පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමාවන් තීව්‍ර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විවෘත ආයාචනයක් කරමින් එම සංගමය විසින් මෙම ඉල්ලීම කර ඇත.
 
එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුවය. 
 
 
ජනාධිපතිවරයාට යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන් වේ.
 
 
''කොරෝනා ව්‍යසනයේ උච්චතම අවස්ථාවට පැමිණි ඇත''
 
 
 
කොරෝනා ව්‍යසනයේ උච්චතම අවස්ථාවට පැමිණි ඇති මේ මොහොතේ ප්‍රමාද වී වුවද නිසි පිළියම් යෙදීම වඩා ඵලදායක විය හැක.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධ විශේෂඥයින්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අනිකුත් සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මගින් සනාථ කර ඇති ඩෙල්ටා ප්‍රභේදය නිසා වර්ධනය වෙමින් ඇති ඉතා අනතුරුදායක තත්ත්වය අපිදු අනුමත කරමු.
 
 
 
අපට දැනෙන, ඉදිරියේ දී ඇතිවිය හැකි දරුණු තත්ත්වය ගැන අප කරුණු පලකරන්නේ විද්‍යාත්මක, සංඛ්‍යාත්මක දත්ත මෙන්ම දැනට ඇස් පනාපිට පෙනෙන යථාර්ථය මනාව අධ්‍යයනය කිරීමෙන් පසුවය. (මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ කමිටු වාර්තාව සලකා බැලීම ද වැදගත්ය)
 
 
ඔබතුමා ඇතුළු රජය මගින් දැනට යොදා ඇති සංචරණය සීමාවන් අප විසින් අගය කරන අතර ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රවර්ධනය අසීමිත ලෙස වැඩි වුවහොත් එයින් ඇතිවන ඉතාමත් භයානක ප්‍රතිඵල යම් හෝ පාලනයක්  සඳහා සංචරණ නීති සහ අනිකුත් නීති තවත් විශාල ලෙස වැඩි කළ යුතු බව අපගේ හැඟීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කමිටුව විසින් ද මෙය අනුමත කර ඇත.
 
රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමේ හැකියාව එහි උපරිම ධාරිතාව ට වඩා දැනටමත් ඉහළ ගොස් ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. 
 
එමෙන්ම රෝග නිවාරණයේ නියුතු කාර්ය මණ්ඩලය ද ඉතා දැඩි ලෙස වෙහෙසට පත්වී ඇත. විශේෂයෙන්ම ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බැවින් රෝගීන්ට අවශ්‍ය උපරිම ප්‍රතිකාර කිරීමේ හැකියාව අප අතින් දැනට ම ගිලිහී ගොස් ඇත. 
 
මෙයින් සුව කල හැකි කොවිඩ් නොවන රෝගීන්ට ඇති වන බලපෑම අති විශාලය. එමෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් සහ ක්ෂෙත්‍රයේ සේවය කරන්නන් වෛරසයට ගොදුරු වීම ද දිනෙන් දිනම වැඩිවෙමින් පවතී.
 
 
 
අප දැනටමත් ප්‍රමාද වැඩි බව සත්‍යයක් වුවත් මේ මොහොතේ දී හෝ ඉතා දැඩි සංචාරණ සීමා ක්‍රියාත්මක කිරීම මෙම වසංගතය යම් තරමකට හෝ පාලනය කරගැනීමට ඉවහල් වනු ඇත. 
කොරෝනා වසංගතයේ උච්ඡතම අවස්ථාවට අප පැමිණ ඇති මේ අවස්ථාවේ අපට කළ හැකි ප්‍රධානම කර්තව්‍ය නම් පුද්ගලයෙකු මගින් පමණක් තවත් පුද්ගලයකුට පැතිරවීමේ හැකියාව ඇති මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට ඇති ප්‍රධානම මාර්ගය, එනම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමයි. 
 
අප විසින් අපගේ එන්නත්කරණ ඉලක්ක සපුරා ගන්නා තුරු රෝගය පැතිරීම සහ ඉන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම් සඳහා ඇති එකම විකල්පය එය බව අපගේ විශ්වාසයයි.
 
ඉතා ඉක්මනින් මෙන්ම දැඩිව මෙම සංචරණ සීමා ක්‍රියාත්මක නොකළහොත් අප විසින් මින් පෙර කිසිදාක අත්  නොදුටු දරුණු ප්‍රතිඵල අපට අත්විඳීමට සිදුවනු ඇත.
 
