"ජිහාඩ් ප්‍රේමය" තහනම් කෙරෙන නව නීතිය ප්‍රතිගාමී සහ ආක්‍රමණශීලී එකක් බවට චෝදනා එල්ලවෙමින් ඇත.(ඡායාරූපය -GETTY IMAGES)
 හින්දු කාන්තාවක් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට තැත්කරන ලද බවට චෝදනා ලද මුස්ලිම් ජාතිකයෙක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
 
අන්‍යාගමිකයන් වෙනත් ආගම්වලට හරවා ගැනීම තහනම් කරමින් ඉන්දියාව මෑතදී පනවන ලද නව නීතිය යටතේ සිදුකෙරුණ පළමු අත්අඩංගුවට ගැනීම එයයි. 
 
එම නව නීතිය හින්දු ජාතිකවාදී කණ්ඩායම් විසින් හඳුන්වනු ලබන්නේ "ජිහාඩ් ප්‍රේමය" ("love jihad") යන යෙදුමෙනි. 
 
එම කණ්ඩායම් එකී යෙදුම උපයෝගී කරගනිමින් විවාහවීම මගින් හින්දු කාන්තාවන් ඉස්ලාම් දහමට හරවා ගනු ලබන මුස්ලිම් ජාතිකයන්ට චෝදනා කරති.
 
ඉන්දියාව විසින් බලාත්මක කරන ලද එම නීතියට එරෙහිව විශාල විරෝධයක් පළවෙමින් ඇති අතර විවේචකයන් විසින් එය හඳුන්වනු ලබන්නේ "ඉස්ලාම් භීතිකාව" පදනම් කරගත් ක්‍රියාමාර්ගයක් හැටියටය.
 
එම "ජිහාඩ් ප්‍රේමයට" එරෙහිව අළුතින් නීති සම්පාදනය කිරීමට ඉන්දියාවේ තවත් ප්‍රාන්ත ආණ්ඩු හතරක්වත් පියවර ගනිමින් ඇති බවක් ද වාර්තා වෙයි.
 
මෙහි මුලින් සඳහන් කරන ලද අත් අඩංගුවට ගනු ලැබීම, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බාරෙයිලි (Bareilly) දිස්ත්‍රික්කයේ පොලිසිය විසින් නිකුත්කරන ලද ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කරනු ලැබ ඇත.
 
අදාළ කාන්තාවගේ පියා බීබීසී හින්දි සේවයට අදහස් දක්වමින්, අත්අඩංගුවේ පසුවෙන මුස්ලිම් ජාතිකයා සිය දියණියට ආගම මාරුකරන ලෙස 'බලපෑම්' එල්ල කර ඇති බවට පොලිසියට පැමිණිලි කළ බව සඳහන් කළේය. 
 
තම දියණිය ආගම වෙනස් නොකළොත් ඇයට එරෙහිව පියවර ගන්නා බවට එම මුස්ලිම් ජාතිකයා තර්ජනය කර ඇති බවත් කාන්තාවගේ පියා පවසයි.
 
එම කාන්තාව මේ වසර මුලදී වෙනත් පුරුෂයකු සමඟ විවාහ වූ නමුත් ඇය මුස්ලිම් ජාතිකයා සමගත් ඇසුරක් පවත්වා ඇතැයි පැවසෙයි.
 
මේ අතර බීබීසී හින්දි සේවයට ප්‍රකාශයක් කරමින් පොලිසිය කියා සිටින්නේ, අදාළ කාන්තාවගේ පවුලේ සාමාජිකයන් ''පැහැරගනු ලැබීමක්'' සම්බන්ධයෙන් මෙයින් වසරකට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කළත්, එම කාන්තාව සොයාගනු ලැබීමෙන් අනතුරුව ඇය එම චෝදනාව බැහැරකරන ලද හෙයින් එම පැමිණිල්ලට අදාළ විභාගය නතරකරන ලද බවයි.
 
මේ සතියේ බදාදා (02 දෙසැම්බර්) අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයා දින දාහතරක කාලයක් සඳහා රැඳවුම් භාරයට යවනු ලැබ ඇත. 
 
ඔහු මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කියාසිටියේ, තමා අහිංසකයකු වන අතර සිද්ධියට සම්බන්ධ කාන්තාව සමඟ තමාගේ සම්බන්ධයක් නොමැති බවය.
 
 
  115788987 43a0736d 8415 4bbd b82b 6eab77ecb890
"ජිහාඩ් ආදරය පිළිබඳ නව නීතිය නොතකා හැරිය හැකි විහිළුවක් නොවේ" (ඡායා - GETTY IMAGES)
 
'ජිහාඩ් ප්‍රේමය' පිළිබඳ නීතිය කුමක්ද?
 
