ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්ය ධුරය දැරූ සමයේ සිදුවූ බව කියන මහා පරිමාණ අල්ලස් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් ලියනාරච්චිගේ සුමතිපාල ලියනාරච්චි යන අයට එරෙහි නඩු විභාගය අද (23) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවිණි.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරුවන්ට එක් සිදුවීමකට අදාළව දැඩි කොන්දේසි සහිත ඇප නියම කරමින් අනෙක් චෝදනාව මත තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කළේය.
මැණික් ව්යාපාරිකයන්ගේ නඩු 4කට දැඩි ඇප
මැණික් ව්යාපාරිකයන්ට බාධාවකින් තොරව ව්යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවසර දීම වෙනුවෙන් අල්ලස් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩු 4කට සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළේය.
එක් එක් නඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම වූ අතර, සැකකරුවන්ගේ විදේශ ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කරමින් විදේශ ගමන් බලපත්ර අධිකරණය භාරයට ගැනීමට නියෝග කෙරිණි. එම නඩු හතර ලබන වසරේ ජනවාරි 26 වැනිදා යළි කැඳවනු ඇත.
අධිකරණය හමුවේ හෙළිවූ අල්ලස් චෝදනා
මැණික් ව්යාපාරිකයන් තිදෙනෙකු ඉලක්ක කරගනිමින් මුදල් ඉල්ලා ඇති ආකාරය අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අනාවරණය කළේය:
* පුන්සිරි ජෙම්ස්: අධිපති පුන්සිරි තෙන්නකෝන් මහතාගෙන් රුපියල් ලක්ෂ 12ක් ඉල්ලා ඉන් ලක්ෂ 5ක් ලබාගැනීම.
* සුභාෂ් ජෙම්ස්: අධිපති සුභාෂ් කරුණාරත්න මහතාගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම.
* ප්රියන්ත ජෙම්ස්: අධිපති ප්රියන්ත සරත් සිල්වා මහතාගෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගැනීම.
රිමාන්ඩ් නියෝගය දිගු කළ පොස්පේට් ගනුදෙනුව
මැණික් නඩුවලින් ඇප ලැබුණ ද, පොස්පේට් අපනයන/ආනයන බලපත්ර නිකුත් කිරීමේ ගනුදෙනුව හමුවේ සැකකරුවන්ට නිදහස අහිමි විය. 2022 සැප්තැම්බර් 08 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා කාලය තුළ පෞද්ගලික සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 80කට අධික අල්ලස් මුදලක් ලබාගැනීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මහතා මෙහි 3 වන සැකකරු ලෙස නම් කර ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවට අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්රාත්වරයා, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් දෙදෙනාම ලබන නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.



