පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සහ කාර්යක්ෂම පාලනය ගැන බහුතරයකගේ විශ්වාසය දිනාගද්දී, ජීවන වියදම් කළමනාකරණය ගැන රටේ මතය දෙකඩ වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලැබූ 29.4%ක අවම ප්‍රසාද ප්‍රතිශතය අභිබවා යමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි පවතින මහජන විශ්වාසය 75.5%ක් වැනි ඉහළම මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) සමාජ දර්ශක අංශය මඟින් නිකුත් කළ නවතම වාර්තාව (Confidence in Democratic Governance Index) හෙළි කරයි.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයන් 1,240 දෙනෙකු ඇසුරින් මෑතකදී පවත්වන ලද මෙම දීපව්‍යාප්ත සමීක්ෂණයට අනුව, විපක්ෂ නායකයාගේ කාර්ය සාධනය පිළිබඳව 64.9%ක් වැනි බහුතරයක් සිය අකමැත්ත පළ කරද්දී, ජනාධිපතිවරයා කෙරෙහි අතෘප්තිය පළ කර ඇත්තේ 23.3%ක් වැනි සුළු පිරිසක් පමණි.
ජනවාර්ගික හා තරුණ ප්‍රතිශතයන්ගෙන් අනුර පෙරමුණට
ජනාධිපතිවරයා කෙරෙහි පවතින ජනප්‍රසාදය විවිධ සමාජ ස්ථරයන් සහ ජන කොටස් අතර කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
සුළුතර ජන ප්‍රජාවගේ සහය:
අනුර කුමාර දිසානායක කෙරෙහි ඉහළම ප්‍රසාදය වාර්තා වී ඇත්තේ කන්ද උඩරට වතුකරයේ දමිළ ජනතාවගෙනි (94.4%). මුස්ලිම් ජනතාව අතරින් 93.4%ක් සහ සිංහල ජන ප්‍රජාවගෙන් බහුතරයක් වන 69.9%ක් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත කරති.
තරුණ සහ ග්‍රාමීය ආකර්ෂණය:
වයස අවුරුදු 18–29 ත් අතර තරුණ පරපුරෙන් 81.6%ක ඉහළම මනාපයක් ජනාධිපතිවරයා සතු කරගෙන ඇති අතර ග්‍රාමීය ජනතාවගෙන් 76.4%ක් ඔහු කෙරෙහි විශ්වාසය තබා ඇත.
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සහ පාලන කාර්යක්ෂමතාව
ජාතික ජන බලවේගය (NPP) රජයේ පාලන යාන්ත්‍රණය සහ සංවේදී විමර්ශන සම්බන්ධයෙන් ද මහජනතාව ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ.
විමර්ශනවල ප්‍රගතිය:
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව 51.6%ක් සෑහීමකට පත්වන අතර 32.4%ක් අතෘප්තිය පළ කරති. මෙහිදී මුස්ලිම් (73.3%) සහ උඩරට දමිළ (72.2%) ප්‍රජාවගෙන් ඉහළම ප්‍රසාදයක් හිමිව ඇත.
කාර්යක්ෂම පාලනය:
සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් 62.8%ක්ම විශ්වාස කරන්නේ කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් සැපයීමට ජාතික ජන බලවේගය රජයට පූර්ණ හැකියාව පවතින බවයි.
මතභේදාත්මක කරුණු සහ ව්‍යුහාත්මක වෙනස්කම්
රජයේ දේශපාලන ස්ථාවරය ශක්තිමත් වුවද, ආර්ථික සහ ව්‍යවස්ථාපිත කරුණු කිහිපයකදී පොදු මහජන මතය එකිනෙකට වෙනස් මුහුණුවරක් ගනී.
ජීවන වියදම් අර්බුදය:
රජය විසින් ජීවන වියදම කළමනාකරණය කරන ආකාරය පිළිබඳව මහජන මතය සම සමව බෙදී පවතී. එහිදී 45.3%ක් රජයේ ක්‍රියාකලාපය අනුමත කරද්දී, 44%ක් ඊට සිය අකමැත්ත පළ කරති.
විධායක ජනාධිපති ක්‍රමය සහ පළාත් සභා:
ශ්‍රී ලාංකිකයන්ගෙන් 64.1%ක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දක්වන නමුත්, එම ක්‍රියාවලිය වහාම ආරම්භ කළ යුතු යැයි විශ්වාස කරන්නේ 23.6%ක් පමණි. මීට අමතරව, 67%ක පිරිසක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකති.
මුලාශ්‍රය :
AKD gains 75.5% public satisfaction against Sajith’s 29.4%




