එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳීමට ඇති එකම විසඳුම කතානායක කරු ජයසුරිය ඉදිරිපත් කිරීම බව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට යෝජනා කර තිබේ.


මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කරමින් රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට දායකවූ එවැනි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අතරින් ඇතැමුන් පවසන්නේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා එජාපයේ රනිල් හා සජිත් අතර පවතින ගැටුම පොහොට්ටු අපේක්ෂකයාගේ වාසියට හේතුවිය හැකි බවයි.

එසේම, එම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත්වීමට සුදානමින් සිටින රාජිත සේනාරත්න, චම්පික රණවක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ සහයද කරු ජයසුරිය වෙත ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි.

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වයක් තිබුණත්, ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද හැරුනවිට තවත් ඡන්ද ලක්ෂ 40කට වඩා ලබාගත යුතු බැවින් එවැන්නක් කළ හැකි එජාපයේ සිටින එකම තැනැත්තා කරු ජයසුරිය බව ඔවුන්ගේ අදහසයි.

රනිල්ගේ නායකත්වයට අභියෝගයක් නොවන යෝජනාවක් !

මෙම කාරණය සම්බන්ධයෙන් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ කරු ජයසුරියට හිතවත් ජ්‍යෙෂ්ඨ නීතිඥයකු කියා සිටියේ, පසුගිය ජනාධිපතිවරණයේදී ද කරු ජයසුරිය පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් මෙන්ම සිවිල් සංවිධාන ඉල්ලා සිටිය ද තමන්ගේ නායකත්වයට අභියෝගයක් වෙතැයි සිතා රනිල් වික්‍රමසිංහ ඊට කිසිඳු ලෙසකින් එකඟ නොවූ බවයි.

එහෙයින් මේ අවස්ථවේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වයට බාධාවක් නොවන ආකාරයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ බව ඔහු කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසිය.

''එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ තියනවා, ජනාධිපති තනතුර දරන පක්ෂ සාමාජිකයා පක්ෂයේ නායකයා වියයුතුයි කියලා. එනිසා තමාගෙන් පිට පක්ෂ සාමාජිකයකු ජනාධිපති වෙනවට රනිල් එකඟ වෙන්නේ නැහැ. ඔහුට තරඟයක් දෙන්න බැරිනම් පක්ෂයට පිටින් අයකු සොයන්නේ එනිසා.

රනිල්ට ඕන පක්ෂ නායකකම. එකේ සාධාරනකමකුත් තියනවා. මොකද පසුගිය කාලයේ පක්ෂයට මොනතරම් අභියෝග ආවත් ඒවාට මුහුනදීලා පක්ෂය ආරක්ෂා කලේ එතුමා. අපි එක අමතක කරන්න හොඳ නැහැ. එතුමා මේ මොහොතේ නොසිටින්න පක්ෂය මේ වෙනකොට කැලි කැලි වලට කැඩිලා ගිහින්. ඔහුට සාධාරණයක් ඉටුවිය යුතුමයි.

ජනප්‍රිය අපේක්ෂකයා තේරීම !

කරු ජයසුරිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කරන යෝජනාව සම්බන්ධයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරයකු ගෙන් 'ද ලීඩර්' කළ විමසීමේදී ඔහු කියා සිටියේ, එක් තීරණාත්මක අවස්ථාවකදී පක්ෂය හැරගොස් පක්ෂයට එරෙහිව කටයුතු කළ කරු ජයසුරිය කෙරෙහි පාක්ෂිකයින් තුල මේවනවිටත් කිසියම් අප්‍රසාදයක් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කියා සිටියේය.

''ඇත්තටම අපි කව්රුවත් රනිල් වික්‍රමසිංහ නායකතුමාටවත් කරු ජයසුරිය කතානායකතුමටවත් විරුද්ධ නැහැ.. විශේෂයෙන් ඉදිරි දැක්මක් තියන එකම නායකයා රනිල් මහත්තයා. හැමවිටම පක්ෂය ආරක්ෂාකළ නායකයා එතුමා. එත් මන්ත්‍රී කණ්ඩායමේ ඇති බහුතරයක් හිතන්නේ මේ අවස්ථාවේ ජයග්‍රහණයක් ගැන හිතන්න අපට ඉන්න හොඳම අපේක්ෂකයා සජිත් කියලා. 

ඔය සිවිල් සංවිධාන කියන බාහිර ඡන්ද ගන්න ඉස්සෙල්ලා අපි අපේ කඳවුර ශක්තිමත් කළ යුතුයි. අපේ පාක්ෂිකයින් තුල ජයග්‍රාහී මානසිකත්වයක් ඇතිකල යුතුයි. මේ අවස්ථාවේ එක කරන්න පුළුවන් සජිත්ට විතරයි. 

කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයට පිටින් මේ අවස්ථාවේදී නම් පිටින් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බවට පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පාහේ දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රනිල් සටන අතහැර නැහැ !

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇති බහුතරයක් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසගේ නම යෝජනා කර ඇතත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට රනිල් වික්‍රමසිංහ තවදුරටත් උත්සහ කරමින් සිටියි.

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදීමට අගමැති රනිල් වික්‍රමසිංහ කැමැත්තෙන් පසුවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක පවසයි.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව පැවසීය.

කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස සහ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා දැනට සාකච්ඡා මට්ටමේ පවතින බවත් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්වී ඒ ගැන අවසන් තීන්දුව ගන්නා බවත් ඔහු එහිදී සඳහන් කළේය.

බිම් මට්ටමේ ඉල්ලා සිටින්නේ කවුදැයි සොයා බැලීම සඳහා සමීක්ෂණයක් මේ වන තෙක් සිදු කර නැති බවද ඔහු පැවසීය.

සබැඳි පුවත් :
එජාප අපේක්ෂකත්වය ගන්න කරු පාර්ශ්වයෙන් රනිල්ට කළ යෝජනාව?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්