ඉන්දීය පාලක භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයෙන් නවදිල්ලි නුවරට ගිය ජවිපෙ නියෝජිත පිරිස සහ එරට ඉහළ පෙළේ දේශපාලන නායකයන් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පැවැත්වුණු බව වාර්තා වේ.
නවදිල්ලි නුවර සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පස්දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස, භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජාතික මහලේකම් (සංවිධාන) ශ්‍රී බී. එල්. සන්තෝෂ් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම හමුව සිදුව ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ නිල විදේශ සබඳතා වැඩපිළිවෙළක් වන 'Know BJP' වැඩසටහනට සමගාමීව බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
සංවිධාන ව්‍යුහය සහ සංවර්ධන අත්දැකීම් හුවමාරුව
එම සාකච්ඡාවේදී භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන ඉතිහාසය, එහි සංවිධාන ව්‍යුහය සහ ග්‍රාමීය මට්ටම දක්වා සාමාජිකත්වය ගොඩනැගීමේ ක්‍රමවේද පිළිබඳව අදහස් හුවමාරු කරගත් බව දැනගන්නට ඇත.
එමෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් ඉන්දියාව තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් ද ඉන්දීය පාර්ශ්වය විසින් කරුණු පැහැදිලි කර තිබේ.
දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේදී ප්‍රධාන දේශපාලන පක්ෂ අතර අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
තරුණ සහ කාන්තා නියෝජිතයන් සමඟ සාකච්ඡා
ප්‍රධාන සාකච්ඡාවට සමගාමීව භාරතීය ජනතා පක්ෂයේ අනුබද්ධ සංවිධාන කිහිපයක ප්‍රධානීන් සමග ද ජවිපෙ නියෝජිත කණ්ඩායම අදහස් හුවමාරු කරගෙන ඇත.
* කාන්තා සංවිධානය: BJP කාන්තා සංවිධානයේ (Mahila Morcha) ජාතික සභාපතිනී ශ්‍රීමති රූප්කුමාරි චෞද්‍රි
* තරුණ සංවිධානය: BJP තරුණ සංවිධානයේ (BJYM) නියෝජිතයින් වන ශ්‍රී විනීත් වත්ස් ත්‍යාගී සහ භක්ති ශර්මා
දේශපාලන යාන්ත්‍රණය තුළ කාන්තා හා තරුණ සහභාගිත්වය පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙම හමුවීම්වලදී විශේෂ අවධානය යොමුවී තිබේ.
සංචාරයේ පසුබිම සහ කාලීන තත්ත්වය
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පරිවර්තනය හමුවේ කලාපීය පාර්ශ්වකරුවන් සහ මෙරට පාලක සන්ධානය අතර දේශපාලන සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදුවන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
ජවිපෙ මධ්‍යම කමිටු සාමාජිකා චන්ද්‍රිකා අධිකාරි, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා, දිස්ත්‍රික් කමිටු සාමාජික කබිලන් සුන්දරමූර්ති සහ ජාත්‍යන්තර අංශයේ සාමාජිකා කල්පනා මධුභාෂිනී ද මෙම නියෝජිත පිරිසට අයත් වෙති.
ඔක්තෝබර් 01 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරය අතරතුර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඇතුළු ප්‍රමුඛ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.







