The Leader News
BREAKING
Top Ad
පුවත්

සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි | 'පෞද්ගලික සමාගම් පාඩු ලබන්න සූදානම් නැහැ' - ජනාධිපති කියයි

T

The Leader Desk

March 22, 2026 • 5:16 AM

  සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි | 'පෞද්ගලික සමාගම් පාඩු ලබන්න සූදානම් නැහැ' - ජනාධිපති කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් වේ.
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 572කි.
  • ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් වන බව එම සමාගම නිවේදනය කරයි.
  • එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ යනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 572කි.

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් වන බව එම සමාගම නිවේදනය කරයි.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ යනු ඇත.

එහි නව මිල රුපියල් 382ක් වන අතර මෙම මිල ගණන් අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව සිනොපෙක් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකා අයි.ඕ.සී සමාගමත් ඉන්ධන මිල ඉහල දමයි

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන ගණන් ඉහළ දමා තිබේ.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 455කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

''පෞද්ගලික සමාගම් පාඩු ලබන්න සූදානම් නැහැ'' - ජනාධිපති

652678155 1520241016138789 152927060715173746 n
මේ අතර පසුගිය 20 දා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුයේ, පෞද්ගලික සමාගම් පාඩු ලබන්න සූදානම් නොමැති බවයි.

''අපිට තෙල් මිල ගැනත් ඉතා ඉක්මණින් තීරණයක් ගන්න වෙනවා. මොකද පෞද්ගලික සමාගම් දැන් තමන්ගේ ඕඩර්ස්වලට තෙල් දෙන්නේ නැහැ. මොකද ඔවුන් පාඩු ලබන්න සූදානම් නැහැ. තෙල් සංස්ථාවට පාඩු ලබන්න පුළුවන්. අපි බිලියන අටසිය ගණනක පාඩු ලබලා අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මිල පිළිබදව අපි තීරණයක් ගත යුතුයි.'' යයි ජනාධිපතිවරයා පැවසිය.

ඉන්දන අර්බුදය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද පැවසිය.

බොරතෙල් ප්‍රධාන ප්‍රශ්නයක්..

''බොරතෙල් අපට ප්‍රධාන ප්‍රශ්නයක්. බොරතෙල් අපිට එන්නෙ විශේෂයෙන්ම ෆුජේරා (Fujairah) කියන වරායෙන් තමයි අපිට බොරතෙල් නැව් පැමිණීමට නියමිතව තිබුණේ. ෆුජේරා වරාය හරහා මාර්තු මාසයේ 24, 25 වෙනකොට මෙට්‍රික් ටොන් 90,000 ක බොරතෙල් නැවක් එන්න තිබුණා. නමුත් ඔබ දන්නවා ෆුජේරා වරායට සිදුවූ විපත නිසා, එය දිගුකාලීන ටෙන්ඩරයක් වුණත්, ඔවුන් ඒක දින පස්සට දාලා තියෙනවා.

ඊළඟට තව ටෙන්ඩර් එකක් තිබුණා. එතැනත් මෙට්‍රික් ටොන් 90,000 ක් තිබුණා. ඒකත් අපිට තිබුණේ ෆුජේරා වලින්. ඒකත් අපිට ලැබෙන්නේ නෑ. එතකොට අපි බැලුවා බලශක්ති ප්‍රශ්න එනකොට කොහෙන්ද අපිට ප්‍රශ්න මතුවිය හැකි වන්නේ කියලා. පාර්ලිමේන්තුවේදී අපේ බලශක්ති ඇමතිතුමාත්, ඛනිජ තෙල් සභාපතිතුමාත් ඉතා පැහැදිලිව කිව්වා, ඉන්දියානු සමාගම් සහ සිංගප්පූරු සමාගම් අතර ඇතිකරගත් එකඟතාවයන් සහ ගිවිසුම් ප්‍රකාරව අපිට ඉන්ධන නැව් එනවා. එනම් අපට ප්‍රශ්න මතුවෙන තැන මොකක්ද? අර බොරතෙල් නැව් 2 නොලැබීම සහ බොරතෙල් ටික නොලැබීම තමයි අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

