කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට
අද (01) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුකර තිබේ.
 
සති කිහිපයක් පුරා ආන්දෝලයට තුඩු දුන් නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් එසේ තීන්දු වෙද්දී කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාව සමග සහයෝගයෙන් සංවර්ධනය කිරීමට ද තීන්දුව කර ඇත.
 
එසේ තීන්දු ගෙන ඇත්තේ, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභ්‍යාග්‍ය යේ දැක්මට අනුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය. 
 
යෝජනාව ඉදිරිපත් කරමින් වරාය අමාත්‍යවරයා දැඩි චෝදනා මුඛයෙන් පවසා ඇත්තේ, වරාය සම්බන්ධයෙන් මතුවූ විරෝධයට කැබිනට් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින්ද වගකිවයුතු බවයි. 
 
නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නය නිසා දැඩි කැපවීමෙන් ගොඩනැගූ ආණ්ඩුව ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත් වූ බවත්, විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය යම් පමණකින් හෝ බිඳවැටුන බවත්, ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට, ප්‍රතිරූපයට මේ නිසා පිරිමැසිය නොහැකි කැළලක් සිදු වූ බවත් ඇමති රෝහිත අබේගුණවර්ධන සඳහන් කර තිබේ.
 
'' කමිටු වාර්තාව එන්නකලින් එලියට ගිහිල්ලා ප්‍රශ්නය අවුල කළා. '' ඔහු එහිදී නම සඳහන් නොකරමින් ව්‍යංගයෙන් චෝදනා කර ඇත්තේ විමල් විරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙතය.
 
ඒ අවස්ථාවේ වරාය අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් ප්‍රසන්න රණතුංග, ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ කරුණු දක්වා ඇත. 
 
ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ, කොරෝනා ප්‍රශ්න වගේම දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ අසීරුවෙන් කටයුතු කරමින් සිටින ආණ්ඩුවේ වැඩපිළිවෙළට අකුල් හෙළමින් ඇතැම් ඇමතිවරු කටයුතු කරමින් සිටින බවයි. 
 
 
''නැගෙනහිර ජැටිය ආයෝජනය කිරීම ප්‍රශ්නයක් බවට පත් කළේ අපේම ඇමතිවරු පිරිසක්. ඒ අය ආණ්ඩුව ගැන හෝ ජනාධිපතිවරයා ගැන කල්පනා නොකර වෘත්තීය සමිති නායකයොයි, අපේ හාමුදුරුවරුයි එකතු කරගෙන කොහේවත් නැති ඉන්දීය විරෝධයක් ගොඩනැගුවා. ඒකෙන් වුණේ අපේ ආණ්ඩුව අපහසුතාවයට පත්වුණු එක. ජනතා විශ්වාසය බිඳවට්ටපු එක. '' එම ඇමතිවරුන් චෝදනා මුඛයෙන් යුතුව සඳහන් කර ඇත.
 
 
ආණ්ඩුවක් ලෙස සාමුහික වගකීමෙන් කටයුතු කළ යුතු බව මෙහිදී අවධාරණය කර ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, එලියට ගිහින් කෑකෝ ගැසීමෙන් සිදුවන්නේ ආණ්ඩුවේ ප්‍රතිරූපය කඩ වැටීම බව සඳහන් කර තිබේ.
 
වහාම ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති අමාත්‍ය විමල් විරවංශ සඳහන් කර ඇත්තේ, පළමු වරට මෙම කාරණය එළියට ගෙනගියේ රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් බවයි.  '' මොන බල්ලා බිරුවත් අපි නැගෙනහිර ජැටිය ඉන්දියාව සමග එකතුවෙලා කරනවා'' යයි එම රාජ්‍ය ඇමතිවරයා පවසා තිබු බව විමල් විරවංශ මෙහිදී සිහිපත් කර ඇත.
 
ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත්තේ, '' ලාන්සා ඔයවගේ කතාවක් කියල තිබුනා තමයි. එයා ජුනියර් කෙනෙක්. ඔබතුමා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්. ජ්‍යෙෂ්ඨයෝ දැන ගන්න ඕන මිට වඩා වගකීමෙන් වැඩකරන්න..'' යයි පවසා ඇත.
 
''එලියට ගිහින් කතාකරපු එක වැරදියි. අපට කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන මේ විදියට කතා කරන ප්‍රශ්නය විසඳ ගන්න තිබුනා.'' ජොන්ස්ටන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.
 
 ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය විමල් වීරවංශ මෙසේ සඳහන් කර ඇත.
 
“පැහැදිලිවම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ජනතා පොරොන්දු සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙ විතරක් නෙමෙයි එළියේ ජනතාවත් එක්ක කතාකරන්නත් අපිට අයිතියක් තියෙනවා. එහෙම නැතුවුණොත් අපි දන්නෙ නෑ කොයි වෙලාවක මේක කඩාගෙන වැටෙයිද කියලා. එහෙම වෙනකල් බලාගෙන ඉන්න ද කියන්නේ? එහෙම බෑ. අපි හැමෝම මහන්සියෙන් ගොඩගනපු ආණ්ඩුව. ඒ වගේම ජනතා විශ්වාසය. මොනම හේතුවක් නිසාවත් ඒවට හානි වෙන්න ඉඩ දෙන්න බෑ. ආණ්ඩුව රකින්න නම් අපි ඒවා රකින්න ඕනි“ යැයි වීරවංශ ඇමතිවරයා දැඩි ආවේගයෙන් යුතුව සඳහන් කර තිබේ.
 
