*ජාතික ජන බලවේග රජය දෙමළ ජනතාවට දුන් පොරොන්දු පහක් කඩ කළැයි චෝදනා කරමින් සහ චෙම්මනි සමූහ සුසානයට ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලමින් උතුරේ විරෝධතා සහ උපවාස මාලාවක්.
*අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වසර දෙකක පාලනය තුළ ඉඩම් නිදහස් කිරීම සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟහැර ඇති බවට දෙමළ දේශපාලන පක්ෂ හා යුද වින්දිතයන්ගෙන් ජිනීවා සැසිවාරය හමුවේ දැඩි විරෝධයක්.
ජාතික ජන බලවේග රජය බලයට පත් වීමට පෙර දෙමළ ජනයාට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම පැහැර හැරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවා නුවර රැස්වෙද්දී උතුරේදී විරෝධතා දියත් කර තිබේ.
අවුරුදු දෙකක පාලන කාලය සමරන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ආණ්ඩුව දෙමළ ජනතාවට දුන් මූලිකම පොරොන්දු පහක් ඉටු නොකිරීමට විරෝධය පල කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) චාවාකච්චේරි බස් නැවතුම අසල එක්දින උපවාසයක් දියත් කරද්දී , දෙමළ ජාතික කවුන්සිලය (TNC) යේ ප්‍රධානත්වයෙන් යුද පීඩිත දෙමළ මව්වරුන් යාපනයේදී විරෝධතා දියත් කළේ යුද අපරාධකරුවන්ට දණ්ඩ මුක්තිය සාදා දෙන බවට චෝදනා ලබන දේශීය යාන්ත්‍රණ දැඩිව හෙලා දකිමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික කවුන්සිලය (TNC) සැප්තැම්බර් 13 වැනිදා යාපනයේ කයිලාසපති කෝවිල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පෙලපාලියකින් කිට්ටු උද්‍යානය තෙක් පැමිණ එම ස්ථානයේදී රැලියක් පවත්වා තිබුනි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම විරෝධතා පෙළපාලිය සදහා යුද වින්දිත දෙමළ මව්වරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ද විශාල පිරිසක් එක්ව සිටි බවයි.
''චෙම්මනි සමූහ සුසානයට එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් ඕනෑ''
එහිදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවු විශාලතම සමුහ සුසානය වන චෙම්මනියට එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර විමර්ශනයක් හරහා යුක්තිය ඉටු කිරීම අත්‍යවශ්‍ය බවයි.
“වර්ග සංහාරය දෙමළ ජනතාවට එරෙහිව සිදුවෙලා තියෙද්දී, ඒ වර්ග සංහාරය ශ්‍රී ලංකා රජයෙන් අපිට එරෙහිව කරලා තියෙන පසුබිමක ජාත්‍යන්තර අපරාධමය විමර්ශනයකින් විතරයි අපගේ බලපෑමට ලක් වුණ ජනතාවටත්, දෙමළ දේශයටත් යුක්තියක් ලැබෙන්නේ කියන පණිවුඩයත්, ඒ එක්කම මේ වර්ග සංහාරයට වඩාත් උචිත සාක්ෂියක් විදිහටත් ඒක එක ආණ්ඩුවක් විතරක් කළ දෙයක් නෙවෙයි - මේක විප්ලවවාදී, ප්‍රගතිශීලි කියා තෝරාපත් කරගත් චන්ද්‍රිකා මැතිණියගේ කාලයේ වුණත් මේ තරමට දරුණු විදිහට මේ ජනයා විනාශය කළ එකට සාක්ෂි විදිහට චෙම්මනිය මතු වී තියෙන වෙලාවක මේ සාක්ෂි ආරක්ෂා කරලා ජාත්‍යන්තර විමර්ශනයක් හරහා මේ සාක්ෂි විමර්ශනය කරලා යුක්තිය ඉටු කරන්න ඕනේ. මේක රජයේ පාලනයෙන් වහාම අයින් කරලා එක්සත් ජාතීන්ගේ පාලනය යටතට දීලා විමර්ශනය කරන්න ඕනේ කියන ඉල්ලීම ඉදිරිපත් කරන්න අපි මේ රැලිය සංවිධානය කළා.”
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකත්වයේ සහායද ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) සැප්තැම්බර් 12 වැනිදා චාවකච්චේරි බස් නැවතුම්පොල ඉදිරිපිට දී එක් දින උපවාසයක් දියත් කර තිබුනේ අවුරුදු දෙකක පාලන කාලය සමරන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග ආණ්ඩුව දෙමළ ජනතාවට දුන් මුලිකම පොරොන්දු පහක් ඉටු නොකිරීමට මේ දක්වාම අසමත්ව ඇති බවට චෝදනා කරමිනි.
රජයේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් වාඩිලා සිටින දෙමළ ජනයාගේ පුද්ගලික ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා බලහත්කාරයෙන් අතුරුදහන් කළ’වුන්ට යුක්තිය ඉටු කිරීම ආදී පොරොන්දු බලයට පත්වීමට පෙර දෙමළ ජනතාවට දුන් වත්මන් රජය ගත වු වසර දෙකක කාලය තුළ එම පොරොන්දු ඉටු කිරීමට අසමත්ව ඇති ආකාරය පෙන්වා දුන් විරෝධතා කරුවන් තව දුරටත් අවධාරණය කළේ පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීමට වු පොරොන්දුවද වත්මන් රජය විසින් කඩ කර ඇති බවයි.
