1200 x 80 DMirror
 
 

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී වෙළෙඳ නෞකාවක් ගිනි ගෙන
මුහුදු බත් වීමෙන් පසු දැවැන්ත සාගර ජීවීන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් වෙරළ තීරයට ගොඩ ගැසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් පරස්පර අදහස් ප්‍රකාශ කරමින් සිටිති.
 
වෙරළට ගොඩ ගසා ඇති කැස්බෑවන් මියගොස් ඇත්තේ මුහුදු ජලය මත තිබු  තෙල් තට්ටු හේතුවෙන් බව වනජීවි අමාත්‍යවරයා පවසද්දි, වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ කැස්බෑවන්ගේ මරණවලට හේතුව "වාරකන්" බවයි.
 
රටේ විවිධ පළාත් වලින් මේ දින වල වාර්තා වන කැස්බෑවන්ගේ මරණ ධීවර අමාත්‍යවරයා විසින් බැහැර කර ඇත්තේ අසත්‍ය තොරතුරු ලෙසිනි.
 
ධීවර අමාත්‍යවරයාගේ ප්‍රකාශය සත්‍යයක් නොවන බව ප්‍රකාශ කරන සාගර ජීවී විශේෂඥයෝ දැනට ගොඩ ගසා ඇති සත්ව දේහ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පවසති. 
 
f3e4
 
මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට දැවැන්ත බලපෑමක් එල්ලකරමින් මැයි 20 වැනිදා සිට ගිනි ගැනීමට ලක්වු  MV XPress Pearl නෞකාවෙන් සාගරයට එකතු වූ විෂ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් දකුනේ පමණක් නොව නැගෙනහිර වෙරළ තීරයේ සිට යාපනය දක්වා වෙරළට මිය ගිය මුහුදු ජීවින්ගේ සිරුරු මේ වනවිට ගොඩගසමින් තිබේ.
 
පරිසරවේදීන් අනාවරණය කර ඇති පරිදි මේ වන විට කැස්බෑවුන් 50කට අධික ප්‍රමාණක්ද, ඩොල්පින්, තල්මසුන් ඇතුළු තවත් මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක්ද වෙරළට ගොඩගසමින් තිබේ.
 
 gdfg55
සී.බී රත්නායක
 
 
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනේ වෙරලට ගොඩ ගසා ඇති කැස් බෑවුන් මිය ගොස් ඇත්තේ මුහුදු ජලය මත තිබු තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් බව  මුලින්ම හමුවු කැස්බෑ සිරුරු පිළිබදව කළ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි.
 
වැඩි දුර පරීක්ෂණ සදහා මෙරට පර්යේෂණාගාර ප්‍රමාණවත් නොවන බැවින් මිය ගිය සතුන්ගේ සාම්පල කොටස් සිංගප්පුරුවේ පර්යේෂණාගාරයකට යැවීමට සුදානම් කර ඇති බවද ඔහු වැඩි දුරටත් පවසා තිබුනි.
 
 ryghg
නාලක ගොඩහේවා
 
 
කෙසේ නමුත් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසන්නේ ඊට හාත් පසින්ම වෙනස් කතාවකි.
 
තමන් පරිසරවේදියෙක් නොවන බව රටට දැනුම් දෙන ආචාර්යවරයා මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ සතුන්ගේ මියයෑම් වලට හේතුව මුහුදේ සිදුවන ස්වාභාවික හේතුවක් බවයි.
 
"එතකොට මුහුදේ සිද්ධවෙන දේ අපිට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බෑ. මේ වාරකන් කාලයේ බොහෝ අනතුරු වෙන්නට පුළුවන්. දැන් උදාහරණ වශයෙන් මම පරිසරවේදියෙක් නොවෙයි. ඒත් මම සමහර පරිසර වේදීන්ගෙන් මම දැක්කා, සමාජ ජාල වල දාල තියෙනව ඒ වගේ සමහර  මාධ්‍යවේදියෝ මා එක්ක ඍජුවත් කියල තියෙනවා වාරකන් කාලයට සත්තු අනතුරට ලක් වෙනව. 
 
ඒ වාරකන් කාලෙට ගොඩ බිමට සතෙක් ගහගෙන ආවම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ මේ නැවෙන් උන අනතුර තියෙන නිසා ඒ හැම කෙනෙක්ම ඒක ඍජුවම සම්බන්ධ කරන්න බලනව ඒකට. නමුත් වඩාත් සුදුසු දේ තමයි හොද දැනුවත්  පරිසරවේදීන්ගෙන් අහන එක මේක සාමාන්‍ය තත්ත්වයක් ද කියල."
 
