1200 x 80 DMirror
 
 

මට පසුගිය කාලයේ ‘සතර පෙරනිමිති’ පෙනුණි.
 
එක පෙරනිමිත්තක අඩංගුව මෙසේ ය: පොලොන්නරුවේ ගොඩනැඟෙන ප්‍රබුද්ධ මං තීරුවක්, සුදු ගවුමක් හැඳගත් ශිෂ්‍යාවක් පාසල් යාමට ඒදණ්ඩකින් එගොඩ වීමක් සහ මඩ වුණු පටු ලියැද්දක් දිගේ මිනිපෙට්ටියක් අමාරුවෙන් කර ගහගෙන යන පිරිසක්. 
 
ඊළඟ පෙරනිමිත්තේ අඩංගුව මෙසේ ය: ගෑස් සිලින්ඩර කර ගහගෙන යන දුගී කාන්තාවන් පිරිසක් සහ සීනි කිලෝවක් ලබා ගැනීමට පෝලිමේ සිටින තවත් දුගී පුරවැසියන් පිරිසක්. 
 
තෙවැනි පෙරනිමිත්ත තුළ මහා මැෂිමක් තිබුණි: එයින් නොකඩවා සල්ලි නෝට්ටු අච්චු ගැසී ‘සට සට‘ ගා එළියට පැන්නේය.
 
සිව්වැනි පෙරනිමිත්ත තුළ ජනාධිපති ගෝඨාභය මැතිතුමා පෙනී සිටියේය. ‘සර් ෆේල්’ කියා ඔහු තමාටම කියාගත්තේය.  
 
 
මේ රජය බලයට පත් වූ දා සිට මහ බැංකුව රුපියල් ට්‍රිලියන 2 ක් අලුතෙන් සල්ලි අච්චු ගසා තිබේ. ට්‍රිලියනයකට බිංදු 12 කි. සිංහල ව්‍යවහාරයෙන් ගත්තොත්, කෝටියේ ඒවා ලක්ෂයකි. අප මේ කතා කරන්නේ, ඒ වාගේ දෙගුණයක මුදල් ප්‍රමාණයක් ගැනයි. එය, රටේ සමස්ත මුදල් සම්භාරයෙන් සියයට 30-35 අතර ප්‍රමාණයක් බව සඳහන් ය. 
 
නිදහසෙන් පසු කිසි රජයක් අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් මුදල් කන්දරාවක් අච්චු ගසා නැත. මේ ආණ්ඩුවේ අර්ථශාස්ත්‍රඥයා වශයෙන් සැලකෙන මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියන විදිහට මෙසේ මුදල් අච්චු ගැසීම රටකට ප්‍රශ්නයක් වන්නේ නැතිලු. ඊට උපහැරණ දක්වමින්, ඇමරිකාව වැනි දියුණු රටවල් පවා එසේ මුදල් අච්චු ගසතියි ඔහු කියයි. 
 
පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයක් තුළ අපේ රට කෝවිඩ් වසංගතයට ගොදුරු වී තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සාමාන්‍ය පරිද්දෙන් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වුණි. 
 
එසේ තිබියදී, තව සියයට 35 ක් පමණ වන අලුතෙන් මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට පොම්ප කෙරෙන විට සිදුවන්නේ කුමක්ද? 
 
කෝවිඩ් වසංගතයෙන් පරිහානියට ලක්වීම නිසා දැනටමත් අඩු වී ඇති නිෂ්පාදනයේ පවතින මිල ගණන් ඉහළ යාමයි. මෙය තේරුම් ගැනීමට කෙනෙකුට ආර්ථික විද්‍යා ඥානයක් අවශ්‍ය නොවේ.  
 
 
ඇමරිකාව හෝ බ්‍රිතාන්‍ය හෝ ජපානය වැනි රටක මුදල් අච්චු ගැසීම සහ ලංකාව වැනි රටක මුදල් අච්චු ගැසීම අතර විශාල වෙනසක් තිබේ. අර කී රටවල් සතු ආර්ථිකයන්, ලෝකයේ නොයෙක් තැන්වලට විහිදෙයි. ඒ සමගම ඔවුන්ගේ මුදල්ද ඒ හැම තැනකම සංසරණය වෙයි
 
 
ඒ නිසා, යම් සීමාවකට යටත්ව ඔවුන් මුදල් අච්චු ගැසීම, ලංකාව වැනි කොදෙව්වක, වෙන කිසි තැනක පාවිච්චියට නොගැනෙන රුපියල වැනි මුදල් ඒකකයක් අසීමාන්තික අන්දමින් අච්චු ගැසීමකට සමාන වන්නේ නැත. 
 
