මහ බැංකුව ලංකා ආර්ථිකයත් මකර කටටම තල්ලු කරයි
 කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 (ඊයේ) දිනයේ තවත් රුපියල් බිලියන 19.63 ක් හෙවත් රුපියල් කෝටි 1963 ක් අච්චු ගසා ඇතැයි හිටපු  ආණ්ඩුකාර වරයකු පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර ඇති හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, '' ආණ්ඩුවේ ආර්ථික විද්‍යා ඔස්තාර්වරුන් කුමක් පැවසුව ද, රටේ බඩු මිල රෝකට් ගත වීමට මුදල් අච්චු ගැසීම හේතුවී ඇතැයි  අවදාරණය කර සිටියි.
 
එම නිවේදනයේ ඔහු මෙසේද සඳහන් කර තිබේ.
 
''2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල රුපියල් කෝටි 138,768 ක් (රු. 1,387,680,000,000) කි.  
 
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා අච්චු ගසා තිබූ මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල අච්චු ගසා ඇත.   
 
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුදල රු. කෝටි 17,804 කි. 
 

Rajith new
 
''පසුගිය මාස 20 තුල මෙරට ඉහළම ධනපතියන්ට අඛණ්ඩව බදු සහන ලබා දී ඇති අතර, දිළිඳු සහ අන්ත
දිළිඳු ජනතාව වට සීනි, පිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බර පටවා ඇත.'' - රජිත් කීර්ති තෙන්නකෝන් (දකුණ හා මධ්‍යම පලාත් හිටපු ආණ්ඩුකාර)
 
 
1952 න් පසුව, ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු  කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇත.  
 
2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වරෛී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.
 
ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.''
 
 
 
හය-හතර නොතේරෙන පාලනයක්
 
 
Mahinda 2021.10 1
 
 
මේ අතර ප්‍රවීන සාහිත්‍යවේදීයකු හා දේශපාලන විචාරකයකු වන ගාමිණී වියන්ගොඩ ද වත්මන් රජයේ මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර ඇත. ඒ මේ සති අන්තයේ ප්‍රකාශයට පත්ව ඇති 'අනිද්දා' ජාතික පුවත්පතට ''හය-හතර නොතේරෙන පාලනයක්'' යන සිරස් තලයෙන් යුතුව ලිපියක් සම්පාදනය කරමිනි.
 
එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
 
''මේ රජය බලයට පත් වූ දා සිට මහ බැංකුව රුපියල් ට්‍රිලියන 2 ක් අලුතෙන් සල්ලි අච්චු ගසා තිබේ. ට්‍රිලියනයකට බිංදු 12 කි. සිංහල ව්‍යවහාරයෙන් ගත්තොත්, කෝටියේ ඒවා ලක්ෂයකි. අප මේ කතා කරන්නේ, ඒ වාගේ දෙගුණයක මුදල් ප්‍රමාණයක් ගැනයි. එය, රටේ සමස්ත මුදල් සම්භාරයෙන් සියයට 30-35 අතර ප්‍රමාණයක් බව සඳහන් ය. 
 
 
නිදහසෙන් පසු කිසි රජයක් අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් මුදල් කන්දරාවක් අච්චු ගසා නැත. 
 
මේ ආණ්ඩුවේ අර්ථශාස්ත්‍රඥයා වශයෙන් සැලකෙන මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියන විදිහට මෙසේ මුදල් අච්චු ගැසීම රටකට ප්‍රශ්නයක් වන්නේ නැතිලු. ඊට උපහැරණ දක්වමින්, ඇමරිකාව වැනි දියුණු රටවල් පවා එසේ මුදල් අච්චු ගසතියි ඔහු කියයි. 
 
පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයක් තුළ අපේ රට කෝවිඩ් වසංගතයට ගොදුරු වී තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සාමාන්‍ය පරිද්දෙන් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වුණි. 
 
එසේ තිබියදී, තව සියයට 35 ක් පමණ වන අලුතෙන් මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට පොම්ප කෙරෙන විට සිදුවන්නේ කුමක්ද? 
 
කෝවිඩ් වසංගතයෙන් පරිහානියට ලක්වීම නිසා දැනටමත් අඩු වී ඇති නිෂ්පාදනයේ පවතින මිල ගණන් ඉහළ යාමයි. මෙය තේරුම් ගැනීමට කෙනෙකුට ආර්ථික විද්‍යා ඥානයක් අවශ්‍ය නොවේ.  
 
 
 
ඇමරිකාව හෝ බ්‍රිතාන්‍ය හෝ ජපානය වැනි රටක මුදල් අච්චු ගැසීම සහ ලංකාව වැනි රටක මුදල් අච්චු ගැසීම අතර විශාල වෙනසක් තිබේ. අර කී රටවල් සතු ආර්ථිකයන්, ලෝකයේ නොයෙක් තැන්වලට විහිදෙයි. ඒ සමගම ඔවුන්ගේ මුදල්ද ඒ හැම තැනකම සංසරණය වෙයි. 
 
 
 
ඒ නිසා, යම් සීමාවකට යටත්ව ඔවුන් මුදල් අච්චු ගැසීම, ලංකාව වැනි කොදෙව්වක, වෙන කිසි තැනක පාවිච්චියට නොගැනෙන රුපියල වැනි මුදල් ඒකකයක් අසීමාන්තික අන්දමින් අච්චු ගැසීමකට සමාන වන්නේ නැත. 
 
තවත් විදිහකින් කිවහොත්, අප අලුතෙන් අච්චු ගසන හැම රුපියලක්ම සංසරණය වන්නේ ලංකාව නමැති අපේ පුංචි වෙළෙඳපොළ තුළම පමණි. එවිට එරටේ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි තත්වයක් උදා වෙයි. 
 
අද එය හැම පැත්තකින්ම පෙනෙන්ට පටන්ගෙන තිබේ. පසුගිය දින දෙක තුන තුළ ගෑස්, සිමෙන්ති, කිරිපිටි, පාන්පිටි, පාන්, බත් පැකට් සහ ප්ලේන්ටියේ පවා මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඊට කලින්, හාල්, තෙල්, සීනී ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ගණනුත් ඉහළ ගියේය. 
 
පසුගිය ආණ්ඩුව කාලයේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක (47 ක්?) මිල පහළ දැමුණි. ඒ සියලු ඖෂධ වර්ග දැන් ගණන් ගොසිනි. 
 
එක මිතුරෙකු අද මට කී පරිදි, සිමෙන්ති කොට්ටයක් මිල දී ගැනීමට නම් එම කඩයෙන් වැලි කාලකුත් මිල දී ගත යුතුව ඇති බව කඩකාරයා ඔහුට කීවේලු.  ''
  
 
කියවන්න 
 
 

THE LEADER TV 
 
 
 
මුර බල්ලෙක් එලියට? | මොණරවිලගේ ලියමන 
 
 
 
 
චිචීට ගහන්නේ බැසිල් බාප්පා ද? | The Leader TV | Gossip
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්