හෝමාගම පොලිසියේ, සිරමැදිරිය තුළදීම මරණයට පත්වු ඉෂාර හර්ෂ කුමාර සමග අත්අඩංගුවට ගෙන කෲර වධබන්ධනයට ලක්ව මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින වරුණ මධුසංඛ වහාම අධිකරණ වෛද්යවරයකු හමුවට පමුණුවා අවශ්ය ප්රතිකාර ලබා දී ජීවිතාරක්ෂාව සහතික කරන්නැයි ඔහුගේ මව ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ප්රමුඛ බලධාරින් වෙතින් ඉල්ලා සිටී.
පොලිස් නිලධාරින් තම පුතු අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදීම දරුණු ලෙස පහර දුන් බවත්, ඉන් අනතුරුව හෝමාගම පොලිසියට රැගෙන යාමෙන් පසුවද ඒ ආකාරයටම පහර දී ඇති බවත් පවසන සුජාතා හෙට්ටිආරච්චි මාතාව, පොලිසියේ එම වධහිංසාව නිසාම බන්ධනාගාරය තුළදී ද දැඩි කම්පනයට පත්ව සිටින ඔහු සිකුරාදා (30) වනතුරුත් නිසි වෛද්ය පරික්ෂණයකට ලක් කොට නැතැයි ද කියා සිටියේ එදින වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණිමෙන් අනතුරුව ය.
රෑ එළි වෙනකම් ගැහුවා’
" පුතාව තාම දොස්තර කෙනෙක් ළඟට දාලා නෑ. පුතා ඉන්නේ හරිම අමාරුවෙන්. හරියට කතා කරන්නවත් බෑ. කිසිම දෙයක් කියන්නේ නෑ. ඒත් මුණෙන් පේනවා තියෙන බය," යි සුජාතා හෙට්ටිආරච්චි පැවසුවාය.
ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම සහ පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරයට පැමිණ ප්රකාශ සටහන් කරගත් බව පුත්රයා තමන් හා පැවසුවේ යැයි කියා සිටින ඇය, දිගින් දිගටම අවධාරණය කරන්නේ ඉෂාර හර්ෂ කුමාරගේ ඝාතනයේ ප්රධානතම ඇසින් දුටු සාක්ෂිකරුවා වන වරුණ මධුසංඛ ට අවශ්ය වෛද්ය ප්රතිකාර කඩිනමින් ලබා දී ඔහුගේ ජීවිතය ආරක්ෂා කර දෙන්නැයි බලධාරින් වෙතින් ඉල්ලා සිටින බවයි.
ඝාතනයට ලක්වු ඉෂාර හර්ෂ කුමාර ගේ සහ බන්ධනාගාර ගතකර සිටින වරුණ මධුසංඛ ගේ මිතුරකු වන රංග මධුසංඛ විසින් ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත පසුගිය 26 දා පැමිණිල්ලක් ගොනු කරමින් ඉල්ලා තිබුනේ වරුණ මධුසංඛ අධිකරණ වෛද්යවරයකු හමුවට පමුණුවන්නට කටයුතු කරන ලෙසයි.
නමුත් වරුණ මධුසංඛගේ මව චෝදනා කරන්නේ පොලිස් නිලධාරින් විසින් සිය පුතුට දරුණු ලෙස පහර දී වධහිංසා සිදු කොට මේ වන විට සතියකට ආසන්න කාලයක් ගත වී තිබුණද තවමත් වෛද්යවරයෙක් හමුවට පමුණුවා නොමැති බවයි.
තුවක්කු බඳවලින් මූණට ගැහුවා"
" 25 දා රෑ පුතාව අල්ලගෙන යද්දිම හොඳටම ගැහුවා. මූණ හැමතැනම තුවාල තිබුණා. පහුවදා පොලිසියේ දීත් මට කිවුවේ රෑ එළි වෙනකම් ගැහුවා කියලයි. ගෙදර ඉඳලා පොලිසියට අරන් යද්දි ජීප් එකේදිත් තුවක්කු බඳවලින් මූණට ගැහුවා කියලයි පුතා මට කිවුවේ," යැයි කී සුජාතා හෙට්ටිආරච්චි දැඩි ශෝකයෙන් යුතුව විමසා සිටියේ පොලිස් නිලධාරින් විසින් කරන ලද වධහිංසා නොතකා හරිමින් බලධාරින් තම පුතු අධිකරණ වෛද්යවරයකු හමුවට ඉදිරිපත් නොකර සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටින්නේ කා වෙතින් ද යන වගයි.
ව්යාජ ඇප සහතිකයක්
හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ප්රමුඛ නිලධාරින් පිරිසක් විසින් පහරදී මරා දමන ලද බවට සැක කෙරෙන ඉෂාර හර්ෂ කුමාර සමඟ අත්අඩංගුවට ගන්නා ලද වරුණ මධුසංඛ තරුණයා ට කතා කිරීම සඳහා පසුගිය 26 දා අලුයම් කාලයේදී ඔහුගේ මව සහ ඥාතීන් ට කෙටි වෙලාවක් ලැබී තිබෙන අතර, එහිදි පොලිස් නිලධාරින් විසින් මවට දැනුම් දී ඇත්තේ වරුණ පොලිස් ඇප මත නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බැවින් නීතිඥ සහායක් ලබා ගැනීම අවශ්ය නොවන්නක් බවයි.