 ඒ අනුව අපි මාර්තු 5 වැනිදා - මතක තබාගන්න, යුද්ධයේ පළවෙනි දිනවලම, එනම් පෙබරවාරි 28 කියන්නේ යුද්ධයේ පළවෙනි දින වගේ නේද? එතකොට අපි මොකක්ද කළේ? මාර්තු 5 වැනිදා අපි ටෙන්ඩර් කැඳෙව්වා. අපිට අවශ්‍ය බලශක්ති සැපයුම සඳහා අපි දිගුකාලීන ටෙන්ඩර් ලබා දීලා තිබුණත්, මෙතන අර්බුදයක් මතුවිය හැකි නිසා අපි ටෙන්ඩර් කැඳෙව්වා. ඒ ටෙන්ඩර් අපි 17 වැනිදා විවෘත කළා. ඒකෙදි අපි බැලුවා මොකක්ද අපිට අර්බුදය මතු වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ පිරිපහදුව අපේ තෙල් අවශ්‍යතාවයෙන් 35% ක් නිෂ්පාදනය කරනවා. එහෙමනම් අපට බොරතෙල් සපයාගන්න එම කලාපයෙන් අසීරු නම් අපි කොහොමද කරන්නේ? පිරිසිදු කරපු තෙල් ආනයනය කිරීම තමයි විකල්පය. ඒ නිසා අපි මාර්තු 5 වැනිදා ටෙන්ඩර් කැඳෙව්වා. ඩීසල්, පෙට්‍රල්, දැවිතෙල්, ජෙට් ඒ-වන් සහ බොරතෙල් වලටත්, විශේෂයෙන් බොරතෙල් නැව් දෙකක් කැන්සල් වෙලා තිබුණු නිසා බොරතෙල් නැව් 02කට ටෙන්ඩර් කැඳෙව්වා. එම ටෙන්ඩරය 17 වෙනිදා විවෘත කළා.

ඩීසල් නැවක් අප්‍රේල් 06, 07 එනවා
පෙට්‍රල් නැවක් අප්‍රේල් 16,17 එනවා
ජෙට් ඒ-වන්නැවක් අප්‍රේල් 10,11 එනවා


ඒ අනුව ඩීසල් නැවක් සඳහා අපි ටෙන්ඩරය ප්‍රදානය කළා. එය අප්‍රේල් 06,07 එනවා.

ඉන්පසුව පෙට්‍රල් ටෙන්ඩරයක් ප්‍රදානය කළා. එය අප්‍රේල් 16,17 එනවා. දැවි තෙල් එකක් ප්‍රදානය කළා. ඒක අප්‍රේල් 12-13 එනවා.  ජෙට් ඒ-වන් ටෙන්ඩරයක් ප්‍රදානය කළා. එය අප්‍රේල් 10,11 එනවා. බොර තෙල් සඳහා එක ටෙන්ඩර්යක් අප්‍රේල්වලත්, දෙවැනි එක ජුනිවලටත් ලබා දී තිබෙනවා.

 අප්‍රේල්වලට බොර තෙල් සපයන්න පුළුවන් කියලා කිසිදු සමාගමක් ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි එක් සමාගමක් ඉදිරිපත් වී තිබෙනවා ජුනි මාසයේ බොර තෙල් නැවක් ලබා දෙන්න පුළුවන් කියලා. අපි එම ටෙන්ඩරය ප්‍රදානය කළා. ඒ වගේම මේ ටෙන්ඩරයේම දිගුවක් ලෙස 18 වෙනිදත් අපි නැවත ඩීසල් ටෙන්ඩරයක් ප්‍රදානය කළා. දැනට ඒ පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. අප්‍රේල් 7-8 වගේ එය අපට ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ වගේම ටෙන්ඩර්වල දිගුවක් හැටියට 18 වෙනිදාත් අපි නැවත ඩීසල් ටෙන්ඩරයක් ප්‍රදානය කළා. ඒක අපිට ලබාදෙන්න එකඟතාව පළ කර තිබෙනවා අප්‍රේල් මාසයේ 7, 8 වගේ දිනවල. එතනදී අපි බලන්නේ බොරතෙල් පිරිපහදුවෙන් අපිට අවශ්‍යතාවන් සපුරා ගන්න බැරිනම්, පිරිපහදු කරන ලද තෙල් ආනයනය කිරීම තමයි අපේ ප්‍රමුඛතාව බවට පත් කරගන්නේ. ඒ ප්‍රමුඛතාව අනුව අපි කටයුතු කරමින් තිබෙනවා.

අපේ සකස් කර තිබුණු බලශක්ති සැපයුම්වලට බාධා මතු වුණා

ඒ වගේම මේ අර්බුදය සහ ගැටුම නිසා අපේ සකස් කර තිබුණු බලශක්ති සැපයුම්වලට බාධා මතු වුණා. අපිට බොරතෙල් නැව් දෙකක් (මෙට්‍රික් ටොන් 90,000 බැගින්) එන්න තිබුණේ. ඊට අමතරව අපිට පෙට්‍රල් සහ ඩීසල් නැවක් එන්න තිබුණා, ඒක කල් ගියා. ඊළඟට පුද්ගලික සමාගමකින් ගේන එකක් තිබුණා. පෙට්‍රල් සහ ඩීසල් එකතු වෙච්චි මෙට්‍රික් ටොන් තිස් පන්දහසක නැවක් ටිකක් පස්සට ගියා. ඒත් අපි බැලුවා මේ හිඟයට අවශ්‍ය වෙන තැන් ටික අපි පුරවා ගන්නේ කොහොමද කියලා.

