The Leader News
BREAKING
Top Ad
පුවත්

ලක්ෂ 596ක මුදල් විශුද්ධිකරණ නඩුව: යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කෙරේ

T

The Leader Desk

July 17, 2026 • 10:50 AM

ලක්ෂ 596ක මුදල් විශුද්ධිකරණ නඩුව: යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ට එරෙහි චෝදනා පත්‍රය සංශෝධනය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාවික හමුදාවේ හිටපු ප්‍රධානීන් ඇතුළු සාක්ෂිකරුවන් 103ක් ලැයිස්තුවට
  • එහිදී විත්ති පාර්ශවය අභියාචනාධිකරණය හමුවේ තර්ක කර තිබුණේ එක් විත්තිකරුවකුට පමණක් 'කුමන්ත්‍රණ' චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බවයි.
  • කෙසේ වෙතත්, අභියාචනාධිකරණය එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කුමන්ත්‍රණ චෝදනාව යටතේම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බව රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මෙහිදී මහාධිකරණයට දැනුම් දුන්නේය.
  • නීතිමය පසුබිම සහ චෝදනා මෙම නඩුව ගොනු කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය සහ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇල්ලේ වතු යාය සහ රත්මලානේ නිවස ඇතුළු නඩු භාණ්ඩ 25ක් මහාධිකරණයට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත කණිෂ්ක රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට් ට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට පැමිණිල්ල කටයුතු කර තිබේ.

රුපියල් පන්සිය අනූහය ලක්ෂ හැත්තෑ නවදහස් නවසීයක (596,79,900) මුදලක් උපයා ගත් ආකාරය තහවුරු කිරීමට අපොහොසත් වීම මත ගොනු කර ඇති මෙම නඩුව ඊයේ (16දා) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි ඉදිරියේදී කැඳවනු ලැබීය.

වෛද්‍ය නිර්දේශයන් සැලකිල්ලට ගනිමින් ඩේසි ෆොරස්ට් වෙනත් නඩුවකින් මුදාහැරීමෙන් පසු, මෙම නඩුව යෝෂිත රාජපක්ෂ ට පමණක් සීමා කරමින් පවත්වාගෙන යාමට මීට පෙර උත්සාහ කෙරුණි. එහිදී විත්ති පාර්ශවය අභියාචනාධිකරණය හමුවේ තර්ක කර තිබුණේ එක් විත්තිකරුවකුට පමණක් 'කුමන්ත්‍රණ' චෝදනා යටතේ නඩු පැවරිය නොහැකි බවයි. කෙසේ වෙතත්, අභියාචනාධිකරණය එම විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කුමන්ත්‍රණ චෝදනාව යටතේම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බව රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා මෙහිදී මහාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිමය පසුබිම සහ චෝදනා

මෙම නඩුව ගොනු කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය සහ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේය.

2009 මාර්තු 31 සහ 2013 දෙසැම්බර් 12 අතර කාලය තුළ කොළඹ සහ තංගල්ල ප්‍රදේශවලදී නීතිවිරෝධී ක්‍රියාකාරකම් මඟින් උපයාගත් බවට සැකකෙරෙන මුදල්, බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල ආයෝජනය කිරීම, කොටස් වෙළෙඳපොළේ යෙදවීම සහ දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා 3ක් විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවට 2018 වසරේදී යොමු කෙරුණු මෙම විමර්ශන ගොනුවට අදාළව, වසර 7ක අධ්‍යයනයකින් පසු චෝදනා පත්‍ර ගොනු කර ඇත්තේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය.

රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රභූ සාක්ෂිකරුවන්

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 103 දෙනකු නම් කර ඇති අතර, ඒ අතරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් 5 දෙනෙකු ඇතුළත් වේ. හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් කමාන්ඩර් ටී.ඒ.ඒ. අරන්දර ඒ අතර ප්‍රධාන වේ.

මීට අමතරව, ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.එස්. චන්ද්‍රසේකර  ද රාජ්‍ය සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටිති.

නඩු භාණ්ඩ සහ ආදායම් පරස්පරතා

අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති නඩු භාණ්ඩ 25 අතරට විත්තිකරුවන් සතු බැංකු ගිණුම්වල සාරාංශ, යෝෂිත රාජපක්ෂ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ සමාගම්වල විස්තර මෙන්ම 2009-2015 කාලය තුළ ඔහු නාවික හමුදාවට ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද ඇතුළත් වේ. මීට අමතරව,

* රත්මලාන කෙකටිය පෙදෙසේ අංක 4 දරන නිවස මිලදී ගැනීම.


* බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පිහිටි 'නිව් බර්ග්' වතු යාය මිලදී ගැනීමට අදාළ ලේඛන ද නඩු භාණ්ඩ ලෙස නම් කර ඇත.


නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මීට පෙර අනාවරණය කර තිබුණේ, යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාලය තුළ (ඔහු 2006 දෙසැම්බර් 14 දින සේවයට බැඳී ඇත) මාසිකව ලැබුණු රුපියල් 73,000ක වැටුප ගිණුමෙන් පරිහරණය කර නොමැති බවයි. එමෙන්ම අනෙක් විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙස සේවය කළ කාලයේ ඇය ලැබූ මාසික වේතනය රුපියල් 300ක් වැනි මුදලක් බව ද පැමිණිල්ල පෙන්වා දී තිබේ. ඒ අනුව මෙම මිලියන ගණනක දේපළ උපයාගත් ආකාරය පිළිබඳව බරපතළ පරස්පරතාවක් පවතින බව පැමිණිලි පාර්ශවයේ ස්ථාවරයයි.

පැමිණිල්ලේ කරුණු දැක්වීම් සලකා බැලූ කොළඹ මහාධිකරණය, නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-Trial Conference) සඳහා යොමු කිරීමට නියෝග කළේය.

මෙම නඩු වාරය සඳහා පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා පෙනී සිටි අතර, පළමු විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද, දෙවැනි විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ද පෙනී සිටියහ.
 
 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...