තවත් විදිහකින් කිවහොත්, අප අලුතෙන් අච්චු ගසන හැම රුපියලක්ම සංසරණය වන්නේ ලංකාව නමැති අපේ පුංචි වෙළෙඳපොළ තුළම පමණි. එවිට එරටේ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි තත්වයක් උදා වෙයි. 
 
අද එය හැම පැත්තකින්ම පෙනෙන්ට පටන්ගෙන තිබේ. පසුගිය දින දෙක තුන තුළ ගෑස්, සිමෙන්ති, කිරිපිටි, පාන්පිටි, පාන්, බත් පැකට් සහ ප්ලේන්ටියේ පවා මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඊට කලින්, හාල්, තෙල්, සීනී ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ගණනුත් ඉහළ ගියේය. 
 
පසුගිය ආණ්ඩුව කාලයේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක (47 ක්?) මිල පහළ දැමුණි. ඒ සියලු ඖෂධ වර්ග දැන් ගණන් ගොසිනි. 
 
එක මිතුරෙකු අද මට කී පරිදි, සිමෙන්ති කොට්ටයක් මිල දී ගැනීමට නම් එම කඩයෙන් වැලි කාලකුත් මිල දී ගත යුතුව ඇති බව කඩකාරයා ඔහුට කීවේලු.  
 
A woman carrying food bags walks pasts people standing in queue outside a state-run supermarket to buy essential food items in Colombo on September 3, 2021 as Sri Lanka began imposing price controls on essential food from September 3 after using a state of emergency to seize allegedly hoarded stocks of sugar and rice. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)
 
රටක භාණ්ඩ සහ සේවාවන්හි මිළ ඉහළ යාමට විවිධ හේතු බලපෑ හැකි බව ඇත්ත. ඒ අතරින්, අපට පාලනය කළ නොහැකි හේතු ගණනාවක් ඇති බවත් ඇත්ත. උදාහරණයක් වශයෙන්, පිටරටින් ගෙන්වන යම් භාණ්ඩයක මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ ගියොත්, ඒ භාණ්ඩයේ ලංකාවේ මිල ඉහළ යාම කිසිවෙකුට වැළැක්විය හැකි නොවේ.
 
 එසේම, දේශීය වශයෙන් නිෂ්පාදනය වන යම් භාණ්ඩයක්, නියඟය සහ අස්වැන්න විනාශ වීම වැනි වෙනත් විවිධ හේතු නිසා වෙළෙඳපොළේ සැපයුම අඩු වෙතොත් එවිටද ඒ භාණ්ඩයේ මිල ඉහළ යාම වැළැක්විය නොහේ.  
 
එහෙත් මේ ආණ්ඩුව බලයට පත්වූ දා සිට භාණ්ඩවල මිල ඉහළ යාම් පසුපස ඇති හේතු අතරින් වැදගත්කම අතින් ගත් විට ඉහත කී හේතු වැටෙන්නේ දෙවැනි තුන්වැනි ස්ථානයටයි. පළමු ස්ථානය ගන්නේ, ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති, ළාමක සැලසුම් සහ දූෂිත ගනුදෙනු ය.
 
 
වැරදි ප්‍රතිපත්ති:
 
 
මුලින්ම වැරදි ප්‍රතිපත්තිවලට උදාහරණයක් ගමු. (මෙය, මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති රාශියකින් එකක් පමණි). මීට දින දෙක තුනකට කලින් පුවත්පත්වල මෙවැනි දෙයක් වාර්තා කොට තිබුණි: තේ කර්මාන්තය සඳහා අවශ්‍ය රසායනික පොහොර ගෙන්වීමට රජයෙන් අවසර ලැබේ. ඒ, මේ සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව ය.
 
 
රසායනික පොහොර ගෙන්වීම එක රැයකින් තහනම් කොට දැන් මාස හයකි. රසායනික පොහොර නොමැතිව තේ කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බව වටහා ගැනීමට මාස හයක් තරම් දීර්ඝ කාලයක් රාජ්‍ය නායකයන්ට අවශ්‍ය කෙළේ ඇයි? ඒ තරමට ඔවුන් මන්දබුද්ධිකද? 
 