පොලිස් ඇප පොරොන්දුව සහ රහසිගත රිමාන්ඩ් කිරීම
"මම පොලිසියට ගිහින් පුතාට කතා කළත් එයාට බැරි වුණා මා එක්ක හරියට වචනයක් කතා කරන්න. හඬ පිටවුණේ නෑ. හරියට අපි රෑට නින්දෙන් ගොරවනවා වගේ හඬක් තමා තිබුණේ වචනවල. ඒ ඇයි කියලා මම අහපුවාම පුතා කිවුවේ මට හොඳටම ගැහුවා මාව හිරේට දායි කියලා බයයි ඒ නිසා මොනවත් කරන්න එපා පොලිසියේ අය තරහා ගනියි කියලයි. පොලිසියේ අය මට කිවුවෙත් අයිඩෙන්ටි කාර්ඩ් එකේ කොපි ගහගෙන ඇවිත් අත්සන් කරලා පුතාව අරන් යන්න කියලයි," යනුවෙන් හෙට්ටිආරච්චි මාතාව පැවසුවාය.
නමුත් ඒ අතරවාරයේදි පොලීසිය රහසිගතව ජීප් රථයක නංවාගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ගෙනයන ලද තම පුතුට බොරු චෝදනා නගා රිමාන්ඩ් භාරයට පත් කරන ලද බවයි.
"පුතාව උසාවියට අරන් ගිහින් තිබුණේ මූණේ ඉඳලා වහලා රෙද්දක් පොරවලා. එළියේ තියාගෙන ඉද්දි තමා නඩුකාරතුමිය පොලිසියෙන් ඇහුවේ 'ඔය කෙනාව ඇයි වැස්සේ තියාන ඉන්නේ' කියලා. එතකොට පොලිසියේ අය කිවුවා හොරකමකට ගෙනාවේ. පෙරෙට්ටුවට කට්ටිය ඇවිත් නෑ කියලා.ඊට පස්සේ නඩුකාරතුමිය පුතාව රිමාන්ඩ් කරා. පොලිසියේදි මට කිවුවේ පුතාව නිදහස් කරනවා ඒ නිසා නීතිඥවරයෙක් ඕනේ නෑ කියලනේ. ඒත් උසාවියේදි වුණේ වෙන දෙයක්. අනෙක හොරකමක් ගැන අපිට කිවුවේ නෑ".
සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක්ද?
වරුණ මධුසංඛගේ මව චෝදනාත්මකව පවසන්නේ පහරදී මරා දැමුණු ඉෂාර හර්ෂ කුමාර ට පොලිසිය වධහිංසා කරනු තම පුතු දුටු බැවින් එය සඟවන්නට පොලීසිය හිතාමතා අධිකරණය පවා නොමග යවමින් ඔහුව රිමාන්ඩ් භාරයට පත් කරන්නට ඇති බවයි.
කෙසේ වෙතත් අදාල ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි පොලිසිය විසින්ම පැවසුවද එහි ප්රධානතම සාක්ෂිකරුවකු වන වරුණ මධුසංඛ රිමාන්ඩ් බන්ධගාගාරයේ රඳවා තබන්නට පොලීසිය විසින්ම සැලසුම් සහගතව කටයුතු කර ඇති තත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ විමර්ශන නිසි පරිදි සිදු නොකිරීමක් යැයි දේශපාලන ක්රියාධරයකු මෙන්ම අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කාර ලහිරු වීරසූරිය චෝදනා කරයි.
හෝමාගම පොලිසියේ මරණය ඇසින් දුටු සාක්ෂිකරුගේ ජීවිතාරක්ෂාව පතා අම්මාගෙන් ආයාචනයක්
Awara
November 1, 2026 • 10:41 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රෑ එළි වෙනකම් ගැහුවා’ " පුතාව තාම දොස්තර කෙනෙක් ළඟට දාලා නෑ.
- ඝාතනයට ලක්වු ඉෂාර හර්ෂ කුමාර ගේ සහ බන්ධනාගාර ගතකර සිටින වරුණ මධුසංඛ ගේ මිතුරකු වන රංග මධුසංඛ විසින් ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව වෙත පසුගිය 26 දා පැමිණිල්ලක් ගොනු කරමින් ඉල්ලා තිබුනේ වරුණ මධුසංඛ අධිකරණ වෛද්යවරයකු හමුවට පමුණුවන්නට කටයුතු කරන ලෙසයි.
- නමුත් වරුණ මධුසංඛගේ මව චෝදනා කරන්නේ පොලිස් නිලධාරින් විසින් සිය පුතුට දරුණු ලෙස පහර දී වධහිංසා සිදු කොට මේ වන විට සතියකට ආසන්න කාලයක් ගත වී තිබුණද තවමත් වෛද්යවරයෙක් හමුවට පමුණුවා නොමැති බවයි.
- තුවක්කු බඳවලින් මූණට ගැහුවා" " 25 දා රෑ පුතාව අල්ලගෙන යද්දිම හොඳටම ගැහුවා.
අකුරු ප්රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්රී ලංකාව තුළ සහ ජාත්යන්තර ඩයස්පෝරාව අතර ක්රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


