ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර අද(14) උදෑසන අභාවප්‍රාප්ත විය. ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය .
මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 61කි.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.
සිඩ්නි ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව මහරාජා මාධ්‍ය ජාලයට සම්බන්ධ විය.
ඔහු 'සිරස' නිව්ස්ෆස්ට්හි උපදේශකවරයකි.
අභාවප්‍රාප්ත සිඩ්නි චන්ද්‍රසේකර ටෙලි නාට්‍ය රාශියක් නිර්මාණය කළා සේම ටෙලි නාට්‍ය තේමාගීත රචනයේ දක්ෂයෙකු විය.
'ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ' ඔහුගේ රචනයට රූකාන්ත ගුණතිලක ගැයූ අතිශය ප්‍රකට ගීතයකි.
පසුගිය කාලයේ ප්‍රකට වූ “නැගිටිමු ශ්‍රී ලංකා” තේමා ගීතය ද ඔහු විසින් රචිත එකකි.
'අනන්තයෙන් ආ තරු කුමාරා' . 'මේ ආදරයයි'.'ප්‍රේම දඩයම' වැනි ටෙලි නාටක සඳහාද ඔහු තේමා ගීත රචනා කළේය.
ටීවී වන් නාලිකාවේ ඔහු ඉදිරිපත් කළ ප්‍රවීණ කලාකරුවන්ගේ බිරියන් සම්මුඛ සාකච්ඡාවට ලක්කළ 'සුන්දර බිරිඳ 'වැඩසටහනද අතිශය ජනප්‍රිය විය.
අමරදේව- ක්ලැරන්ස් හා සිඩ්නි
අමරදේව මාස්ටර් , ක්ලැරන්ස් හා සිඩ්නි සම්බන්ධ අපූරු කතාවක් වෙයි.
එදවස සිඩ්නි ජාතික රූපවාහිනීය වෙනුවෙන් නිදිකුම්බා මල් ටෙලි නාට්‍යය නිර්මාණය කරන අවදියයි.
සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් තෝරාගෙන තිබුනේ ක්ලැරන්ස් ය.
මේ වන විට ක්ලැරන්ස් ගේ කකුලේ ඇඟිල්ලක් කපා ගෙදරින් පිටතට නොයන තත්ත්වයක් තිබුණි.
ක්ලැරන්ස් වැඩේ බාරගත්තේ සිඩ්නි වෙනුවෙනි.
ක්ලැරන්ස් එහිදී සිඩ්නිට මෙසේ පවසයි.
" මට තව තියෙන්නේ අවුරුද්දක් ද දෙකක් ද කියන්න බැහැ...මට කරගන්න බැරි වුණු එක දෙයක් තියෙනවා .. ඒ අමරදේව මහත්තයාට සිංදුවක් හදන එක ..."
ඒ අනුව එවකට රූපවාහිනීයේ සංගීත උපදේශකයකු වූ අමරදේවයන් ට නිදිකුම්බා මල් ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගැයීමට ඇරයුම් කරන්න ලදි.
අමරදේව - ක්ලැරන්ස් මේ අපූරු සුසංයෝගය සදහා එදා මූලික වුයේ සිඩ්නි චන්ද්‍රසේකර ය.