කලාශිල්පිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්දට වහාම ජාතික රුපවාහිනියේ සභාපතිනි ධුරයෙන් ඉල්ලා අස්වන්නයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ලිඛිත දැනුම්දීමක් කර ඇතත් ඇය එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.


1982 අංක 06 දරන ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථා පනත අනුව ජනමාධ්‍ය විෂයභාර ඇමතිවරයකු විසින් පත්කරනු ලැබූ සභාපතිවරයෙක් හෝ සභාපතිනියක් ඉවත් කිරීම සම්බන්ධයෙන් හෝ එම ධුරයේ පුරප්පාඩුවක් ඇතිවන්නේ අදාල පුද්ගලයා මරණයට පත්වූ අවස්ථාවක, ඉල්ලා අස්වූ අවස්ථාවක හෝ විෂයබාර ඇමතිවරයා විසින් ඉවත්කළ අවස්ථාවකදී පමණි.

කෙසේවුවද ජනමාධ්‍ය විෂය රුවන් විජේවර්ධනට පවරා ඇතත් ඔහු කැබිනට් අමාත්‍යවරයා නොවන හෙයින් ඔහුට සභාපතිනිය ඉවත්කිරීමේ බලයක් නැති බවත් සභාපතිනිය ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් සභාපතිනිගේ හිතවතුන් පවසන බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

සුදර්ශන ගුණවර්ධන ගෙන් පැහැදිලි කිරීමක් :

මේ අතර ''රුපවාහිනියේ සභාපතිනියට ඉවත්වන්නැයි ඇමතිගෙන් දැනුම්දීමක් '' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' හි ඊයේ (ජුලි 07) පළවූ ලිපියේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සම්බන්ධයෙන් පළවූ කරුණක් සම්බන්ධයෙන් ඔහු විසින් නිවැරදි කිරීමක් යොමුකර ඇත.

''ජනමාධ්‍ය විෂය රුවන් විජේවර්ධන වෙත පැවරීමත් සමග ඔහු විසින් එම තනතුරට අගමැති මාධ්‍ය අංශයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ නම යෝජනා කළ ද ජනාධිපතිවරයා එම නම ප්‍රතික්ෂේප කර තිබිණ.'' යයි එම පුවතේ පළවූ සඳහන සම්බන්ධයෙන් සුදර්ශන ගුණවර්ධන යොමුකර ඇති දීර්ග පිළිතුර කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර තිබේ.

sudar'' මා වනාහි ඔක්තෝබර් 26 කුමත්‍රණයෙහි වින්දිතයෙකු සහ ඉන් අනතුරුව දේශපාලන පළිගැනීමට ලක්වූ පුද්ගලයෙකි.'' -නීතිඥ සුදර්ශන ගුණවර්ධන 

ද ලීඩර් වෙබ් අඩවියේ මා සම්බන්ධව පළ වී ඇති ප්‍රවෘත්තියක් නිවැරදි කරන ලෙස ඉල්ලීම.

''ද ලීඩර් වෙබ් අඩවියෙහි පළ කොට ඇති ප්‍රවෘත්තියක ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ජාතික රූපවාහිනියේ සභාපති තනතුර සඳහා 'අගමැති මාධ්‍ය අංශයේ' නීතිඥ සුදර්ශන ගුණවර්ධනගේ නම යෝජනා කළ අතර ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කළ බව සඳහන් ය. මෙම ප්‍රවෘත්තියෙහි සමහර කරුණු නිරවද්‍ය නොවේ. 

සාරාංශ වශයෙන් ගත් කළ මට කීමට ඇත්තේ මම කිසි විටෙකත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ කටයුතු කොට නොමැති බවයි. එමෙන්ම ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට නම යෝජනා වන අවස්ථාවේ මම කිසිදු රැකියාවක නියුතුව නොසිටි බවයි.

 මා වනාහි ඔක්තෝබර් 26 කුමත්‍රණයෙහි වින්දිතයෙකු සහ ඉන් අනතුරුව දේශපාලන පළිගැනීමට ලක්වූ පුද්ගලයෙකු බවයි. සතුරන් විසින් පහර දෙන ලදුව මිතුරන් විසින් අමතක කොට අතහැර දමා තිබුණු පුද්ගලයෙකු පමණක් බවයි.

එබැවින්, පහත දැක්වෙන පැහැදිලි කිරීම ද ඔබ අගනා වෙබ් අඩවියෙහි පළකරන්නේ නම් කෘතඥ වෙමි.
ස්තුතියි,
මෙයට,
හිතවත් 
සුදර්ශන

පැහැදිලි කිරීම:
මම කිසි විටෙකත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ කටයුතු කොට නැත්තෙමි. 
'නිදහසේ වේදිකාව' නම් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කැඳවුම්කරුවෙකු ලෙස 2009 සිට ක්‍රියා කළ මම වසර විසි පහකට වැඩි කාලයක් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක්මි. 