''පොරොන්දු පහෙන් එකක්වත් ඉටු කර නෑ'' - සුමන්තිරන්
ITAK මහලේකම් ජනාධිපති නීතිඥ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් එහිදී දැඩිව කියා සිටියේ වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවට ලබා දුන් එක පොරොන්දුවක් හෝ සුළු ප්‍රමාණයකින්වත් ඉටු කර නොමැති බවයි.
“දෙමළ ජනතාවට ලබා දුන්න එක පොරොන්දුවක්වත්, සුළු ප්‍රමාණයක්වත් තාම ඉටු කළේ නැහැ. ඉඩම් නිදහස් කරනවා කියලා කිව්වා. මේක නිදහස් කරන එක කොයි තරම් පහසු දෙයක් ද? කවුරු හරි විරුද්ධ වුණා ද? ඉඩම් නිදහස් කරද්දී කවුරු හරි විරුද්ධ වුණා ද? දකුණේ කවුරු හරි විරුද්ධ වුණා ද? නැහැනේ. කවුරුත් විරුද්ධ වුණේ නැහැනේ. පහසුවෙන් කරන්න පුළුවන්, ඒත් අපේ ජීවිතයට අත්තිවාරමක් විදිහට තියෙන අපේ ඉඩම් නිදහස් කරන්නේ නැතිව අනිත් දේවල් කරගෙන ඉන්නවා. අපි ඒක හෙළා දකිනවා.”
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම්වරයා තව දුරටත් චෝදනා කළේ දෙමළ ජනතාවගේ ගැටළු වලට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වු ජනාධිපතිවරයා මේ දක්වාම ඊට ‘ඇත තියලාවත් නැති’ බවයි.
“දැන් ජනාධිපති කියනවා. එයා හමුදාවෙන් අහලා තියෙනවා ලු. වාර්තාවක් ඉල්ලලා තියෙනවා ලු. එතකොට ඔයා විපක්ෂයේ ඉන්නකොට අපිත් එක්ක එකතු වෙලා කට කැඩෙනකම් කෑගැහුවානේ, පෞද්ගලික ඉඩම් නිදහස් කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ කිව්වා ද හමුදාවෙන් අහලා තමයි නිදහස් කරන්න ඕනේ කියලා. අයියා (සී.වී.කේ ශිවඥානම් ) කිව්වා වගේ විපක්ෂයේ ඉන්දදී අපිත් එක්ක එකතු වෙලා හැමදෙයක්ම කිව්වා. එයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණ පළවෙනි පොරොන්දුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරනවා කියන එක. ඒකට අතවත් තියලා නැහැ. අපේ පක්ෂයත් එක්ක ඇවිත් කතා කරද්දී කිව්වා දෙමළ ජනතාව වෙනුවෙන් විසඳුමක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණයෙන්ම තියෙනවා කියලා. අත තියලාවත් නැහැ. ගොඩාක් දේවල් කළා. අන්තිමට දැන් එකක් කරගෙන ඉන්නවා. බෞද්ධ නිකායවල මහනායක හිමිවරුන් කරන්න එපා කියලා කියන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් කරනවා.”
''දකුණ පිනවන්න දෙමළ ජනතාව රැවටුවා'' - සෙල්වම් අඩෙක්කලනාදන්
මෙරට පාලනය කළ හිටපු නායකයන් මෙන්ම වත්මන් ජනාධිපතිවරයාද දෙමළ ජනතාව රැවටීමකට ලක් කර සිංහල ජනතාව තෘප්තිමත් කරමින් සිටින බවට ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් එහිදී චෝදනා කළේය.
“අපේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ අනුරගේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවල පාලකයන් වගේ සිංහල ජනතාවගේ ඡන්දය ලබා ගන්න මේ පුටුවේ තියෙන බලය භුක්ති විඳින අය විදිහට මේ පුටුව හරහා සිංහල ජනතාව සන්තෝස කරන අය විදිහට වෙනස් වෙලා ඉන්නවා කියන එක මේ උපවාසය හරහා විවෘතව කියනවා කියන එක මම මේ අවස්ථාවේදී පෙන්වා දෙන්න කැමැතියි. ඇත්තටම අපේ ජනතාව රැවටීමට ලක් වුණා. පහුගිය කාලයේ ආණ්ඩු මොකුත්ම කළේ නැහැ. දෙමළ පාර්ශ්වය එකමුතුව නැහැ. ඒ අනුව මෙයාලා දුන්න පොරොන්දු ටික විශ්වාස කරලා අපේ ජනතාව ඡන්දය දුන්නා. මෙයාලාවත් මේ ඉඩම් ලබා දෙයි, මෙයාලාවත් අතුරුදන් කළ ඥාතීන්ට යුක්තිය ඉටු කරයි, මෙයාලාවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරයි, මෙයාලාත් අවුරුදු ගණන් හිරේ ඉන්න අපගේ දේශපාලන සිරකරුවන්ව නිදහස් කරයි, අතුරුදන් වූවන් ඇස් ඉදිරිපිට භාරදුන් ඒ ඥාතීන්ට සාධාරණයක් ලැබෙයි කියන විශ්වාසයෙන් මේ අය ශුද්ධවන්තයින් කියලා හිතලා ඡන්දය දුන්නා.”










