නීතිපති දෙපාර්තමේන්තුවට මහාධිකරණයෙන් අවවාදයක්
2017 වසරේ ඝාතනයට ලක්වූ ගල්ගමුවේ 'දළපූට්ටුවා' හස්තියාගේ දළ යුගල වංචනිකව කපා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ග්රාම නිලධාරීවරයෙකු ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහි නඩුව කුරුණෑගල පළාත්බද මහාධිකරණය හමුවේ කැඳවිණි. එහිදී කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක පෙන්වා දුන්නේ අදාළ නඩුව සකස් කිරීමේදී පැහැදිලි අඩුපාඩු සිදුව ඇති බවයි.
අලි ඇතුන් සතු ආර්ථික වටිනාකම මෙන්ම මෙම අපරාධ සඳහා රාජ්ය සේවකයින් සම්බන්ධවීම කිසිසේත් සුළුවෙන් තක්සේරු නොකළ යුතු බව විනිසුරුවරයා අවධාරණය කළේය. විමර්ශනවල පවතින අඩුපාඩු අධිකරණයට සැකසිය නොහැකි බැවින් නඩුවේ චෝදනාව වෙනස් විය යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුවට අවවාද කෙරිණි.

හැඟීම් මත නොව සාක්ෂි මත උපරිම දඬුවම්
පරිසර සංවිධාන ඉල්ලා සිටි පමණින් හුදු හැඟීම් මත අධිකරණයට දඬුවම් නියම කළ නොහැකි බවත්, ඉදිරිපත්වන කරුණු මත අපරාධය ඔප්පු වුවහොත් පවතින නෛතික රාමුව තුළ උපරිම දඬුවම් ලබාදෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය. විත්තිකරුවන්ට නැවත 2027 ජනවාරි 25 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරියක් පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් නීතිඥ ලක්මාල් රත්නායක පෙනී සිටියේය. ශ්රී ලංකා වනඅලි සංරක්ෂණ පර්ෂදය, හුස්ම සංවිධානය සහ මෙත්තා පදනම වෙනුවෙන් නීතිඥ වින්ද්යා දිවුල්වැව, නීතිඥ භාග්යා සෙනවිරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය පෙන්වා දුන්නේ මෙරට අලි සම්පත ඩොලර් උපයන මෙන්ම පරිසරය සුරකින අමිල සම්පතක් බවයි. දළ තබාගත යුත්තේ ග්රාම නිලධාරී නිවෙස්වල නොව ඇතා සන්තකයේ පමණක් බව පෙන්වා දුන් ඔවුහු, නීතියේ ආධිපත්යය නිසි පරිදි ක්රියාත්මක නොවුවහොත් අනාගතයට ඇතුන් අහිමි වන බව පෙන්වා දුන්හ.

මහව නියෝගය සහ විමර්ශන විනිවිදභාවය
මේ අතර, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීම සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන භාරදුන් සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව වෙන් වෙන් වශයෙන් නඩු දෙකක් පවරමින් මහව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. කරුණු සලකා බැලූ මහව මහේස්ත්රාත් අනුරාධා සෙනවිරත්න සැකකරුවන් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
සැකකරුවන් සතු බලපත්ර සහිත තුවක්කුවලින් වෙඩි තැබූ බවට රස පරීක්ෂක හෝ විද්යාත්මක සාක්ෂි මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව විත්තියේ නීතිඥ උදය රාජපක්ෂ පෙන්වා දුන්නේය. සැකකරුවන් නිකරුණේ රිමාන්ඩ් භාරයේ තැබිය නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරිය, අපරාධයට සම්බන්ධ වූ නිශ්චිත ආකාරය, දින වකවානු සහ විද්යාත්මක සාක්ෂි ලබන නඩු දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙස වනජීවී නිලධාරීන්ට නියෝග කළාය.
පාර්ලිමේන්තුවේදී මතු වූ වගවීම
කාවන්තිස්ස හස්තියාගේ අභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කළ විපක්ෂ නායක සජිත් ප්රේමදාස, ඇතුන් සුරැකීමේ විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමේ සහ පූර්ණ පහසුකම් සහිත සත්ව රෝහල් පද්ධතියක් ඇරඹීමේ වැදගත්කම මතු කළේය. ඊට ප්රතිචාර දැක්වූ පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි සඳහන් කළේ, කාවන්තිස්ස හස්තියා බේරාගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වීම පිළිබඳව කනගාටු වන බවත්, සිදුවූ අඩුපාඩුවල පූර්ණ වගකීම විෂයභාර අමාත්යවරයා ලෙස තමන් භාරගන්නා බවත්ය.
වැඩිදුර තොරතුරු ඇතුළත් විශ්වාසනීය මූලාශ්ර සබැඳි :