2015 ජනවාරි මස වර්තමාන රජය බලයට පත්වූ අවස්ථාවේදී එවකට ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගයන්ත කරුණාතිලක මහතා විසින් මම ජාතික චිත්‍රපට සංස්ථාවෙහි සභාපති ධුරයට පත් කරන ලදුයෙමි. එහෙත්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස මම පත්වීම පිළිගැනීම කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. 

2017 වසරේදී මංගල සමරවීර මහතා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය භාර ගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය භාර ගන්නා ලෙස මා වෙතින් ඉල්ලීමක් කරන ලදී. 

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය යන කුළුණු තුන මත ගොඩනැගුණු සිය දර්ශනය මහජනයාට සන්නිවේදනය කිරීම පිණිස මංගල සමරවීර මහතා විසින් මගේ සහය ඉල්ලා සිටි අතර, මෙම පත්වීම කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද එකඟතාවය ලැබී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. 

ඒ අනුව 2017 ජුනි මස 20 වන දින, මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි සභාපතිවරයා ලෙස වැඩ භාරගත්තේ ඒ වන විට මා විසින් පූර්ණ කාලීනව සේවය කරමින් සිටි 'රයිට්ස් නව් කලෙක්ටිව් ෆො ඩිමොක්‍රසි' නම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙමිනි. තනතුර භාර ගන්නා අවස්ථාවේදී ද මා ප්‍රකාශ කළේ 'මම එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙකු නොවන බවත්, සිවිල් සමාජ සාමාජිකයෙකු බවත්' ය. 
SLBC New Complex
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කරමින් සිටින අතර මුල් පත්වීමෙන් මාස හතරකට නොඅඩු කාලයකදී, එනම් 2017 ඔක්තෝබර් මාසයේදී ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පත් කරන ලදී. 

2017 දෙසැම්බර් මාසයේදී මා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරයෙන් ඉවත් වූයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලද බැවිනි. එතැන් සිට 2018 ඔක්තෝබර් 26 දින දක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළෙමි. 

2018 ඔක්තෝබර් 25 දින සවස මම නිවාඩු අනුමත කරගෙන පෞද්ගලික සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගියෙමි. ඒ මගේ රාජකාරි කාලය තුළ මා දිවයිනෙන් බැහැර ගිය එකම අවස්ථාවයි. ඔක්තෝබර් 26 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද බව මා දැන ගත්තේ ට්විටර් පණිවිඩයක් මගිනි. 

පසුදින, එනම් ඔක්තෝබර් 27 වන සෙනසුරාදා සවස අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ධුරයෙන් ඉවත් කොට නව අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු පත් කොට ඇති බවද, මා එතෙක් දරමින් සිටි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත් කොට එම තනතුරේ වැඩ බැලීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩබලන අතිරේක ලේකම්වරයෙකු සහ රක්නා ආරක්ෂා ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන නාලක කලුවැව මහතා පත් කරන ලද බවද දැන ගැනීමට ලැබිණි.

නිවාඩු අවසන් ව 2018 ඔක්තෝබර් 29 වන දින උදේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි මම, එවකට මගේ දෙපාර්තමේන්තුව අයත්ව තිබූ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතාද ඉල්ලා අස්වී තිබූ බැවින්, දුරකථනයෙන් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාට කථා කොට මා නිවාඩු අවසන්ව පෙරළා පැමිණි බවට වාර්තා කළෙමි. 

එහිදී ඒ මහතා මට පැවසුවේ මා ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් වෙනත් නිලධරයෙකු වැඩ බැලීම සඳහා පත් කළ බවය. කෙසේ වුවද මා රටින් බැහැරව ගියේ විධිමත්ව නිවාඩු අනුමත කරගෙන, වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඒ වන විට අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ යූ. ජී. එල්, ඩී. පතිරණ මහත්මියට වැඩ භාරදීමෙන් අනතුරුවය. 

ඔක්තෝබර් 29 වන චින මම ඒ වන විට නිත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස මා පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටි අරලියගහ මන්දිරය වෙත වාර්තා කළ අතර, එතැන් සිට දින 51 අරගලයේදී උපරිම දායකත්වය දැක්වූයෙමි. 

ශ්‍රේෂ්ඨාධිරකරණයේ සහ අභියාචනාධිකරණයේ තීරණය අනුව නිත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර මංගල සමරවීර මහතා නැවතත් මුදල් සහ ජනමාධ්‍ය අමත්‍ය ධුරයෙහි දිවුරුම් දෙන ලදී. 