 
 
ඉන්ටර්නෙට් පොටෝ:
 
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ නව ගිනිගත් පසු උතුරු වෙරළට ගොඩ ගැසූ බවට වාර්තා වන සාගර ජීවීන්ගේ ඡායාරූප අන්තර්ජාලයේ සොයාගන්නා ලද පැරණි පින්තූර බවයි.
 
 fhhnm
ඩග්ලස් දේවානන්ද
 
 
“දකුණු ප්‍රදේශ වලත්, ලොකුවට එවැන්නක් සිදුවන්නේ නැහැ. එහෙම නං කොහොමද උතුරු වෙරළේ එහෙම සිද්ධ වෙන්නේ. මේ වන විට 40 කට අධික කැස්බෑවුන් ගොඩ ගසා තිබෙනවා. ඒව නිකන් එක් එක් අය අන්තර් ජාලයෙන් ගෙනත් පල කරන ඒවා . ඒකේ සත්‍යතාවයක් නෑ....”
 
වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය මෙන්ම  ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාද වන ජනපති, අගමැති වැඩිමල් සොයුරු හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසන්නේ කැස්බෑ මරණ වාර්තා වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බවයි.
 
 dfgfg6
චමල් රාජපක්ෂ
 
 
“එක කාලෙකට කොහොමටත් ඔය කැස්බෑවෝ විශාල වශයෙන් එනවා මැරිලා . මහා තල්මසුන් මාතර මුහුදු වෙරළට ගොඩ ගහල තිබුනනේ ඉස්සර. හිටි ගමන් එනවා . ඉතිං ඔක පර්යේෂණයක් කරන්නේ නැතිව කියන්නේ මේකෙන් යම් කිසි.... දැන් තාම තෙල් ගිහිල්ල නෑනේ. ..වෙනත්  දේවල් වලින් වතුරට එක්කහු වෙලා මෙහෙම එකක් වෙලා තියෙනවද කියල පර්යේෂණයක් කරන්න ඕන." යනුවෙනි.
 
yujhgh
 ආශා ද වොස්
 
 
ශ්‍රී ලංකාවේ වෙරළට විශාල මුහුදු ජීවීන් මුල් වරට ගොඩ ගසන ලද බවට මුල්වරට වාර්තා වන්නේ 1884 දී  බව සාගර ජීව විද්‍යාඥ ආශා ද වොස් පවසන්නීය. 
 
එමනිසා මේ දිනවල ගොඩ ආ සතුන්ගේ මරණයට සැබෑ හේතුව හෙළි කරගැනීම සඳහා මරණ පරීක්ෂණ පැවැත්වෙන බව ඇය කියා සිටී. 
 
කෙසේ වෙතත්, එක්ස්ප්‍රස් පර්ල් නව ගිනිගැනීමෙන් පසු කැස්බෑ සිරුරු ගොඩ ඒම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයා කරන “අන්තර්ජාල පින්තූර” කතාව කිසිසේත් සත්‍යයක් නොවන බව ආචාර්ය ආශා ද වොස් දැඩි ලෙස අවධාරණය කරයි. 
 
 
 
රතු දත්ත ලේඛනයට
 
ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වෙමින් සිටින  සත්ත්ව විශේෂ අතරින් රතු දත්ත ලේඛනයටද ඇතුළත්ව සිටින කැස්බෑවන් සාගර හා වෙරළ ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්   දැඩි තර්ජනයට  මුහුණපා සිටින සත්ත්ව විශේෂයකි.
 
 
 
බිත්තර දැමීම ලංකාවේ:
 
89679
 
ලොව පුරා සාගරවාසී කැස්බෑ විශේෂ 7ක් හදුනාගෙන ඇති අතර එයින්  විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී එන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
 
ලංකාව තුළ දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් ලෙස  බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් හදුනාගෙන තිබේ.
 
ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ III වන කොටසේ 30 වන වගන්තියේ සඳහන් නීතිරීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන්  නීතියෙන් සපුරා තහනම් වේ.
 
එහි 30(2) වගන්තිය යටතේ එම ක්‍රියාවල නිරතවෙන වැරදිකරුවන්ට ලබාදිය යුතු දඬුවම්  දක්වා තිබේ.
 
ඒ අනුව  වරදකරු ට  රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස්දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගතකිරීම හෝ දඩය සහ දෙකම නියම කළ හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.

 

 


 

THE LEADER TV 
 
චීන හමුදා හම්බන්තොට?- ඉන්දිය ඩ්‍රෝන හමුදා වට කරයි ?
 

 
'ස' ගේ කාබනික පොහොර ටිකත් ගජමිතුරු බඩට ! 
 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්