උත්තර් ප්‍රදේශ් "බලහත්කාරයෙන්" එසේත් නැත්නම්, "ප්‍රයෝගකාරීව" පුද්ගලයන් ආගම්වලට හරවාගනු ලැබීමට එරෙහිව අළුත් නීතියක් සම්මත කරනලද පළමු ඉන්දීය ප්‍රාන්තයයි. එම නව නීතිය සම්මතකර ගන්නා ලද්දේ පසුගිය නොවැම්බර් මාසයේදීය.
 
ආදරයේ නාමයෙන් (Love Jihad) මුස්ලිම් ආගමට හරවාගනු ලැබීම්වලට එරෙහිව තමන් ද නීති සම්පාදනය කිරීමට සැලසුම් කරමින් ඇතැයි, මාධ්‍ය ප්‍රදේශ්, හර්යානා, කර්ණාටක සහ ඇසෑම් යන ප්‍රාන්ත හතරත් දැනට ප්‍රකාශකර ඇත.
 
මුස්ලිම් - හින්දු ප්‍රේමය තහනම් ද?
 
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයත් ඇතුළුව එකී ප්‍රාන්ත පහම පාලනය කරනු ලබන්නේ භාරතීය ජනතා පක්ෂය (BJP) විසිනි. 
 
මුස්ලිම් විරෝධී හැඟීම්, මතවාදයන් සාමන්‍යකරණය කරන බවට එම පක්ෂයට චෝදනා එල්ලවෙයි.
 
එහෙත් එම නව නීතිය දෝෂදර්ශනයට ලක්කරන්නන් කියාසිටින්නේ, එවැනි නීති ප්‍රතිගාමී සහ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග වන බවය. 
 
"ජිහාඩ් ප්‍රේමය" යන යෙදුම පාවිච්චි කරනු ලබන්නේ අන්තවාදී දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් වන බවත්, හිරිහැර කිරීමේ චේතනාවෙන් එවැනි නීති අවභාවිත කිරීමට ඉඩකඩ ඇති බවත් එම විවේචන මගින් පෙන්වා දී ඇත.
 
එසේම එවැනි යෙදුමක් ඉන්දියාවේ නීතිය මගින් නිල මට්ටමින් පිළිගනු ලැබ නැත.
 
කෙසේවුවද, මෙම කාරණය පසුගිය මාස කීපය තුළ ඉන්දියාවේ සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන සිරස්තල සියල්ල අතර මුල්තැනට පැමිණ තිබුණි. 
 
"ජිහාඩ් ප්‍රේමය" ට උඩගෙඩි දෙන බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව, වෙනත් ලබ්ධීන් දෙකකට අයත් යුවළක් යොදාගත් වෙළෙඳ දැන්වීමක් වෙනස් කිරීමට පවා ඉතා ජනප්‍රිය ස්වර්ණාභරණ වෙළෙඳ ව්‍යාපාරයකට සිදුවිය.
  115788988 61f72b2d aaa3 49a6 8ff0 0e02513a1192
"අපේ ප්‍රේමය ප්‍රේමයයි; ජිහාඩ් ප්‍රේමයක් නොවේ" - කිතුනු මාර්ටිනා රෝයි පසුගිය සැප්තැම්බර් මාසයේ මුසල්මාන් ෂයින් අන්වර් සමඟ විවාහ වූවාය. සිය තෝරාගැනීම සඳහා පවුලේ අවසරය ලැබෙන තෙක් වසර හතක කාලයක් බලා සිටීමට මාටිනාට සිදුවූවාය. (ඡායාරූප මූලාශ්‍රය, INDIA LOVE PROJECT)
 
 
මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේ දී 'Netflix' මාධ්‍ය ජාලයත් විවේචනයට ලක්විය. 
 
එම මාධ්‍ය ජාලය විසින් නිර්මාණය කරන ලද 'A Suitable Boy' නම් රූපවාහිනී වෘත්තාන්ත මාලාවට ඇතුළත් එක් දර්ශනයක දී කැමරාව කෝවිලක් පසුකරමින් පෙරට යද්දී හින්දු තරුණියක සහ මුස්ලිම් තරුණයකු සිප වැළඳගන්නා රූපරාමුවක් ද ඊට ඇතුළත් විය.
 
එම දර්ශනය ''ආගමික හැඟීම්''වලට හානිකර යයි කියාසිටි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්වදේශ කටයුතුභාර ඇමති නරෝත්තම් මිශ්‍රා 'A Suitable Boy' රූපවාහිනී වෘත්තාන්තයේ නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සිය නිලධාරීන්ට නියෝග කළේය.
 
2014 වසරේ දී අගමැති නරේන්ද්‍ර මෝඩි ලද මහා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ආගමික බෙදීම් තවත් ඈත් වූ බවට භාරතීය ජනතා පක්ෂයේ විවේචකයෝ චෝදනා කරති.
 
 
(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්