එක පාරටම අපිට විශාල තොග ගේන්න පුළුවන්ද? විශාල තොග ගෙනැවිත් ලොකුවට තියාගන්න බැහැනේ. කොහොමද අපි එක නැවක් වරායෙන් තෙල් ටික බාලා යනකොටම අනිත් නැව එන්න සලස්වන්නේ? සාමාන්‍යයෙන් තෙල් නැවක් බාන්න දින 08ක් විතර යනවා. ඒ දින අට යනකම් අපිට එතැන බ්ලොක් වෙලා තියෙන්නේ, වෙන කාටවත් ගේන්න බෑ. ඒ නිසා මේ නැව් ටික ඉතාමත් හොඳින් පෙළගස්වලා, හිස්වන තැන කොතැනද බලමින් අපි වැඩ කරමින් ඉන්නවා.

දේශපාලන මැදිහත්වීමක් නෑ - 'විවිධ සමාගම්වලට පුළුවන් ඉල්ලුම් ඉදිරිපත් කරන්න'

අලුත් ටෙන්ඩර් හරහා අපි උත්සාහ කළා මේ අවස්ථා මඟහරවා ගන්න. මාර්තු 5 තමයි අපි ටෙන්ඩර් කැඳෙව්වේ. ඉතාමත් පූර්ව සූදානමකින් යුතුව. අපි දැක්කා කොතැනද අර්බුදය මතු වෙන්න පුළුවන් කියලා. ෆුජේරාවලින් එන බොරතෙල් නැව් දෙකේ අර්බුද මතු විය හැකි බව අපි තේරුම් ගත්තා. මේ බොරතෙල්වලින් තමයි අපිට අවශ්‍ය දැවිතෙල්, ජෙට් ඒ-වන්, ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් නිෂ්පාදනය කරන්නේ. මේ පහටම අවශ්‍ය ටෙන්ඩර් අපි මාර්තු 5 කැඳෙව්වා. එහෙම නම් අපි මේ අර්බුදය දෙස කල්තියා බලලා නැද්ද? කල් තියා බලලා අපි එම පියවර ගත්තා.

අපි දන්නවා ලෝකයේ මෙවැනි තත්ත්වයකදී බ්ලැක් මාර්කට් එකක් හැදෙනවා. ඒක තමයි ස්වභාවය. අපේ පළවෙනි අවශ්‍යතාව බලශක්තිය අඛණ්ඩව සැපයීමයි. බිඳ වැටීමකින් තොරව බලශක්තිය සැපයීම අපේ අරමුණයි. ඒ සඳහා දෙවැනි පියවර හැටියට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල තීරණයක් ගත්තා විශේෂ කමිටුවක් පත් කරන්න. විවිධ සමාගම්වලට පුළුවන් ඉල්ලුම් ඉදිරිපත් කරන්න. මේ කමිටුවට දේශපාලන මැදිහත්වීමක් නෑ. අදාළ රාජ්‍ය නිලධාරීන් එක්ක ඒක විමර්ශනයක් කරලා, ඒ සමාගම්වල පිළිගත හැකිභාවය, මූල්‍ය වටිනාකම, අපිට අවශ්‍ය දිනයට එනවාද කියන එකත් වැදගත් අවධානයකට ලක් කරලා බලනවා. වරායේ ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ නිශ්චිත දිනවලට විතරයි. ඒවාට ගැළපෙන නැව්වලට අපි අවසර ලබා දෙන්න ලෑස්ති කළා. ඒ අනුව යෝජනා කීපයක් ආවා. දැන් කමිටුව ඒ ගැන සලකා බලමින් යනවා. ඒ අනුව අපිට බොරතෙල් නැවකටත් අවසර ලබාදීමේ හැකියාව තියෙනවා. ආසන්න වශයෙන් 12 වැනිදාට කලින් බොරතෙල් නැවක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි.

මේ විකල්ප සියල්ල එකවර සාර්ථක වුවහොත් අතිරික්තයක්ද විය හැකියි. නමුත් අපි ඒ අවධානම ගන්නවා. නමුත් මින් එකක් හෝ අසාර්ථක වුවහොත් හිඟයක් ඇති විය හැකියි. අතිරික්තයට වඩා අපට හානිකාර වන්නේ හිඟයක් ඇති වීමයි. නැව් කීපයක් වරායේ හිර වෙන්න පුළුවන්. ඩෙමරේජ් ගෙවන්න වෙයි. නමුත් අපි ඊට සූදානම්. මම මේවා දැන්මම කියන්නේ පස්සේ කියන්නෙපා නැවක් ගෙනල්ලා දවස් ගානක් තියාගෙන සල්ලි ගෙව්වා කියලා.

ගත හැකි සෑම විකල්ප ක්‍රියාමාර්ගයක්ම අපි අරගෙන තිබෙනවා

යුද්ධයේ ස්වභාවය ගැන කාටවත් ගණනය කළ නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ නිසා ගත හැකි සෑම විකල්ප ක්‍රියාමාර්ගයක්ම අපි අරගෙන තිබෙනවා. මීට සමගාමීව අපි අපනයනකරුවන් මුණ ගැසී සාකච්ඡා කළා. පෞද්ගලික සමාගම් 5ක් බංකරින් කරනවා. 