වීරවංශ අමාත්‍යවරයාගේ මේ කතාවට බාධාකරමින් මැදිහත් වූ නාමල් රාජපක්ෂ ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඇත.  ‘ඔච්චරම ප්‍රශ්නයක් තිබුණා නම් ඇයි  මේ ගැන කැබිනට් එකේ කතා කළෙ නැත්තේ?  ඔහු විමසා ඇත.  
 
 
නාමල් අමාත්‍යවරයාගේ ප්‍රශ්නයට හිනාවකින් පිළිතුරු දුන් වීරවංශ පවසා ඇත්තේ,  ‘කැබිනට් එක තියෙන්නෙ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මිසක්, රටේ දේශපාලන කාරණා සම්බන්ධයෙන් කතා කරන්න නෙවෙයි‘ කියාය. 
 
 
“එකට තමයි අපි පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නේ. හැබැයි මේ වෙනකල් මාස ගාණකින් ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමක් අරගෙන නෑ. ඉතින් කොහේද අපි මේවා ගැන කතාකරන්නේ? ප්‍රශ්නයේ බරපතලකම සමහරුන්ට නොතේරුණාට කරන්න දෙයක් නෑ. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නොත් රටට වෙන හානිය, පාඩුව දැක්ක නිසා තමයි අපි ජනතාව එක්ක මේ ප්‍රශ්නය කතා කලේ.“ යැයි වීරවංශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
 
අමාත්‍ය වීරවංශ එසේ කරුණු දක්වද්දී අමාත්‍ය වාසුදේව නානායක්කාර ද ඔහුගේ සහයට කරුණු ඉදිරිපත්කර ඇත. 
 
 
තවදුරටත් කරුණු දක්වමින් ඇමති වීරවංශ පවසා ඇත්තේ,  ජනාධිපතිතුමා ආරක්ෂා කරනවා කියන්නේ. අර රජ්ජුරුවන්ගේ ඔළුවෙ වහපු මදුරුවා මරන්න කඩුවෙන් කොටපු වඳුරා වගේ වැඩ කරන එක නෙවෙයි. ඒකට හිතලා මතලා වැඩකරන්න ඕන කියාය. 
 
 
මේ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතැම් වෘත්තීය සමිති නායකයින්ගේ ක්‍රියාකලාපයන්  සම්බන්ධයෙන් නොසතුට පළකර තිබේ.
 
'' ඔය වෘත්තීය සමිතිවල කට්ටිය අද ඔය බෙරිහන් දෙනවිදියට එදා කෑ ගැහුවනම් අපට හම්බන්තොට වරාය රැකගන්න තිබුනා. බෝනස් හම්බවෙන්නේ නැහැ කියල කිව්වේ ඔය වෘත්තීය සමිති නායකයෝමයි. මම නම් ඔය වගේ ඩබල් ගේම් ගහන කට්ටිය වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ...'' යයි නාමල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
 
එහිදී ජනාධිපතිවරයා මේ උණුසුම් තත්ත්වය සමහන් කරමින් කරුණු ඉදිරිපත් කිරීමට මැදිහත්ව ඇත. 
 
''අපි ජාත්‍යන්තර දේශපාලන තත්වය ගැනත් හිතන්න ඕන.  පසුගිය ආණ්ඩුව ඉන්දියාව එක්ක ගිවිසුම් 17ක් අත්සන් කරලා තියනවා. කොළඹ වරායේ ජැටියට අදාළවත් ගිවිසුම් ගහලා. අපි බලයට ආවහම ඒ ගිවිසුම් කිහිපයක්ම අවලංගු කළා. අපි මත්තල දුන්නේ නැහැ. සම්පුර් දුන්නේ නැහැ. ගෑස් වලට ඕපන් ටෙන්ඩර් කැදෙව්වා. දැන් ඉන්දියාව පැත්තෙන් බරපතල විදියට කනස්සල්ල පලවෙමින් තියනවා. අපි ආණ්ඩු කරගෙන යද්දී මේ කාරණා ගැනත් හිතන්න ඕන ..'' යයි  ජනාධිපතිවරයා පවසා තිබේ.
 
 
නැගෙනහිර ජැටියට අදාලව පැවති මෙම කැබිනට් මණ්ඩල සාකච්ජාවේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා, නැගෙනහිර ජැටිය ඉන්දීය සමාගමකට දීමට එරෙහිව එළිපිට විරෝධය පලකළ විමල් කණ්ඩායමට එරෙහිව කරුණු ඉදිරිපත් කිරිමත්, සමස්ත සාකච්ජාවේදී අගමැති මහින්ද රාජපක්ෂ එකම වචනයක් හෝ ප්‍රකාශ නොකිරීමත් සුවිශේෂී කාරණයකි.

 

 

 


 

එදා JR කළ නරකම දේ මෙදා GR කරයි ද?

 

තිස්සගේ දූගේ පත්වීම විදේශ ඇමති මාරපනගේ වැඩක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්