අඳුරු උමඟකින් ලොව දිනූ 'සැඟවුණු ලෝකය'
වසර විසිහයක සම්මාන ඉතිහාසය තුළ සතුන්ගේ දැවැන්ත හැසිරීම්වලට පමණක් වෙන්ව තිබූ යුරෝපීය වනජීවී ඡායාරූප කිරුළ මෙවර හිමිවූයේ කිසිවෙකු නොසිතූ අමුතුම දසුනකටයි.
හංගේරියාවේ බෝර්සෝනි කඳුකරයේ අතහැර දැමූ පැරණි පතල් උමඟක, වසර 13ක් පුරා වවුලන්ගේ හැසිරීම් නිරීක්ෂණය කළ පාරිසරික විද්‍යාඥ ඉම්රේ පොටියෝ (Imre Potyó) මෙම විස්මිත නිර්මාණයේ හිමිකරුවායි.
ශිශිරතරණයේ පසුවන වවුලන්ගේ වසුරු තට්ටුවක් මත ඉතා සියුම්ව හිස ඔසවන කුඩා දිලීර විශේෂයක්, අත්විදුලි පන්දමක ආලෝකයෙන් මතුකර ගනිමින් ඔහු ගත් මෙම ඡායාරූපය නම් කර ඇත්තේ 'Hidden Worlds' (සැඟවුණු ලෝකයන්) යනුවෙනි.
නොපෙනෙන ක්ෂුද්‍ර ලෝකයේ ජීව රිද්මය
මිනිස් පියවි ඇසට හසුනොවන අඳුරු කොදෙව්වල පවා ජීවය අතිශය ගුප්ත ලෙසත්, ක්රමානුකූලවත් ලියලන ආකාරය මෙම ජයග්‍රාහී නිර්මාණයෙන් ලොවට පසක් කර දෙයි.
ලෝකය පුරා රටවල් 46කින් ඉදිරිපත් වූ ඡායාරූප 26,000කට අධික සංඛ්‍යාවක් පරදවමින් මෙම නිර්මාණය පෙරමුණ ගත්තේය. කිසිදු ඩිජිටල් වෙනස්කමකින් තොරව, ස්වභාවික ආලෝකය සහ දශකයකට වැඩි ඉවසීම උපයෝගී කරගෙන ගත් මෙම දසුන සොබාදහමේ සැබෑ සමතුලිතතාව විදහා දක්වයි.
"අපට නොපෙනෙන, අප පය නොතබන ඉසව්වල සොබාදහමේ සැබෑ පැවැත්ම සැඟවී තිබෙනවා" යනුවෙන් විනිශ්චය මණ්ඩලය මෙම නිර්මාණය අගය කරමින් අවධාරණය කළේය.
කැලෑ බළලා, ඕලු කන අලියා සහ සොබා සෞන්දර්යය
මෙවර තරගාවලියේ අනෙකුත් කාණ්ඩ යටතේ සම්මාන දිනූ ඡායාරූප පෙළද සොබාදහමේ විවිධත්වයේ අපූරු කඩඉම් සනිටුහන් කරයි.

GDT EWPY 2026, Lorenzo Shoubridge

GDT EWPY 2026, William Steel
ඉතාලියේ අල්ටෝ මුගෙලෝ වනාන්තරයේ දහස් සංඛ්‍යාත කණාමැදිරියන් මැදින් රාත්‍රියේ සීරුවෙන් ඇදී යන යුරෝපීය කැලෑ බළලෙකුගේ දසුනක් ක්ෂීරපායී කාණ්ඩයේ ප්‍රමුඛතාව දිනාගත්තේය. බොට්ස්වානාවේ චෝබේ ගංගාවේ පිපුණු ඕලු මල් එකිනෙක නෙළා කමින් සන්සුන්ව දියේ බැස යන අප්‍රිකානු දැවැන්ත අලියෙකුගේ සජීවී දසුනද නරඹන්නන්ගේ නෙත් වශී කරවයි.

GDT EWPY 2026, Jan Wieczorek

GDT EWPY 2026, Henley Spiers
පිහාටු හැලෙන කාලසීමාවේදී පියාසර කිරීමට නොහැකිව රහසිගත මංපෙත් ඔස්සේ බිම ඇවිද යන කොකුන් රැළක් සහ සැඩ මුහුදු රළ මැදින් ගල්පර බදාගෙන ඇල්ගී සොයන ගැලාපගෝස් සමුද්‍ර ඉගුවානාවෙකුගේ දසුනද කැමරා ශිල්පීන්ගේ ඉහළ ඉවසීම ප්‍රකට කරයි.
මිනිස් ඇවතුම් පැවතුම් සහ වනජීවී ඉරණම
හුදු සුන්දරත්වය පමණක් නොව, මිනිසා සහ පරිසරය අතර පවතින ගැටුමේ කටුක යථාර්ථයද කැමරා කාචයට හසුකර ගැනීමට ශිල්පීන් අමතක කර නැත.

GDT EWPY 2026, Petr Bambousek
තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක කසළ දවාලන උඳුනක් තුළ නිදාසිටි මැලේ වලසෙකුගේ ඡායාරූපය නම් කර තිබුණේ 'පරිණාමය' (Evolution) යනුවෙනි. මිනිසා විසින් නිර්මාණය කරන ලද අපද්‍රව්‍ය හමුවේ වනසතුන් මුහුණදෙන ඛේදනීය තත්ත්වය එයින් උපහාසාත්මකව මෙන්ම සංවේදීව ප්‍රශ්න කරයි.
සොබාදහමේ අසිරිය විඳගන්නා අතරම, මිනිසා අතින් නොදැනුවත්ව සිදුවන ජෛව විවිධත්ව විනාශය ගැන නැවත හැරී බැලීමට මෙම ඡායාරූප එකතුව කදිම ආවර්ජනයක් සපයයි.
වැඩිදුර තොරතුරු සහ ජයග්‍රාහී ඡායාරූප එකතුව ඇතුළත් විශ්වාසනීය මූලාශ්‍ර සබැඳි :
Forbes: Striking, Beautiful Winners Of European Wildlife Photographer Of The Year



