leader s

අල්ලස් පරීක්ෂණයක් පවතිද්දී මුලසුන හා ව්‍යවස්ථා සභාව මෙහෙයවීම නීතියටත් ආචාරධර්මවලටත් පටහැනි බවට සභාවට ලිපියක්


දූෂණ විරෝධී පනතේ 'ළබැඳියාවන් අතර ගැටුම' මතු කරමින් කරුණු විභාග කරන්නැයි වරප්‍රසාද කාරක සභාවෙන් ඉල්ලීමක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) හමුවේ විමර්ශනයක් ක්‍රියාත්මක වන පසුබිමක, වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය දැරීම නීතිමය මෙන්ම ආචාරධර්මීය වශයෙන් බරපතළ ගැටලුවක් බව පවසමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර විසින් කථානායකවරයා වෙතම විශේෂ ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කර තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 29 සහ මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ විධිවිධාන යටතේ ඉදිරිපත් කර ඇති මෙම ලිපිය මඟින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මෙම පියවරේ අරමුණ කිසිවකු පූර්ව විනිශ්චයකට ලක් කිරීම නොව උත්තරීතර ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය, විනිවිදභාවය සහ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීම බවයි.

දූෂණ විරෝධී පනත සහ 'ළබැඳියාවන් අතර ගැටුම'

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 162 වගන්තිය අනුව කථානායකවරයා ද “රජයේ සේවකයකු” යන අර්ථ නිරූපණයට යටත් වන බවයි. එහිදී ප්‍රධානතම නෛතික තර්කය බවට පත්ව ඇත්තේ එකී පනතේ 107 වන වගන්තියේ දැක්වෙන ‘ළබැඳියාවන් අතර ගැටුම්’ (Conflict of Interest) පිළිබඳ විධිවිධානයි.

යම් රජයේ සේවකයෙකු සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති විය හැකි අවස්ථාවක, අදාළ පොදු අධිකාරියේ කටයුතුවලට සහභාගී වීමෙන් හෝ ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බව නීතියේ පැහැදිලිව සඳහන් වේ. කථානායකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන අවස්ථාවක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදවලදී මූලාසනය දැරීම, එම පනත සම්මත වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාව යටතේ ඊට කථානායක සහතිකය සටහන් කිරීම මෙන්ම අල්ලස් කොමිසමේ ඉදිරි වර්ෂය සඳහා වන අයවැය ලේඛන සභාගත කිරීම වැනි කාර්යයන් හරහා මෙම නෛතික ප්‍රතිපාදන උල්ලංඝනය වන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා

මෙම අර්බුදයේ වඩාත් සංවේදී ආයතනික පැතිකඩ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(2) ව්‍යවස්ථාව අනුව කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල බලයෙන්ම සභාපතිවරයා වීමයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් නිර්දේශ කිරීමේ බලය මෙන්ම අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම අනුමත කිරීමේ බලය හිමිවන්නේ මෙම සභාවටයි.

අල්ලස් කොමිසමේ ඉදිරියේදී ඇතිවීමට නියමිත පුරප්පාඩුවක් පිරවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට සිදුවන්නේ කථානායකවරයා මූලාසනය දරන ව්‍යවස්ථා සභාව මඟිනි. තමා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ආයතනයක ප්‍රධානීන් පත්කිරීමේ ක්‍රියාවලියට විමර්ශනයට ලක්වන පාර්ශ්වයම නායකත්වය දීම ස්වාභාවික යුක්තියේ මූලධර්ම (Natural Justice) හමුවේ ගැටලු සහගත බව දයාසිරි ජයසේකර පෙන්වා දෙයි. එසේම, කොමිසමේ තීරණයකට එරෙහිව සහනයක් පතා යා යුතු උත්තරීතර අධිකරණයේ විනිසුරුවරුන් පත්කිරීමේ ක්‍රියාවලිය ද මෙයට ඈඳී තිබීම තත්ත්වය තවත් බැරෑරුම් කරයි.

සාක්ෂිකරුවන් සහ පරිපාලනමය අධිකාරිය

විමර්ශනයට අදාළ ලිපි ලේඛන රැසක් පාර්ලිමේන්තුව සතුව පැවතීම සහ සාක්ෂි ලබාදීමට කැඳවනු ලබන්නේ කථානායකවරයාගේ පරිපාලන අධිකාරිය යටතේ සිටින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් වීම ද මෙහිදී මතු කර ඇති ප්‍රධාන කරුණකි. ආයතන ප්‍රධානියා තනතුරේ රැඳී සිටින විට, නිලධාරීන්ට ස්වාධීනව හා අපක්ෂපාතීව සාක්ෂි ලබාදීමට ඇති ඉඩකඩ සීමා විය හැකි බවත්, එය දූෂණ විරෝධී පනතේ 3(5) වගන්තිය යටතේ කොමිෂන් සභාවේ විමර්ශනවලට බලපෑම් නොකිරීමේ නීතියට අදාළ වන බවත් අදාළ ලිපියේ විස්තර කෙරේ.

එසේම, 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ සම්මත කරගෙන ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ 7(ආ) සහ 19 වගන්ති මඟින් මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික බැඳියාවන් සහ රාජකාරිමය කාර්යයන් වෙන්කර හඳුනාගෙන ඇති ආකාරය ද මන්ත්‍රීවරයා සිය ලිපියෙන් සිහිපත් කර දෙයි.

සමබර නීතිමය ස්ථාවරය: නිර්දෝෂීභාවයේ උපකල්පනය

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ප්‍රධානතම කරුණක් වන්නේ, යම් පුද්ගලයකුට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම පමණක් ඔහු වරදකරුවකු බව තීන්දු කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. නීතිය හමුවේ ඕනෑම පුරවැසියකුට හිමිවන "වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂීභාවයේ උපකල්පනය" (Presumption of Innocence) කථානායකවරයාට ද එකසේ හිමිවන බව දයාසිරි ජයසේකර  සිය ලිපියේ ආරම්භයේදීම පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත්, රාජ්‍ය පාලනයේ විනිවිදභාවය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන විශ්වාසය සුරැකීම උදෙසා මෙවැනි විමර්ශනයක් පවතින අවස්ථාවක ආචාරධර්මීය පිළිවෙත් ආරක්ෂා වීම අත්‍යවශ්‍ය කරුණක් බැවින්, මෙම සමස්ත කරුණ පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර විභාග කරන ලෙස මන්ත්‍රීවරයා අවසාන වශයෙන් ඉල්ලා සිටියි.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්