අපනයන කර්මාන්තරුවන්ට ඉන්ධන සපයා දෙන්න ඔවුන්ට හැකි බව ඔවුන් දැන්නුවා. අපි ඔවුන්ට ක්ෂණිකව බලපත්‍ර නිකුත් කළා. පොදුවේ වෙළෙඳපොලට නිකුත් කිරීමට ඔවුන්ට අයිතියක් නැහැ. නමුත් පෙරේදා සිට අපනයනකරුවන්ට අවශ්‍ය වන ඉන්ධන සැපයීමට ඔවුන් කටයුතු කරනවා. පෞද්ගලික සමාගමකට මිලදී ගැනීමට අපිට වැඩිය පහසුයි. ඔවුන් වග කියන්නේ ඔවුන්ටම පමණයි. අපි ඔබලාටත් එක්ක වගකිව යුතුයි. ඒ නිසා පෞද්ගලික සමාගම් වේගයෙන් ඒවා ගෙනවිත් තිබෙනවා. ඒ අනුව ඔවුන් අපනයනකරුවන්ට අවශ්‍ය ඉන්ධන සපයමින් සිටිනවා.

''රුසියාවෙන් තෙල් ලබා ගැනීමටත් අපිට අවශ්‍යයයි''

ඊළඟට අපි කල්පනා කළා රාජ්‍යයන්- රාජ්‍යයන් අතර කොහොමද කටයුතු කරන්නේ කියලා.  රුසියාවට ඒ පිළිබඳ සම්බාධක තිබුණා. එය ඉවත් වුනේ 11 වෙනිදා. මම දැක්කා සමහර අය කියනවා අපට රුසියාවත් සමඟ යන්න බැරි වුනාද කියලා. තේරුම් ගන්න. අපේ අපයනවලින් 25%ක් තියෙන්නේ එක්සත් ජනපදයේ. ඔබට මතක ඇති අපි අසල්වැසි රාජ්‍යයන්ට පවා ටැරිෆ් පිළිබඳ මතුවූ ප්‍රශ්නයේදී රුසියාවත් සමඟ තිබෙන ගනුදෙනුව යම් ප්‍රමාණයකට අඩාල කිරීමට සිදු වුණා. ඒ නිසා අප ප්‍රවේශම්කාරී විය යුතුයි. ටැරිෆ් පිළිබඳ ප්‍රශ්නයේදී මෙතන කොතරම් හඬ නැගුවද? එතකොට මුළුමණින්ම ව්‍යාපෘතිය එක්සත් ජනපදය හිතවත් කර ගෙන ඒක බේර ගත්තේ නැත්තේ ඇයි කියන එක.

 දැන් ව්‍යාපෘතිය වන්නේ රුසියාව හිතවත් කර ගෙන මේක බේර ගත්තේ නැත්තේ ඇයි කියන එක. මේ පාර්ලිමේන්තුවේ විවිධ අදහස් ප්‍රකාශ කරනවා. එය විහිළුවක් මේ ටැරිෆ් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා වෙමින් තිබෙනවා. විපක්ෂය ඉන්නේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි අද. පාර්ලිමේන්තුවෙන් එළියේ ඔබ සමඟ එකට වාඩි වන විපක්ෂය ඉන්නවා. එහෙම තියපු මාධ්‍ය සාකච්ඡාවක රුසියාව ගැන කියපු අයත් වාඩි වී සිටියා.

එසේ නම් ටැරිෆ් ප්‍රශ්නය විසඳා ගැනීමට වගේම රුසියාවෙන් තෙල් ලබා ගැනීමටත් අපිට අවශ්‍යයයි. ඒ සඳහා අපිට විවෘතව අවස්ථාව ලැබුණේ 11 වෙනිදායි. අපි එතැන් සිට සාකච්ඡා කිරීම ආරම්භ කළා. ඒ සාකච්ඡාවල යම් ප්‍රගතියක් තිබෙනවා. ඒ ප්‍රගතිය පිළිබඳ වාර්තා ඉතා ඉක්මණින් ඔබ හමුවේ තැබීමට හැකියාව ලැබේවි. ඒ අනුව බලශක්ති ක්ෂේත්‍රයේ ඇති විය හැකි ගැටළුව පාලනය කිරීම සඳහා රජයක් ලෙස ගතහැකි, ගත යුතු සියලු ක්‍රියාමාර්ග නිශ්චිත මොහොතේ ගෙන තිබෙන බව මම වගකීමෙන් කියනවා.

මීළඟ ප්‍රධාන ප්‍රශ්නය මිල පිළිබඳ ප්‍රශ්නයයි..

