රජය විසින් පාර්ලිමේන්තුවට අද (20) පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පාදක කරගනිමින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර නෛතික හා දේශපාලනික විවාදයක් නිර්මාණය වී තිබේ.
රට තුළ පවතින වත්මන් ආරක්ෂක හා ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය සභාගත කළ කල් තැබීමේ යෝජනාවට අදාළ විවාදයේදී මෙම කෙටුම්පත දැඩි අවධානයට ලක්විය.
පාතාල ක්රියාකාරකම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය පිණිස ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව මෙම නීති ගෙන එන බව රජය පවසන පසුබිමක, එහි අඩංගු අර්ථකථන පුරවැසි මූලික අයිතිවාසිකම් සීමා කිරීමේ අවදානමක් මතු කරන බව විපක්ෂය පෙන්වා දෙයි.
විපක්ෂයේ මර්දන චෝදනාව සහ ප්රශ්න කිරීම
සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන සහිත පච්ච කොටා සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ නව පනතක අවශ්යතාවක් නොමැති බවයි.
දණ්ඩ නීති සංග්රහය ඇතුළු පවතින සාමාන්ය නීති රාමුව යටතේම එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නෛතික ඉඩකඩ පවතින බව පෙන්වා දුන් මන්ත්රීවරයා, අතීත අත්දැකීම් අනුව හිසකෙස්, රැවුල වැවීම හෝ පච්ච කෙටීම වැනි තරුණ ප්රජාවගේ පෞද්ගලික විලාසිතා මත පදනම්ව අත්තනෝමතික පීඩාවන් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීය.
රටේ උද්ධමනය, විරැකියාව සහ ජීවන වියදම් පීඩනයෙන් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට මෙවැනි නීති ඉදිරියට දමන බවටද මන්ත්රීවරයා මෙහිදී චෝදනා කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ ප්රකාශය නරඹන්න
'කොණ්ඩෙට නීති නෑ': අධිකරණ ඇමැතිගෙන් පැහැදිලි කිරීමක්
විපක්ෂයේ විවේචන සහ සමාජ මාධ්යවල පළවන අදහස්වලට පිළිතුරු දෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ අද දින ඉදිරිපත් කළ කෙටුම්පතේ කොතැනකවත් 'කොණ්ඩය' සම්බන්ධයෙන් වගන්තියක් ඇතුළත් නොවන බවයි.
පනත් කෙටුම්පතේ 4(1) වගන්තිය යටතේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වීම අපරාධමය වරදක් ලෙස නිර්වචනය කර ඇති අතර, 4(2) වගන්තිය මඟින් විමර්ශන නිලධාරීන්ට සහ අධිකරණයට යම් තැනැත්තකු එවැනි කල්ලියක සාමාජිකයකුදැයි තහවුරු කරගැනීමට සලකා බැලිය හැකි කරුණු 12ක් දක්වා තිබේ.
එහි 4(2) (ඇ) උපවගන්තියේ දැක්වෙන්නේ 'ප්රකට අපරාධ කල්ලි සාමාජිකයන් භාවිත කරන ඇඳුම්, විලාසිතා, හස්ත මුද්රා හෝ පච්ච සටහන්' සලකා බැලීම එක් සාධකයක් පමණක් බවයි.
සිංගප්පූරුව ඇතුළු රටවල ක්රියාත්මක නීති පද්ධතිවලින් ලබාගත් ජාත්යන්තර අත්දැකීම් මීට පාදක වූ බවත්, තමන් කැමති ඇඳුමක් ඇඳීමට හෝ පච්චයක් කෙටීමට සාමාන්ය පුරවැසියන්ට ඇති ආණ්ඩුක්රම ව්යවස්ථාපිත නිදහසට මින් කිසිදු බාධාවක් එල්ල නොවන බවත් අමාත්යවරයා සඳහන් කළේය.
කෙටුම්පතේ යම් ව්යවස්ථා විරෝධී බවක් ඇත්නම් නියමිත කාලසීමාව තුළ එය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ඕනෑම පුරවැසියකුට ඉඩකඩ විවෘතව පවතින බවද හෙතෙම සභාවට මතක් කර සිටියේය.
අමාත්ය හර්ෂණ නානායක්කාරගේ පැහැදිලි කිරීම නරඹන්න
නීති කෙටුම්පත් සහ ශ්රේෂ්ඨාධිකරණයේ ව්යවස්ථාපිත පරීක්ෂාව
මේ අතර, මීට පෙර රජය විසින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අනෙක් ආරක්ෂක පනත් කෙටුම්පත වන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත (PSTA) අභියෝගයට ලක් කරමින් ගොනුකළ විශේෂ පෙත්සම් 25ක් සලකා බැලීමද ශ්රේෂ්ඨාධිකරණයේදී අද පැවැත්විණි.
අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදුවේ.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 3 වැනි සහ 4 වැනි ව්යවස්ථාවන් මෙන්ම 14 වැනි ව්යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ, ප්රකාශනයේ සහ සාමකාමීව රැස්වීමේ මූලික අයිතිවාසිකම් මෙමඟින් සීමා වන බැවින්, අදාළ වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් (තුනෙන් දෙකක ඡන්දයක්) සහ ජනමත විචාරණයක් අවශ්ය බවට නියෝග කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්ව අධිකරණයෙන් ඉල්ලා සිටී.
අපරාධ හා ත්රස්තවාදය මැඩපැවැත්වීම වෙනුවෙන් ගෙන එන නව නීති ප්රතිපාදන සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් අතර සමබරතාව රැකගැනීම පිළිබඳව නීතිඥ ප්රජාව සහ සිවිල් සමාජය දැඩි අවධානයෙන් පසුවන බව පැහැදිලි වේ.