ඒ අවස්ථාවේදී මංගල සමරවීර මහතා විසින් අමාත්‍යංශය යටතේ පිහිටි ජනමාධ්‍ය ආයතන වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ජාලය සහ සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ආයතන හතර සඳහා ඒවායේ හිටපු සභාපතිවරුන් වන සිද්දි එම් ෆාරුක්, ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද, තිලකා ජයසුන්දර සහ ක්‍රිෂාන්ත කුරේ යන මහත්ම මහත්මීන් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පත්කරමින් ඔක්තෝබර් 26 දිනට පෙර පැවතුණු තත්ත්වය යළි ස්ථාපිත කරන ලදී. 

කෙසේ වුවද, කිසියම් හේතුවක් මත එම ප්‍රතිපත්තිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූ අතර මා සම්බන්ධයෙන් කටයුතු කරන ලද්දේ වෙනත් ආකාරයකටය. 

දින කිහිපයකට පසු දුරකථනයෙන් මා ඇමතූ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මට පැවසුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩබැලීම සඳහා ඔක්තෝබර් 27 දින පත් කරන ලද නාලක කලුවැව මහතා තවදුරටත් එම ධුරයෙහි පවත්වා ගෙන යාමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇති බවයි. එහිදී මා සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි විමසන ලද විට 'සුදර්ශන වෙනත් සුදුසු තනතුරක පිහිටුවන ලෙස' ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද මංගල සමරවීර මහතා මා වෙත පැවසීය. 

2018 ඔක්තෝබර් 27 දින සිට මම රැකියා විරහිතව සිටියෙමි. 2019 දී ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කරන ලද අතර, ඒ මහතා මා අමතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි සභාපති ධුරය සඳහා මා පත් කිරීමට ඔහු බලාපොරොත්තු වන බවයි. 

මගේ නම සහ ජීව දත්ත තොරතුරු පත්‍රිකාව ඉහළ තනතුරු සඳහා යෝජනා කෙරෙන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද බවත්, ජනාධිපති ලේකම්වරයාගේ සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ගෙන් සමන්විත එම කමිටුව විසින් එම තනතුර සඳහා මා පත්වීම සුදුසු බවට අනුමත කරන ලද බවටත් ලිඛිත සාක්ෂි පවතී. 

කෙසේ වුවද, මෙම ගොණුව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසුව එම තනතුරට මා පත්වීම අනුමත නොකරන බවට සඳහන් කර නැවත ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත එවා තිබිණි. 

මේ සිදුවීම වන විට මම කිසිදු රැකියාවක නිරතව නොසිටි අතර, කිසිවිටෙකත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයට අනුයුක්තව සේවය නොකළෙමි. 

''මම කිසි විටෙකත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ කටයුතු කොට නොමැත''

එබැවින්, ඔබගේ ප්‍රවෘත්තිය මගින් මා පිළිබඳව නොමග යවන සුළු වැටහීමක් ඇති විය හැකි බව මගේ විශ්වාසයයි. 
ජාතික රූපවාහිනියේ සභාපති ධුරය සඳහා මගේ නම අනුමත වී තිබියදීත්, අසාධාරණ ලෙස ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මගේ නම ඉවත් කිරීමෙන් අනතුරුව මෙම ප්‍රශ්නය කෙරෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු විය. 

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය යටතේ අග්‍රාමාත්‍යතුමන් අමාත්‍ය පදවිය දරන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයට අනුමතව ඇති උපදේශක තනතුරු දෙකෙන් එකක් සඳහා මා පත් කිරීමට තමන් බලාපොරොත්තුවන බවයි. 

ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් සිවඥානසෝති මහතා විසින් සකස් කොට අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුව 2019 අප්‍රේල් 01 දින සිට මා එම අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙස පත් කරන ලදී. 

මගේ වගකීම වන්නේ සංවර්ධන සන්නිවේදන කටයුතු පිළිබඳව ඒකකයක් ගොඩ නගා පවත්වා ගෙන යමින් රජයේ සංවර්ධන කටයුතු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමයි.  

සාරාංශ වශයෙන් ගත් කළ මට කීමට ඇත්තේ මම කිසි විටෙකත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයේ කටයුතු කොට නොමැති බවයි. 

එමෙන්ම ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට නම යෝජනා වන අවස්ථාවේ මම කිසිදු රැකියාවක නියුතුව නොසිටි ඔක්තෝබර් 26 කුමත්‍රණ්ත්‍රණයෙහි වින්දිතයෙකු සහ ඉන් අනතුරුව දේශපාලන පළිගැනීමට ලක්වූ පුද්ගලයෙකු බවයි. සතුරන් විසින් පහර දෙන ලදුව මිතුරන් විසින් අමතක කොට අතහැර දමා තිබුණු පුද්ගලයෙකු පමණක් බවයි.''

සබැඳි පුවත් :

රුපවාහිනියේ සභාපතිනියට ඉවත්වන්නැයි ඇමතිගෙන් දැනුම්දීමක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්