මීළඟ ප්‍රධාන ප්‍රශ්නය මිල පිළිබඳ ප්‍රශ්නයයි. මිල උච්ඡාවචනය වීමට හේතු කිහිපයක් බලපානවා. ඩොලරයේ අගය ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපානවා. ඩොලරයේ අගය ඉහළ ගියහොත් අපේ ඉන්ධන මිල ඉහළ යනවා. දෙවනි කාරණය ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියහොත් අපේ ඉන්ධන මිල ඉහළ යනවා. ඊට අමතරව බදු තිබෙනවා.

2022 සහ 2023 සමයේ බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය මතු වුණේ ලෝක පරිමාණයෙන් බලශක්ති මිල ඉහළ යාම හේතු කොට ගෙන නෙවෙයි. ප්‍රධාන ප්‍රශ්නය වුණේ ඩොලරයේ අගය ඉහළ යාමයි. උදාහරණයක් ලෙස කියනවා නම් ඩොලරය රුපියල් 185ක් වූ අගය 372 දක්වා ඉහළ ගියා. හැබැයි බ්ලැක් මාර්කට් එකේ 400 දක්වා ඉහළ ගියා. එදා ඉන්ධන මිල පෙට්‍රල් ලීටරයක් රු. 137 සිට රු. 420 දක්වා වැඩි වුණා. එසේ නම් ලෝක වෙළෙඳපොලේ මිල උච්ඡාවචනය වීම නෙවෙයි බලපෑවේ ඩොලරයේ අගය රුපියල් 185 සිට 372 දක්වා වැඩි වීමයි.

95 පෙට්‍රල් රු. 160 සිට රු 450 දක්වා 279%කින් ඉහළ ගියා. සාමාන්‍ය ඩීසල් රු. 104 සිට රු. 400 දක්වා වැඩි වුණා. ඒ අනුව ඉන්ධන මිල ඉහළ යන එක හේතුවක් තමයි ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම කියන එක පැහැදිලියි. ඒ පිළිබඳ අපිට මෑතකාලීන අත්දැකීමක් තිබෙනවා. හැබැයි දැන් අර්බුදය මතු වී තිබෙන්නේ ලෝක පරිමාණයෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසයි. 92 පෙට්‍රල් මාර්තු 02 වනදා සිට මාර්තු 18 දක්වා 55%කින් ඉහළ ගොස් තිබෙනවා. 95 පෙට්‍රල් 65%කින් ඉහළ ගොස් තිබෙනවා. ඩීසල් මිල මාර්තු 02 වනදා 114යි. මාර්තු 18 – 195යි. 74%කින් ඉහළ ගොස් තිබෙනවා.

කෘඩ් ඔයිල් ඩොලර් 81 සිට 114 දක්වා 40%කින් ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය සරල සූත්‍රයක් මම කියන්නම් තෙල් මිල ගණනය කරන්න. ලෝක වෙළඳපොලේ තෙල් මිල ඩොලර් 1 කින් වැඩි වුණොත්, අපේ වෙළඳපොලේ තෙල් මිල රුපියල් 2 කින් වැඩි වීමේ බලපෑමක් ඇති කරනවා. ඒක ගණනය කරන්න අමාරු එකක් නෙවෙයි. එතකොට දැන් බලන්න, ලෝක වෙළඳපොලේ ඩොලර් ගණනාවකින් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එනම් අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකින් රුපියල්වලින් තෙල් මිල ඉහළ යා යුතුද කියලා.

ඔබ අපනයනකරුවන්ගෙන් අහන්න, අර බංකරින් කරන සමාගම් අපනයනකරුවන්ට ඉන්ධන දෙන්නේ කීයටද කියලා. ඒකෙන් දැනගන්න පුළුවන් මාකට් එකේ ඇත්ත මිල මොකක්ද කියලා. ඒ නිසා මේ අවස්ථාවේ ඉන්ධනවල මිල ඉහළ යාම විසින් අපිට විශාල බලපෑමක් සහ ප්‍රශ්නයක් මතුකර තිබෙනවා.

ඩොලර් 2.5 ට තිබුන ප්‍රිමියම් එක දැන් ඩොලර් 40 කට යනවා...

අපි දිගුකාලීන ටෙන්ඩර් ලබාදීලා තිබෙන්නේ ප්‍රිමියම් එක ඩොලර් 2.5යි. සාමාන්‍යයෙන් ඩොලර් තුනට වඩා අඩුයි. හැබැයි දැන් ප්‍රිමියම් එක ඩොලර් 40 කට යනවා. ඇයි ඒ? ඔවුන්ට ඔවුන් පිළිබඳ ආරක්ෂාවක් අවශ්‍යයි. විවිධ රාජ්‍යයන්වල, විවිධ සමාගම්වල පොරබැදීමක් තිබෙනවා. සමහර ප්‍රිමියම් එක ඩොලර් 31, 35, 45 වගේ  ගිහින් තියෙනවා. එතකොට ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමත්, ප්‍රිමියම් අගය ඉහළ යාමත් විසින් අපේ ඉන්ධන වෙළඳපොළට කොච්චර බලපෑමක් සිද්ධ වෙනවාද කියලා කල්පනා කරන්න.

ඒ අනුව ලෝකේ පුරා රටවල් තමන් තෙල් මිල වැඩි කිරීම පිළිබඳව තීරණයක් අරන් තිබෙනවා. ඒ අනුව ආසන්න වශයෙන් ගත්තොත් 6% සිට 50% දක්වා තෙල් මිල වැඩි වීමක් සිදු වෙලා තිබෙනවා. සමහර රාජ්‍යයන් 6%යි,  උපරිම වශයෙන් ගත්තොත් මේ වන විට 50% කින් තෙල් මිල ඉහළ ගිය රාජ්‍යයන් තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ තෙල් වැඩි වෙලා තිබෙන්නේ 8%ක සාමාන්‍යය අගයකින්.

''තෙල් නිෂ්පාදනය කරන රටවල් හැරෙන්න අනික් සියලුම රටවල් තෙල් මිල වැඩි කර තිබෙනවා''

හැබැයි ලෝකයේ 49%ක් දක්වා වැඩිවීමක් වෙලා තිබෙනවා. තෙල් නිෂ්පාදනය කරන රටවල් හැරෙන්න අනික් සියලුම රටවල් තෙල් මිල වැඩි කර තිබෙනවා. එතකොට දැන් අපි තෙල් මිල පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. අපේ තෙල් සැපයුමෙන් 57% ක් සපයන්නේ තෙල් සංස්ථාවයි. තෙල් සංස්ථාව විතරක් අපේ අතේ තිබුණා නම්, මේ වෙලාවේ පාඩු ලබලා අනිත් වෙලාවට ලාභ ලබනවා කියලා අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන්. හැබැයි අපේ තෙල් වෙළෙඳ පොළෙන් 43%ක් තිබෙන්නේ පෞද්ගලික අංශයේ. පෞද්ගලික අංශය කුමක්ද කියන්නේ? ඔවුන් කියනවා මේ මොහොතේ ගෙන්වන තෙල්වලට මේ මොහොත් වෙළෙඳ පොළට දාන විට ඒ මිල දෙන්නේ නැත්නම් තෙල් ගෙන්වන්නේ නැහැ කියනවා. ඒක සාධාරණයි. ඔවුන්ගේ ඔවුන්ගේ ගණනය කිරීම්වලට අනුව එක නැවකින් ඔවුන්ට සිදුවන පාඩුව ඩොලර් මිලියන 55 ක්. එහෙම පාඩු ලබන්න කවුරුත් තෙල් ගෙන්නේ නැහැ.

තෙල් සංස්ථාවට විතරක් තෙල් වෙළෙඳ පොළ තිබුණා නම් අපට මේක කළමනාකරණය කර ගන්න පුළුවන්. ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙච්ච වෙලාවට ටිකක් අඩුවට විකුණලා, අඩු වෙන වෙලාවට ටිකක් වැඩියෙන් විකුණලා බැලන්ස් කරගන්න පුළුවන්. එහෙම කරලා, අවුරුද්ද අන්තිමට ලාභ පාඩු ගණනය කරන්න පුළුවන්. එහෙනම්, අපේ ඉන්ධන සැපයුමට එම පෞද්ගලික සමාගම්වල දායකත්වයත් අවශ්‍යයි. ඔවුන් දායකත්වය ලබා දෙන්නේ කොහොමද? තමන්ගේ පිරිවැයට අනුව විකුණ ගන්න අවස්ථාව ලැබුණොත් විතරයි. ඒ නිසා මම හිතන්නේ ඉන්ධන මිල පිළිබඳව අපි ඉතා ඉක්මණින් සැලකිල්ලට ලක් කළ යුතුයි.

දැන් අපේ පනත අනුව දැනට ප්‍රශ්නයක් තිබෙනවා

ඒ කියන්නේ සමාගම්වලට අවසර දීලා තියෙනවා, ගිවිසුම් හරහා ඔවුන්ට මිල වැඩි කරන්න. හැබැයි ඛනිජ තෙල් පනතට  අනුව, උපරිම මිල තීරණය කිරීමේ බලය පැවරී තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට. අපි මේ සමාගම් එක්ක ගිවිසුම්වලට ගියාට, පනතේ අවශ්‍ය සංශෝධන කරලා නැහැ. උපරිම මිල තීරණය කළ යුත්තේ ඛනිජ තෙල් සංස්ථාවයි. නමුත් ගිවිසුමේ තියෙනවා ඔවුන්ට මිල තීරණය කළ හැකියි කියලා. අපි ඒ පිළිබඳව දැඩි සැලකිල්ලට භාජනය කරමින් ඉන්නවා. හැබැයි මම හිතනවා, තෙල් සංස්ථාවයි පෞද්ගලික සමාගම් අතරයි මිල පරතරය  රුපියල් 100 ක්, 150 ක් වුණොත් මොනවා වෙයිද? එතකොට පුරවැසියන්
පෞද්ගලික සමාගම් වෙත ගලාගෙන යන්නේ නැහැ.

 වෙළඳ පොළේ මිල වැඩිවීම අනුව රුපියල් 100 ක - 150 ක විතර පරතරයක් හැදෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් පෞද්ගලික සමාගම් වෙත කවුරුත් යන්නේ නැහැ. රුපියල් 100-150ක් කියන්නේ අධික ගණනක්. ඒ නිසා  පැය හයක් හතක් හරි ඉදලා ඛනිජ තෙල් සංස්ථා පෝලිමටම එනවා. ඒ නිසා අපි මේ දෙක අතර පරතරය අඩු කරගන්න බලන්න ඕන.

බදුවලින් සහනයක් දුන්නොත් මොකද වෙන්නේ?

ඒ වගේම අපි තව කාරණයක් කල්පනා කළා. අපේ තෙල්වලින් ලැබෙන බදු ආදායම මාසෙකට රුපියල් බිලියන 20 යි. ගිය අවුරුද්දේ ඩීසල් සඳහා බද්දෙන් රුපියල් බිලියන 240ක ආදායමක් ඇවිත් තිබෙනවා. හොඳින් තේරුම් ගන්න 2023 වසරේදී රුපියල් බිලියන 884 ක් තෙල් සංස්ථාවේ ණය මහා භාණ්ඩාගාරයට අරන් තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට රුපියල් බිලියන 884ක, පොළිය බැලුවාත් පොලිය විතරක් ගෙවන්න අවුරුද්දකට බිලියන 100 ක් අවශ්‍යයි. ඒ නිසා බදුවලින් යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරයට එනවා. අපි බලනවා මේ බදුවලිනුත් යම් සහනයක් ජනතාවට ලබා දෙන්න,  සමහරු එකඟ නැහැ. බොහෝ අය කියන්නේ කුමක්ද? බදුවලින් සහනයක් දුන්නොත් මොකද වෙන්නේ? වැඩියෙන් තෙල් ගහන කෙනාට වැඩියෙන් වාසියක් එනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අපේ ප්‍රතිපත්තිය ගත්තොත්, ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබා දිය යුතුයි.

තෙල් මිල මාකට් එකේ මිලට යනවා. ඉලක්ක සහගත ප්‍රජාවට සහන ලබා දෙනවාද? ඒක තමයි හොඳම. නමුත් ඔවුන්ට ලබාදීම සංකීර්ණයි. මොකද විධිමත්ව වරායෙන් පිටත්ව යන බෝට්ටුවලට ඉන්ධන සැපයීමට හැකියි. නමුත් ධිවර වරායෙන් පිටත බෝට්ටු රැසක් තිබෙනවා. ඒ අයට කොහොමද සහන දෙන්නේ.  පාරේ චූන් පාන් ගෙනියන අයටත් සහන ලබා දෙනවාද?  නමුත් ඔවුන් කොතැනද ලියාපදිංචි වී තිබෙන්නේ. අවිධිමත් ආර්ථිකය විශාලයි. ඒ වගේම සංකිර්ණයි. තොරතුරු නැහැ. ඒ නිසා විධිමත් ආර්ථිකයට සහන දෙන්න පුලුවන් නම් හොඳයි. විධිමත්ව ධීවර වරායේ ලියාපදිංචි වුණ ධීවරයින්ට සහනයක් දෙන්න පුලුවන්. නමුත් අවිධිමත් ආර්ථිකය ජීවනෝපාය කරගත් පිරිසටත් සහනයක් අවශ්‍යයි.  ඒක සංකීර්ණයි. ඒ නිසා අපි මේ දෙකම ගැන කල්පනා කරනවා.

පෞද්ගලික සමාගම් පාඩු ලබන්න සූදානම් නැහැ...

ඒ සමග තමයි අපිට ඊළග තෙල් මිල ගැනත් කල්පනා කරන්න වෙන්නේ. ඒ තිරණය ඉතා ඉක්මණින් ගන්න වෙනවා. මොකද පෞද්ගලික සමාගම් දැන් තමන්ගේ ඕඩර්ස්වලට තෙල් දෙන්නේ නැහැ. මොකද ඔවුන් පාඩු ලබන්න සූදානම් නැහැ. තෙල් සංස්ථාවට පාඩු ලබන්න පුළුවන්. අපි බිලියන අටසිය ගණනක පාඩු ලබලා අත්දැකීම් තිබෙනවා. ඒ නිසා මිල පිළිබදව අපි තීරණයක් ගත යුතුයි. එතනදී තමයි QR කේතය වැදගත් වෙන්නේ. ඒක අප්‍රේල් 01වැනිදා වන විට ක්‍රියාත්මක නොවුණා නම් මාර්තු 27,28 ව න විට ෂෙඩ්වල මිනිස්සු ගහ ගන්නවා. ඒ නිසා අපි QR කේතය ක්‍රියාත්මක කිරිම ආරම්භ කළා. ඒක ආරම්භ කළේ ෂෙඩ් වහලා නෙවෙයි. ඉන්ධන සැපයුම නවත්තලා නෙවෙයි.

ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්න පොඩි කාලයක් ගත වුණා. දැන් ඒක සියයට සීයක් සම්පූර්ණ වෙලා කියලා ඩිජිටල් අමාත්‍යංශය කියනවා. මේ තත්ත්වය තුළ ෂෙඩ්වල කවුරුහරි හොරාට වැඩිපුර තෙල් දෙනවා නම් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනව. ඒ වගේම තෙල් එකතු කර ගබඩා කරගෙන ඉන්නවා නම් කවුරු හරි පුරවැසියෙක් ඒවා වටලන්න උපදෙස් දී තිබෙනවා.  පාතාල ආර්ථිකයකට අපි ඉඩ දෙන්නේ නැහැ. බලශක්තිය අඛන්ඩව සැපයීම තමයි අපේ බලාපොරොත්තුව.

අපේ ආර්ථිකයේ අනෙක් පැත්ත හැකිලීමේ අවධානම ...

තෙල් මිල ලෝක වෙළඳපොළේ මිලටම ගැලැප්පුවොත් අපේ ආර්ථිකයේ අනෙක් පැත්ත හැකිලෙනවා. එතකොට එතනින් එන බදු ආදායම වැටෙනවා. අපිට තෙල් මාර්කට් එකෙන් එන්නේ බිලියන විස්සයි මාසෙකට. ඒක අපි හිලව් කරනවාද අනෙක් පැත්තෙන් එන ආදායම රැකගන්න. මේක යම් ප්‍රමාණයක් කප්පාදු කර දෙපැත්තම සක්‍රියව දුවන්න අවස්ථාව හදනවාද? කියලා කල්පනා කරලා තීරණයක් ගත යුතුයි. අපි ඒ ගැන සමාලෝචනය කරමින් ඉන්නවා. ඉක්මනින්ම ඒ ගැන අවසන් තීරණයක් ගන්නවා.

ඒ වගේම තමයි ගෑස් සැපයුම. අපේ මාර්කට් එකෙන් වැඩිම ගෑස් කොටසක් සපයන්නේ ලිට්‍රෝ සමාගම. එයට  ගෑස් සපයන්නේ එක් සමාගමක් පමණයි. ඒ වගේම  පුද්ගලික මාර්කට් එකෙන් නිකුත් කරන කෙනෙකුත් ඉන්නවා. අපේ මේ සැපයුම් ජාලයේ කාටල හැදිලා තිබුණා. ඉන්ධන සැපයීම, ගෑස් සැපයීම, පාස්පෝට් හැදීම, රියදුරු බලපත්‍ නිකුත් කිරිම. මේ  හැම තැනකටම කාටල තිබුණා. එකම සැපයුම්කරු අවුරුදු විස්ස තිහ සැපයුම් කරලා. මේවා දේශපාලන අධිකාරියේ ආශිර්වාදය ඇතිව රාජ්‍ය නිලධාරින් හා සමාගම් එක්ව සකස් කරගෙන තිබෙනවා. අපි මේ කාටල බිඳිනවා.  

ඒ නිසා මොකද වෙන්නේ ? මේක වෙනස් කරපු ගමන් මේ කාටලවලින් පොඩ්ඩක් එහා මෙහා ගිය ගමන් කෑ ගහනවා. මුදල් දීලා කෑ ගස්සනවා. මේවට සම්බන්ධ නිලධාරීන් ඇතුලෙත් තොරතුරු දීලා වැරදි මත හදනවා. ගෑස් හිඟයක් ඉන්ධන හිඟයක් ගැන ප්‍රශ්න ඇති කරනවා. පාස්පෝට් අර්බුද හදනවා. මේ කාටල දේශපාලන ව්‍යාපාර අල්ලගෙන ඉන්නවා. මාධ්‍ය  ආයතනවලට පොම්ප කරනවා. කලු ව්‍යාපාරිකයෝ අල්ලගෙන ඉන්නවා. රාජ්‍ය නිලධාරින්ට පොම්ප කරනවා. මේක තමයි ඇත්ත කතාව. නමුත් අපි මේක බිඳිනවා. අමාරුයි තමයි. අර සුව පහසුව නැහැ. නමුත් කාටල නොකැඩුවා නම් අද ගෑස් නැහැ.  

ඒ වගේම සැපයුම් ජාලය එක කලාපයකට සීමා නොවී විවිධ කලාපවලින් ලබාගන්න සැපයුම් ජාලයේ විවිධාංගිකරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එවිට මොන කලාපයේ මොන අර්බුදයක් ආවත් අපිට ගැටලුවකින් තොරව කටයුතු කළ හැකියි.''



සබැඳි පුවතක් :

සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට : පෞද්ගලික බස් රථ ධාවනය අද (22) ඇනහිටින ලකුණු !

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 600 සීමාවට ළං වෙයි | 'පෞද්ගලික සමාගම් පාඩු ලබන්න සූදානම් නැහැ' - ජනාධිපති කියයි | The Leader