 
 
 
අප වැනි තේ කර්මාන්තය ගැන වැඩි දැනුම් තේරුම් නැති පෘථග්ජනයන් පවා, ලංකාවේ ප්‍රධාන අපනයන බෝගවලින් චිරාත් කාලයක් ලෝකයේ නමක් දිනාගෙන සිටි තේ වගාව සඳහා යම් පොහොරක් අවශ්‍ය කරන බව දැනගෙන සිටි බව කීම කයිවාරුවක් නොවේ. 
 
රසායනික පොහොර නිසා යම් හානියක් රටේ පසට හෝ ජනතාවගේ සෞඛ්‍යයට සිදුවෙතැයි මොහොතකට පිළිගත්තත්, එම පොහොර ගෙන්වීම එක රැයකින් තහනම් කිරීමට නම්, ඒ සඳහා වන ආදේශක පොහොරක් තේ කර්මාන්තය සඳහා අවශ්‍ය කරන බවත් දැනගැනීමට කෘෂි විශේෂඥයෙකු විය යුතුම නැත. 
 
එහෙත් එවැනි පොහොරක් තමන් සන්තකයේ නොතිබියදී, ජනාධිපතිවරයා හිටිගමන් පොහොර ආනයනය තහනම් කෙළේය. 
 
ඒ තීරණය පසුපස තිබිණැයි කියන ‘රට වෙනුවෙන් ආදරය’ හෝ ‘ජනතාව ගැන ඇති ආදරය’ හෝ වෙන මොනයම්ම හේතුවක්වත්, අද වන විට පිළිගත හැකි සහ පවත්වාගෙන යා හැකි නොවන බව නොවේද, මේ තහනම ගිය සතියේ සිට ඉවත් කිරීමට තීරණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ? ඉතිං මේ කාලය තුළ එකී මුග්ධ තීරණය නිසා ලංකාවේ තේ කර්මාන්තයට සිදු වූ හානිය දැන් අප පියවාගන්නේ කාගෙන්ද? 
 
  
අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ මහබැංකු අධිපතිවරයා වශයෙන් සිටියදී ‘හෙජින් ගිවිසුම’ නමැති දෙයකට උරදුන්නේය. ඇත්තෙන්ම ‘හෙජින් ගිවිසුම’ යනු සූදුවකි. 
 
 
සූදුවකදී ලැබිය හැකි දිනුම-පැරදුම ගැන, පක්ෂව සහ විපක්ෂව, කෙනෙකුට තර්ක කළ හැකිය. ඕනෑම සූදුවක අවදානමක් තිබේ. එසේම, ඊට සරිලන හෝ එසේ සරිලන්නේ යැයි බැලූ බැල්මට පෙනෙන වාසියක්ද තිබේ. 
 
ඒ නිසා, අජිත් නිවාඩ් කබ්රාල්ගේ ‘හෙජින් ගිවිසුම’ නිසා අවසානයේ ලංකාවට විඳින්නට සිදු වූ විශාල පාඩුව ගැන එකහෙලාම චෝදනා කිරීම සාධාරණ නැති බව මේ ලියුම්කරුගේ විශ්වාසයයි.
 
 දැන් ඒ සිද්ධිය සමග, රසායනික පොහොර එක රැයකින් තහනම් කිරීමේ ‘සූදුව’ සන්සන්දනය කරන්න. අවදානමට සරිලන හෝ එසේ සරිලන්නේ යැයි ඈතකින් හෝ නොපෙනන ‘සූදුවක්’ නොවේද එය? පොහොර තහනම නිසා තේ නිෂ්පාදනය අඩු වන බවට ඔට්ටු ඇල්ලීමට මිස, ඒ නිසා නිෂ්පාදනය වැඩි වෙතැයි ඔට්ටු ඇල්ලීමට හිතන ‘බුද්ධිමතා’ කවුද?
 
