මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ කටයුතු අවසන් වූ බව ප්‍රකාශ කෙරිණි.
ඒ අනුව දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරිය, ජූලි 7 වැනිදා සිට නඩු විභාගය නිල වශයෙන් ආරම්භ කිරීමට දින නියම කළා ය.
එදිනට අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන රවීන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් යන අයට සිතාසි නිකුත් කිරීමට ද පියවර ගන්නා ලදී.
මෙහිදී විනිසුරුවරිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ගෙන් විමසා සිටියේ මෙම සිතාසි සාමාන්‍ය ක්‍රමයට නිකුත් කිරීම ප්‍රමාණවත්ද, නැතහොත් විදේශගත ක්‍රමවේද අනුගමනය කළ යුතුද යන්නයි. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ සාමාන්‍ය ක්‍රමයට සිතාසි නිකුත් කිරීම ප්‍රමාණවත් බවයි.
'දූෂණ විරෝධී හඬ' සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් 2015 වසරේදී කරන ලද පැමිණිල්ලකට අනුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) දීර්ඝ විමර්ශනයක් සිදු කර තිබුණි. එම විමර්ශන වාර්තා පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී නාමල් රාජපක්ෂ ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කරනු ලැබීය.
මීට පෙර මෙම සිදුවීමට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට පත් වූ මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කටයුතු කෙරුණු අතර, වත්මන් මහාධිකරණ නඩු විභාගය සඳහා ද ඔහු ඇප මත පසුවේ.