එම නිසා වගකිවයුතු වෛද්‍ය සංවිධානයක් ලෙස අප විසින් මින් පෙර ද සිදු කළ ආකාරයෙන්ම මෙම ආයාචනය සිදු කරන්නේ හුදෙක් පොදු මහජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කරගෙන පමණක්ම බව අවධාරණය කරනු කැමැත්තෙමු.
 
 
 
එසේම කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අප සියලු ආගමික නායකයින්, සිවිල් සාමාජික සංවිධාන මෙන්ම පොදු ජනතාවට එකසේ ආයාචනා කරන්නේ මෙම රෝගයෙන් මිදීමට නම් තමන්ගේම ස්වයංසංචරණ සීමා සඳහා වහාම යොමු වන ලෙසයි. 
 
 
 
මෙය එක් එක් පුද්ගලයකුට පමණක් සීමා නොවිය යුතු අතර වෙළඳ ව්‍යාපාර, සාප්පු සංකීර්ණ,කර්මාන්ත ශාලා,රජයේ කාර්යාල, භෝජන ශාලා, මෙන්ම අනෙකුත් උත්සව ශාලා වලටද ඒවායේ පාලකයින් හෝ හිමිකරුවන් විසින් තමන්ගේ මෙන්ම තම ආයතනයේ සාමාජිකයින්ගේ යහපත සඳහා  මෙවැනි සීමාවන් භාවිතා කරන ලෙස අපි ආයාචනා කරමු.
 
 දැනටමත් මෙවැනි සීමා ක්‍රියාත්මක කර හෝ වසා දමා ඇති දිවයිනේ විවිධ වෙළඳ ආයතන මෙයට හොඳ නිදසුන්ය.
 
එම නිසා මෙම ඉතාමත් සංවේදී  මෙන්ම සංකීර්ණ අවස්ථාවේදී අප සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කෙටි කාලීන දැඩි ක්‍රියාමාර්ගයන් තමන්ගේ ජීවනෝපාය සපයා ගැනීමේදී බාධකයක් වුවද වඩා වැදගත් වන “ජීවත් වීම”  සඳහා දැනට ඇති හොඳම විකල්පය මෙම ස්වයං ආරක්ෂණය සපයා ගැනීම පමණක් බවයි.
 
 
 
 
 
 
''තත්ත්වය දරුණුයි හංගන්න දෙයක් නැහැ'' -රාජ්‍ය ඇමැති චන්න ජයසුමන 
 
 
 ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පැවසුයේ, ඩෙල්ටා කොවිඩ් විකෘති ප්‍රභේදයන් බිහි වෙමින් පවතින නිසා ඒ සඳහා සූදානම් විය යුතු බවයි. 
 
''ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ. ඉදිරි සති දෙක ඉතාමත්ම තීරණාත්මකයි. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි ඉදිරියේ දී එන්නේ.
 
ඒ නිසා අත්‍යවශ්‍යම කටයුතුවලට හැර තමන්ගේ නිවෙස්වලින් එළියට යන්න එපා. එහෙම ගිහින් නිරාවරණය වුණාම වයිරසය හැදෙන්න පුළුවන් කියන එක හිතේ තබාගෙනම එළියට යන්න ඕනේ. ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට අපේ රටෙත් සීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා.
 
විශාල ප්‍රමාණයක් දිනකට ජීවිතක්ෂයට පත්වෙනවා රෝගී වෙනවා. මේ වයිරසය ඉතාමත්ම දරුණු එකක්. එය ලෙහෙසියෙන් ඇඟේ ඇලෙන්න පෙනහලු‍වලට හානි කරන්න, සිරුරට හානි කරන්න තියෙන ප්‍රවණතාවය වැඩියි.” යැයි ඇමැතිවරයා පැවැසුවේය.
 
 
 
 
වාර්තා වෙන ආසාදිතයින්ට වඩා තුන් ගුණයක් සමාජයේ - විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම
 
 
දැනට වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයින් මෙන් තුන් ගුණයක් සමාජය තුළ සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.
 
එහිදී, ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් පෙන්වා දුන්නේ, 
 
"පැහැදිලිවම වාර්තාවෙන සංඛ්‍යාවට වඩා වැඩි පොසිටිව් කොටසක් ඉන්නවා සමාජයේ. තුන්ගුණයක් විතර ඉන්නවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්." කියාය. 
 
 
 

 
සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කෙරෙන ගැසට් නිවේදනය අද
 
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් නීතියක් බවට පත් කරමින් අද දිනයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.
 
අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.
 
 අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු මාර්ගෝපදේශ උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙණු ඇත.
 
 
THE LEADER TV 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 

 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්