 
ළාමක සැලසුම්:
 
 
පාලකයන්ගේ ළාමක සැලසුම් සඳහා උදාහරණයක්ද මේ කාසියේම අනිත් පැත්තේ තිබේ. රසායනික පොහොර තහනම් කරන විට, ඊට ආදේශකයක් වශයෙන් කාබනික පොහොර පාවිච්චියට සමස්ත කෘෂිකර්මාන්තය මාරු කරවීමේ ලඳ බොළඳ අදහසක් මිස නිසි සැලසුමක් ආණ්ඩුවට තිබුණේ නැත. 
 
‘වියත් මඟ’ යැයි නම් දැරූ පිරිසකගේ ඔළු ගෙඩිවල තිබුණේ කුණුකන්දල් ය. ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන, මහාචාර්ය පට්ටමක්ද ඇති චන්න ජයසුමන උදාහරණයට ගත්තොත්, කෝවිඩ් වසංගතය සඳහා දේශීය පැණියක්ද, උතුරුමැද වකුගඩු රෝගය සඳහා තවත් දේශීය සොයා ගැනීමක්ද, කාලිඅම්මා හෝ වෙනත් එවැනි පිශාචයෙකු හීනෙන් කී අවවාදයක් අනුසාරයෙන් තමන් සන්තකයේ ඇති බව කීමට තරම් මේ ‘බුද්ධිමතා’ දුරදිග ගිය බව, පියවි සිහියෙන් කෙසේ නම් කෙනෙකු විශ්වාස කරන්නද! 
 
ඉතිං, මොවුන් යෝජනා කෙළේ කුමක්ද? එක රැයකින් කාබනික පොහොරට මාරු වීමයි. ඒ අනුව කාබනික පොහොර තොගයක් චීනයෙන් ගෙන්නුවේය. දැන් ඒ පොහොරවලත්, පසට සහ වගාවට හානිකර රසායනික තත්වයක් තිබේලු. 
 
අවසානයේ, තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් කාබනික පොහොර අදහස පැත්තකින් තබා තිබේ. ඒ, දැනට ය. ඉස්සරහට තවත් දේවල් පැත්තකින් තැබෙනු ඇත.  
 
 
තේ පමණක් නොව, ඊයේ වන විට සමාජ මාධ්‍ය වාර්තා කළ පරිදි, වී ගොවියෝද පොහොර ඉල්ලා තැන් තැන්වල කෘෂිකර්ම ඇමතිගේ පඹයෙකුට ගිනි තබනු දක්නට ලැබුණි. ඊළඟ කන්නයෙන් පසු, ලංකාවේ ජනතාව අතරින් ආහාර කැරලි හටගත්තොත් කෙනෙකු පුදුම විය යුතු නැත. 
 
 
බොහෝ ඇස්තමේන්තුවලට අනුව, ඊළඟ කන්නයේ වී නිෂ්පාදනය සියයට 40 කින් අඩු වන්නේය. පවතින ආහාර හිඟයට ආණ්ඩුවේ විසඳුම වුණේ කුමක්ද? හදිසි නීතිය පැනවීම සහ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු ‘අත්‍යාවශ්‍ය සේවා අධිකාරියේ’ සභාපති තනතුරට පත්කිරීමයි! 
 
නායකයා රටේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට බලන්නේත්, යුද්ධය පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීමට හිතූ මනස් රාමුවෙන්ම බව මෙයින් නොපෙනේද? 
 
Pg03 A 
 
‘තමා ඇමති ධුරයේ සිටින තාක් කල්, එක සහල් ඇටයක්වත් පිටරටින් ගෙන්වන්නේ නැති’ බවට මහින්දානන්ද අළුත්ගමගේ කයිවාරු ගසා වැඩි කලක් නැත. දැන් සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් පිටරටින් ගෙන්වීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටී. 
 
 
එසේ ගෙන්වන සහල්, කාබනික පොහොර පාවිච්චි කොට නිෂ්පාදනය කළ සහල් ද? නැත. ඒවා වවා ඇත්තේ, අපටත් වඩා රසායනික පොහොර පාවිච්චි කරමින් විය හැකිය. 
 
එහි අදහස වන්නේ, එක පැත්තකින් අපේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා යැයි කියමින් රසායනික පොහොර තහනම් කළ ආණ්ඩුවක්, අනිත් පැත්තෙන් අපේ තියෙන විදේශ විනිමය සොච්චමත් පාවිච්චි කොට, රසායනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කළ සහල් මෙට්‍රික් ටොන් 100000 ක් පිටරටින් ගෙන්වා අපේ ජනතාවට කැවීමට දැන් පේවී සිටින බවයි. 
 
‘පාලන මිලක්’ දමා, හදිසි නීතිය දැම්මේ බලහත්කාරයෙන් වුව සහල් තොග අත්පත් කරගැනීමට විය යුතුය. ඒ ‘පාලන මිල’ ගොවියාටවත්, වී මෝල්කාරයාටවත් දරාගත හැකි මිලක් නොවේ. 
 
ගොවියන් සහ මෝල් හිමියන් ඒ මිලට එකඟ නොවෙතොත් ඔවුන්ට ‘පාඩමක්’ ඉගැන්වීමට ‘හදිසි නීතිය’ තිබුණි. ඒ අනුව ‘කඩා පනින හමුදා’ යොදා සමහර වී ගබඩා වටලෑවේය. අල්ලාගත් වී තොග, ගබඩාකරුවන්ගෙන් මිලට ගෙන සතොස හරහා බෙදාහැරීමට පියවර ගත්තේය. 
 
එහෙත්, සහල් හිඟයේ අඩුවක් හෝ සහල් මිල ගණන්වල අඩුවක් හෝ සිදු නොවීය. අවසානයේ ඊනියා මිල පාලනය ඉවත් කෙරුණි.
 
  
රටක ආර්ථික චක්‍රයේ කේන්ද්‍රීය බලවේග දෙක වශයෙන් සැලකිය හැක්කේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ය. ඕනෑම ආර්ථිකයක මේ දෙන්නා අතරේ අන්තර් යැපීමක් පවතින්නේය. එසේ නොමැතිව කිසි ආර්ථිකයක් ඉදිරියට නොයයි. 
 
 
තවත් විදිහකින් කිවහොත්, නිෂ්පාදකයාගේ ලාභයත්, පාරිභෝගිකයාගේ ප්‍රශස්ත උපයෝගීතාව සහ මිලදී ගැනීමේ හැකියාවත් අතරේ තුලනයක් තිබිය යුතුය.  උදාහරණයක් වශයෙන් නිෂ්පාදකයෙකු අධික ලාබ ලැබීමට යාමේදී, එය පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටමට පැමිණි විට, එම නිෂ්පාදනය නොවිකිණී පවතියි. 
 
එනම්, ව්‍යාපාරය කඩාවැටෙයි. නිෂ්පාදකයෙකු මෙසේ අධික ලාබ ලැබීමට යාමේදී පමණක් නොව, යම් නිෂ්පාදනයක පිරිවැය හෙවත් වියදම ඇත්තෙන්ම අධික වන විටත්, ඊට සරිලන මිලක් ගෙවා පාරිභෝගිකයාට එම භාණ්ඩය මිලදී ගත නොහැකි නම් එවිටත් ව්‍යාපාරය කඩාවැටෙයි. 
 
නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර පවතින මෙම නොපෑහීම හෙවත් පරස්පරයට විසඳුමක් වශයෙන් ‘මිල පාලනය’ සාර්ථක ප්‍රතිකර්මයක් නොවේ. 
 
උදාහරණයක් වශයෙන්, යම් හේතුවක් නිසා සහල් නිෂ්පාදනය සඳහා ගොවියාට වැය වන මුදලට අඩු අගයක් ‘මිල පාලනය’ යටතේ ගැසට් කළ පමණින්, ඒ පාලිත මිලට පාරිභෝගිකයා අතට හාල් කිලෝවක් ලැබෙන්නේ නැත. 
 
හේතුව, එම මිලට වී නිකුත් කිරීම ගොවියා ප්‍රතික්ෂේප කරන බැවිනි. වහා කුණු වන නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමහරවිට පාඩුවක් දරාගෙන හෝ තමන්ගේ නිෂ්පාදනය ‘පාලිත මිලට’ විකිණීමට ගොවියෙකුට සිද්ධ විය හැකිය. එහෙත් සහල් වැනි එසේ ඉක්මණින් කූණු නොවන නිෂ්පාදනයක් පාඩුවට විකුණන්නට ගොවියාට හෝ වී මෝල් හිමියාට තදියමක් නැත.
 
(මෝල් හිමියන්ගේ ජාවාරම්කාර භූමිකාව මෙහිදී බැහැර නොකෙරේ. එහෙත්, ඒ ජාවාරම්කාර පරිසරය වගාදිගා කෙරුණේ රාජ්‍ය පාලකයාගේ, “සිරිලක දේ සිරිසැප දේ” නමැති ළාමක ජාතිකවාදය කරපින්නා ගත් කෙටි-දුරදැක්ම නිසා ය).  
 
 
රාජ්‍ය අනුග්‍රහය ලත් දූෂණය:
 
 
අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල මෙසේ ඉහළ යාමට හේතු වූ ඊළඟ වැදගත් කාරණය වන්නේ, රාජ්‍ය අනුග්‍රහය ලත් දූෂිත ගනුදෙනු ය. 
 
පොල්තෙල් සඳහා තිබූ රුපියල් 50 බද්ද පැය 24 ක කාලයක් සඳහා පමණක් ශත 25 දක්වා අඩු කළ අවස්ථාව ඔබට මතකද? එසේ කෙළේ කවුද? අගමැති මහින්ද රාජපක්ෂ ය. ඒ පැය 24 ගත වූ පසු නැවතත් බද්ද වැඩි කෙළේය. බද්ද අඩු කළ පැය 24 ඇතුළත එක් ව්‍යාපාරිකයෙකු ලැබූ කෝටි ගණනක අයුතු ලාභය, මහබැංකු බැඳුම්කර වංචාවෙන් උපයාගත් (සහ එදා සිටම රාජසන්තකයට ගෙන ඇති) මුදලටත් වඩා අධික බව මාධ්‍ය වාර්තා කෙළේය. 
 
ඒ පොල්තෙල් ව්‍යාපාරිකයා ලැබූ අයුතු කෝටි ගණන මේ රටේ ජනතාව වෙනුවෙන් වැය කළ හැකිව තිබූ ධනයකි. ඉතිං, බැඳුම්කරේදී මෙන් ඒ ධනය රාජසන්තක කෙළේද? නැත.  
 
 
ඊළඟට සුදු ළුණු මගඩිය ගන්න: සුදුළුණු කන්ටේනර් දෙකක්, කිලෝව රුපියල් 135 බැගින් කොටුවේ ව්‍යාපාරිකයෙකුට විකිණූ සතොස ආයතනය, එම ව්‍යාපාරිකයාගෙන්ම එම සුදුළුණු කිලෝව රුපියල් 450 බැගින් ගෙවා ආපසු මිල දී ගත්තේය. 
 
 
මේ ආකාරයේ රාජ්‍ය අනුග්‍රහය ලත් මගඩි ගණනාවක් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කෙළේය. නිදහසෙන් පසු අපේ රට පාලනය කළ ‘හොර හැත්ත’ වෙනුවට, අලුත් දේශපාලන සංස්කෘතියක් සහ ‘වියත් මඟකින්’ රට ගොඩගැනීමට බාර කළ නායකත්වයකින් 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වුණේ මෙයද?
 
තමාට රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැති බවත්, වැරදි හදාගෙන ඉදිරියට යා යුතු බවත් පසුගිය සතියේ ජනාධිපතිවරයා කියා තිබුණි. ඇත්තෙන්ම මෙය, අත්දැකීම් නැති නිසා ඇති වූ තත්වයක්ද, එසේ නැතහොත්, විචාර බුද්ධියේ අඩුවක් නිසා ඇති වූ තත්වයක්ද?
 
 
 අත්දැකීම් නැති කෙනෙකුට අත්දැකීම් ඇති කෙනෙකුගේ සහාය ලබා ගත හැකිය. එහෙත්, විචාර බුද්ධිය නැතොත්, ඒ වෙනුවට ආදේශ වනු ඇත්තේ ධම්මික බාස්ගේ, එලියන්ත වයිට්ගේ හෝ ඥානක්කාගේ “ඥානයයි”. 
 
 
 
 
 
Gamini Viyangoda Colombo Telegraph(ගාමිණී වියන්ගොඩ) 
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(උපුටා ගැනීම - anidda.lk)
 
 
 
 
 
 
 
 

 
 The Leader TV
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? මොණරවිලගේ ලියමන 
 
 
කටින් පුටින් - වැඩ ටින් ටින් | The Leader TV 
 
 
චීන පොහොර සාම්පල කාගේ වැඩක්ද? | The Leader TV
 

 

 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58