසන්න වන ලැහැබක තිබී මළ සිරුර සොයා ගැනේ

සිද්ධිය වූ ස්ථානයේ තිබී ඖෂධ පෙති වර්ග කිහිපයක් පොලිස් භාරයට

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී හදිසියේ අතුරුදන් වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතාගේ මෘත ශරීරය බදුල්ල - මහියංගනය මාර්ගයේ 17 කණුව, මාපාකඩවැව ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී අද (24) පෙරවරුවේ සොයාගත් බව ආරක්ෂක අංශ තහවුරු කරයි.

ඊයේ (23) පෙරවරුවේ සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය, යුද හමුදාව සහ නාවික හමුදාව එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

සැත්කමකින් පසු අතුරුදන් වීම සහ මෙහෙයුම

ඉරිදා උදෑසන 10.00ට පමණ රෝහලේ නියමිත ශල්‍යකර්මයක් නිම කිරීමෙන් පසු වෛද්‍යවරයා දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය සහ ඥාතීන් සොයා බැලීම් ආරම්භ කර ඇත.

පසුව ඊයේ රාත්‍රියේ බදුල්ල - මහියංගනය මාර්ගයේ 17 කණුව ආසන්නයේ දමා ගොස් තිබූ වෛද්‍යවරයාගේ මෝටර් රථය සොයා ගැනීමට හැකි විය. ප්‍රදේශය පුරා පැවති දැඩි අඳුර සහ ඝන ලඳු කැළෑ සහිත භූමිය හේතුවෙන් රාත්‍රියේ සෝදිසි මෙහෙයුම් අසීරු වූ අතර, අද අලුයම පොලිස් නිල සුනඛයන් ද යොදවා නැවත මෙහෙයුම් දියත් කෙරිණි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 800ක් පමණ ඈතින් පිහිටි වියානා ඇළ ආසන්නයේ වූ ගලක් මත තිබී වෛද්‍යවරයාගේ මළ සිරුර හමුවී තිබේ.

ස්ථානීය සාක්ෂි සහ විමර්ශන

මෘත ශරීරය හමුවූ ස්ථානය අවට විසිරී තිබූ ඖෂධ පෙති වර්ග කිහිපයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ මරණයට නිශ්චිත හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තහවුරු කිරීමට නියමිත බවයි.

වෛද්‍යවරයා දීර්ඝ කාලයක සිට මානසික ආතතිය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේ ද යන්න සම්බන්ධයෙන් මෙන්ම, අධික මාත්‍රාවකින් ඖෂධ ශරීරගත වීමක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ද මහියංගනය පොලීසිය පුළුල් විමර්ශනයක් පවත්වයි.

වෘත්තීය ජීවිතය සහ සමීපතමයන්ගේ ප්‍රකාශ

49 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය ප්‍රභාත් අනුරාධ දයාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇත. මීට පෙර ද වසර තුනක කාලයක් බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කර ඇති ඒ මහතා, ස්ථාන මාරුවීම් ලබා නැවත එම රෝහලට පැමිණ සේවය කරමින් සිට ඇත්තේ වසරකට අඩු කාලයකි.

ඔහු රෝගී සත්කාරය වෙනුවෙන් කැපවූ, කාර්යමණ්ඩලය සමඟ සුහදව කටයුතු කළ වෛද්‍යවරයකු බව ඔහුගේ සහෘද වෛද්‍යවරුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය ඉදිරි අධිකරණ වෛද්‍ය වාර්තා සහ ස්ථානීය සාක්ෂි පදනම් කරගනිමින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil