1200 x 80 DMirror
 
 

රජය ආර්ථිකය මැනැවින් නියාමනය කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු.
නියාමනය යනු විද්‍යාත්මක කාර්යයකි. එහිදී තීරණ ගතයුත්තේ දැනුම මත පදනම් වී මිස ඕපාදූප මත පදනම් වී නොවේ.
 
අපට කටුපොල් සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් හෝ විරෝධයක් හෝ නැත. 
 
කෙසේ වෙතත්, 1960 දශකයේ පමණ සිට ලංකාවේ කටුපොල් වගාව ව්‍යාප්ත වෙමින් තිබේ. කටුපොල් ලංකාවේ තෙත් කලාපය තුළ ඉතා පහසුවෙන් වැවෙන බෝගයකි. වැටුණු කටුපොල් ඇට තැන තැන පැළවී තිබෙනු තෙත් කලාපයේ සුලබ දර්ශනයකි. කටුපොල් ඉබේ වැවෙන්නේ හොඳින් දියසීරාව ඇති තැන්වලය. ඒ ගසට හොඳින් ජලය අවශ්‍ය බව එයින් නිගමනය කළ හැකිය. 
 
එහෙත්, කටුපොල් වැවූ පමණින් තෙත් කලාපයේ ජල මූලාශ්‍ර සිඳී යන බවට කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයක් මගින් සොයාගෙන ඇති බවක් නොපෙනේ.
 
පාම් ඔයිල් කර්මාන්ත සංගමය (POIA) පවසන පරිදි කටුපොල් හෙක්ටෙයාරයකට අවශ්‍ය ජල ප්‍රමාණය දිනකට ලීටර් 34,680කි. රබර් හෙක්ටෙයාරයකට දිනකට ලීටර් 31,500ක් අවශ්‍යය. කටුපොල් වගාකර තිබෙන තෙත් කලාපයෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3,500ක් පමණ වන අතර කටුපොල් වගාව සඳහා අවශ්‍ය වන්නේ මිලිමීටර් 1,300ක වර්ෂාපතනයක් පමණි.
  
ඕනෑම බෝග වගාවක් වෙනුවෙන් ස්වාභාවික වනාන්තර කපා දමා බිම සැකසූ විට එය ජල උල්පත් සිඳීයාමට, ජෛව විවිධත්වයට හානි පැමිණීමට හා පහත දැක්වෙන චක්‍රලේඛයේ දැක්වෙන පරිදි ජන ජීවිතයට බාධා එල්ලවීමට ද හේතු වේ. 
 
මෙය තෙත් කලාපයේ වවන තේ හා රබර්වලට ද අදාළය. තේ වගාව ප්‍රබල ලෙස පසට බලපෑම් කරයි.
 
පාම් ඔයිල් කර්මාන්ත සංගමය (POIA) ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකාවේ කටුපොල් වගා කර ඇති බිම් ප්‍රමාණය තේ, රබර්, පොල් වගා කර තිබෙන බිම් ප්‍රමාණයෙන් 1%කට ආසන්න ප්‍රමාණයකි. 1968දී ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙණිය වත්තෙන් ආරම්භ වූ කටු පොල් වගාව  තවමත් වගාකර තිබෙන්නේ හෙක්ටෙයාර් 9,000ක පමණි. හෙක්ටෙයාර් 202,000ක් තේ ද, 136,000ක් රබර් ද වගා කර ඇත.
  
2018 වසර වන විට ශ්‍රී ලාංකිකයන්ගේ ඒක පුද්ගල ආහාර තෙල් පරිභෝජය වසරකට කිලෝග්‍රෑම් 10.4කි. වසරකට ආහාර තෙල් මෙට්‍රික් ටොන් 160,000ක් අවශ්‍යය. පොල්තෙල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 44,000ක් පමණි. 
 
Prof Ashoka Nශ්‍රී ලංකාවේ පාම් ඔයිල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18,000කි. පාරිභෝජනය, කර්මාන්ත හා වෙනත් අවශ්‍යතාවන් සඳහා 2017 වසරේදී ශ්‍රී ලංකාව මෙට්‍රික් ටොන් 230,000ක් ආනයනය කළාය. මේ සංඛ්‍යාලේඛනවල දැන් ලොකු වෙනසක් සිදුවී ඇතැයි අපි නොසිතමු.
 
 කටු පොල් හෙවත් ඔයිල් පාම් (Elaeis guineensis) යනු ලොව එළවළු තෙල් නිෂ්පාදනයෙන් 40%කට යොදාගන්නා භෝගය බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අසෝක නුගවෙල 2020 ජනවාරි මාසයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසී ය. 
 
ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එළවළු තෙල් මෙට්‍රික් ටොන් 240,000ක් පමණ පරිභෝජනය කරන බව ද, වසරක් පාසා එම ඉල්ලුම වැඩි වන බව ද ඔහු පැවසී ය. ඒ අතරින් ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 23,000ක් පමණි. ඉතිරිය ආනයනය කෙරේ.
 
 
 
කටුපොල් වගාවට යොමුවන්නට හේතු  ?
 
සමාගම් කටුපොල් වගාවට යොමුවන්නට හේතු කිහිපයක් තිබේ. 
 
# කටුපොල් සඳහා පොහොර, කෘෂි රසායනික හා ශ්‍රම අවශ්‍යතාව තේ හා රබර්වලට සාපේක්ෂව අඩුය. ඒ නිසා කටුපොල් වගාව ලාභදායීය. 
 
 
# එපමණක් නොව, තේ, රබර් මෙන් නොව, කටුපොල් සොරකම් කර සොරුන්ට වැඩක් නැත. ඒ නිසා මුර කරන්නට ද අවශ්‍ය නැත. 
 
 
# කටුපොල් ශාඛය වසර 30ක් පමණ කල් පවත්නා ලාභදායී වැවිලි භෝගයකි. 
 
 
# එසේම, රබර් සම්බන්ධයෙන් පවතින උච්චාවචනයන් හේතුවෙන් මෑත යුගයේදී රබර් වතුවල කටු පොල් වගාව ව්‍යාප්ත විය. 
 
 
මෙම කර්මාන්තය තුළ 13,000ක් සේවකයන් රැකියාවල යෙදී සිටින බව පාම් ඔයිල් කර්මාන්ත සංගමය පවසයි.
 
 oil palm circular 1 1

oil palm circular 2

 
ජනාධිපතිවරයා කටුපොල් උදුරා දමන්නට ගැසට් නිකුත් කරන්නේ කවුරුන් වෙනුවෙන්ද? ලොව පුරා ම කටු පොල් වගාව කෙරෙහි විරෝධයක් ඇත. 
 
එහෙත්, ඒ විරෝධයට මූලික හේතු වන්නේ වැසි වනාන්තර විනාශය, ඔරංඋටං වැනි වන සත්ව වර්ග සංහාරය, අධික කෘෂි රසායනික භාවිතය නිසා ජලය විෂ වීම, ශ්‍රම සූරාකෑම වැනි කාරණා ය. 
 
ජාත්‍යන්තර ව්‍යාපෘති සමග සම්බන්ධ සංවර්ධන විරෝධී රාජ්‍ය නොවන සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ කටු පොල් විරෝධය ව්‍යාප්ත කරන ලදී. ඒ ව්‍යාපෘති අවශ්‍යතා වෙනුවෙනි.
  
Katupol
 
ලංකාවේ කටුපොල් වවන්නේ ප්‍රධාන වශයෙන්ම කලින් රබර් වගා කළ භූමිවලය. මෙරට ඔරං උටන් නැත. රබර් වතුවල කොහොමත් සතුන්ට ආහාර නැත. 
 
 
ලෝකයේ විරෝධතාවන්ට හේතු වූ කරුණු අතරින් ලංකාවේ ප්‍රමුඛ වන්නේ කෘෂි රසායනික භාවිතයයි. එහෙත්, කටුපොල්වලට කෘෂි රසායනික භාවිතය තේ හා රබර්වලට වඩා අඩුය. ඊට අමතරව කටු පොල් වගාව නිසා ජල මූලාශ්‍ර සිඳී යන බවට විශාල ප්‍රචාරයක් ලාංකිකයන් අතර තිබේ. විරෝධය මතු වන ප්‍රධාන හේතුව එයයි. 
  
මිහිතලය උණුසුම් වීම, තේ වගාව වැනි හේතු නිසා තෙත් කලාපයේ ජල මූලාශ්‍ර සිඳී යාමේ ප්‍රවණතාවක් පවතී. එයට කටු පොල් වගාව ද දායක වන්නට ඉඩ තිබේ. එහෙත්, ඉහත පෙන්වා දුන් පරිදි කටුපොල්වලට වඩා ඒ සඳහා දායක වන භෝගයක් වන්නේ තේය.
 
විශේෂයෙන්ම කුඩා තේ වතු වගාව ඉතා අවිධිමත් වන අතර, තේ වගාව නිසා ලංකාවේ විශාල වන සංහාරයක් සිදුවේ. 
 
එසේම, අධික බෑවුම් ඉඩම්වල සිදුවන අවිධිමත් තේ වගාව දැවැන්ත පාංශු ඛාදනයකට හා නායයාම්වලට පවා හේතු වේ. 
 
එහෙත්, එසේ තේ වගා කරන වැඩි පිරිසක් සුළු ගොවියෝය. කටුපොල් එහෙම නැත. කටුපොල් වවන්නේ සමාගම්ය. බෑවුම අංශක 23ට වැඩි භූමිවල කටුපොල් වැවීමට සමාගම්වලට අවසර ලැබෙන්නේ නැත. 
 
අනවසරයෙන් තේ වවන්නට කාගේවත් අවසර ගන්නේ නැත. අංංශක 60කට කිට්ටු බෑවුම් ඉඩම්වල පවා සුළු වගාකරුවන් විසින් තේ, කුරුඳු ආදිය වගා කර තිබෙනු දැකිය හැකිය. 
 
ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ කාලයේ සිටම වැවිලි සමාගම් කිසිදු කලෙක මෙවැනි බෑවුම්වල තේ වැව්වේ නැත. වතුයාය මැද එවැනි බෑවුම්වල කැලෑ ඉතිරි කරන ලදී.
 
 
 
මේ සමාගම් අයිති කාටද? 
 
වර්තමානයේ මේ සමාගම් අයිති කාටද? බොහෝ වැවිලි සමාගම් කොටස් වෙළඳපොළේ ලියාපදිංචි, පොදු අයිතියක් ඇති සමාගම්ය. මේ කියවන ඔබට ද වැවිලි සමාගම්වල කොටස් අයිතිය තිබෙන්නට පුළුවන. 
 
එහෙත්, මේ සමාගම්වල මූලික ලක්ෂණයක් වන්නේ කොටස් හිමියන්ට ලාභය ලෙස ලැබෙන්නේ ඉහළ වැටුප් ලබන විධායක නිලධාරීන්ගේ අතින් ලිස්සා යන සොච්චමක් පමණක් වීමයි. සමාගම් යනු කම්කරුවන් සූරාකන යකෙකි යන ගතානුගතික අදහස ගැන යළි සිතාබැලීමට බොහෝ දේ තිබේ.
 
සාමාන්‍යයෙන් ගත් කල, විශාල සමාගම්වල ලාභාපේක්ෂාව සුළු ව්‍යාපාරවල ලාභාපේක්ෂාවට වඩා අඩුය. සමාගමකට සුළු ලාභයකින් පැවතිය හැකිය. එහෙත්, සුළු ව්‍යාපාරවලට එහෙම බැරිය. තේ අක්කර භාගෙනුත් පවුලක් නඩත්තු කළ යුතුය.
 
 
 
කෙසේ වෙතත්, සමාගම්වලට වෛර කිරීම ජනප්‍රිය සමාජවාදයේ ප්‍රධාන ලක්ෂණයකි.
 
 
අප මෙම සටහනින් පෙන්වා දෙන්නට උත්සාහ කරනුයේ පාලකයන් තොරතුරු මත පදනම් නොවන තීරණ ගන්නට පෙළැඹෙන ආකාරයයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ නිසි අධ්‍යයනයක් නොකිරීමයි. උපදෙස් නොවිමසීමයි. වැරදි උපදෙස් දෙන නිලධාරීන් හා ජනප්‍රිය අදහස් විශ්වාස කිරීමයි. එවැනි අවිද්‍යාත්මක තීරණ හේතුවෙන් රටට කිසිදු යහපතක් වන්නේ නැත. 
 
මෙතැනදී නම් කටුපොල් උදුරාදැමීමෙන් ලංකාවට ලැබෙන කිසිදු වාසියක් නැත. ඇත්තේ අවාසියක්ම පමණි. මෙය වනාහි කර්මාන්ත විනාශ කර දමන රාජ්‍ය ත්‍රස්තවාදයකි.
 
oil palm 2
 
මෙහි දැක්වෙන ඡායාරූප කීපය මා ගත්තේ කළුතර දිස්ත්‍රික්කයේ කටුපොල් වගා කළ ක්ෂේත්‍ර කිහිපයක කරන ලද චාරිකා අතරතුරදීය. මගේ අධ්‍යයන අනුව නම්, අධික වර්ෂාපතනයක් ඇති කළුතර දිස්ත්‍රික්කයේ කටුපොල් වගාවෙන් ජල මූලාශ්‍රවලට සිදුවන හානියක් නැත. 
 
එවැනි හානියක් තිබේ නම්, ඊට වඩා හානියක් තේ නිසා සිදුවේ. තේ වගාව වැරදි බවක් මෙයින් අදහස් වන්නේ නැත. අප කියන්නේ කටුපොල් විරෝධය විද්‍යාත්මක නොවන, පදනමක් නැති දෙයක් බවයි.
 
මහජනතාව අතර පැතිර පවත්නා මුග්ධ, අවිද්‍යාත්මක අදහස් මත පදනම්ව ජනාධිපතිවරයා ප්‍රමුඛ ධනේශ්වර යයි කියන රජය සමාගම් විරෝධී තීරණ ගන්නා සංදර්භයක රටක ආර්ථිකයක් ඉතිරි වේ නම් එය පුදුමයකි.
 
 
Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 

 

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩු විරෝධීන් බියවැද්දීමට ‘සමාජ මාධ්‍යයන්ට තහංචි‘ - ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්! 
 

 
වැඩ බැරි සභාපතිවරුන් ඉවතට…එතකොට "ස",  වැඩ බැරි ඇමතිවරු ?
 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්