ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂවල සහය තවදුරටත් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂයේ) ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ

පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) අරලිය ගහ මැඳුරේදී පැවති විශේෂ සාකච්ජාවේදීය.

ඉන්දීය සංචාරය නිමා කරමින් යලි දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා, එම රැස්වීමට ආරාධනා කර තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වීම විශේෂ කාරණයකි.

එහිදී විනාඩි 40ක පමණ දේශනයක් පවත්වා ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, ආණ්ඩුවේම අනෙකුත් පාර්ශ්ව තමන්ට දොස් පැවරුවත් පෙරළා තමන් එසේ නොකරන බවත්, සමගියෙන් සියලු දෙනාම ඉදිරියට යාම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කර තිබේ.

තමන් තවමත් උසාවි යන වාරයක් පාසා අතීත සිදුවීම් සියල්ලම මතක් වුවද ඒ සියල්ලම තමන් අමතක කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම සංවර්ධනය කළ පමණින් ජන්ද ජයග්‍රහණය කළ නොහැකි බවද පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, එසේ නම් 2015 දී මහින්ද රාජපක්ෂ නැවත ජයග්‍රහණය කළ යුතු බවද කියා තිබේ.



''ප්‍රාදේශීය සභා ඡන්දේ දී පොහොට්ටුවට ලැබුනේ ලක්ෂ 50ක් විතර. එත් ජනාධිපතිවරනේ දී ලක්ෂ 69 ගත්තා. මහ ඡන්දේ දීත් ඒ ඡන්ද ගාන ගත්තා. විශේෂයෙන් ශ්‍රී ලංකා එක අපිත් එක්ක එකතුවුන නිසා තමයි ඒවගේ ජයග්‍රහණයක් ලැබුනේ..'' යයි සඳහන් කර ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා, එමනිසා ආණ්ඩුවේ සියලු පක්ෂ සමගියෙන් ඉදිරියට යා යුතු බව සිය ‌මන්ත්‍රී කණ්ඩායමට අවධාරණය කර තිබේ.



සවස 6ට පමණ අරලිය ගහ මන්දිරයේදී ආරම්භ වූ සාකච්ජාව මධ්‍යම රාත්‍රිය දක්වාම පැවැත්වී ඇති අතර අගමැතිවරයා විසින් පැමිණ සිටි සියලුම දෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීමට පියවර ගෙන තිබිණ.

මෙම රැස්වීමේදී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පමණක් තමන්ට අමාත්‍ය ධූරයක් හිමි නොවීම සම්බන්ධයෙන් කනස්සල්ලෙන් යුතුව අදහස් දක්වා ඇති බව වාර්තා වේ. පසුව ඇය රාත්‍රී භෝජන සංග්‍රහයට හෝ නොසිට පිටව ගොස් ඇති බවද දැනගන්නට ඇත.




 ආණ්ඩුව තුළ සිටින හවුල්කාර පක්ෂ විසින්ම රජය විවේචනය කිරීමේදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් ආණ්ඩුව තුළ සිටිමින් වෙනම කල්ලි කණ්ඩායම් ගොඩනැගීමට දරන උත්සාහයක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මෙම හමුවේදී මූලික අවධානය යොමු කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තා අනාවැකි පළකර තිබුන ද එවැනි කිසිවක් මෙම රැස්වීමේදී කතාබහට ලක්ව නොමැත.



මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම රැස්වීමට සහභාගී වූ ඇමතිවරයකු පැවසුයේ, මිලාන් ජයතිලක වැනි බැසිල් වාදින් කිහිප දෙනෙකු හැර වෙනත් කිසිවකු මෙහිදී අදහස් දැක්වීමට ඉදිරිපත් නොවූ බවයි.

''මැති ඇමතිවරු කලකිරිලා. කීප දෙනෙක්ම ආවෙත් නැහැ. අන්තෙටම කලකිරිලා ඉන්නේ. මිනිස්සුන් මුනදෙන ප්‍රශ්න කතාකලා කියල විවේචනය කල කියල වැඩක් නැහැ. එයාට ඕන තීන්දු අරගෙන අපේ පිට පටවනවා. මොකටද නිකන් ප්‍රශ්න ඇතිකර ගන්නේ , මමත් ඔන්න ඔහේ කටපියාගෙන අහගෙන හිටියා...ගිතානම් දුක් ගැනවිල්ලක් කියල නැගිටලා ගියා'' යයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.



බැසිල් - දයාසිරි හමුවක් !


මෙම රැස්වීමට පෙර මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා අතර පාර්ලිමේන්තුවේදී සුහඳ කතාබහක් සිදුව ඇති අතර එහිදී යම් එකඟතාවයට පැමිණ ඇති බවද වාර්තාවේ.

''ඇමතිතුමා ඔය සාගර කාරියවසම් ලට ටිකක් සද්දේ වහල ඉන්න කියන්න. එයාල අපිට හින්ට් ගහනකොට අපිත්  ගහනවා.'' යයි ශ්‍රීලනිප ලේකම්වරයා මෙහිදී නෝක්කාඩු ස්වරයෙන් පැවසු බවද ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

එහිදී ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් සමතයකට පත්කරන බවට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.

පස්වරුවේ පොහොට්ටු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිදුකරනු ලැබුවේ ශ්‍රීලනිප මහ ලේකම් සමග එසේ ඇතිකර ගත් එකඟතාවයට පසුවබව නෙළුම් මාවත ආරංචි මාර්ග සඳහන් කරයි.



බැසිල්ගේ ඉන්දීය සංචාරය අසාර්ථකයි !



මේ අතර ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ, මුල්‍යාධාර ලබාගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා ඉන්දිගේ කළ සංචාරය මුළුමනින්ම අසාර්ථක බවයි. එවැනි මුල්‍ය ආධාරයක් ලබාදීමට ත්‍රීකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් බරපතල තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇතත් අවසන් එකඟත්වයකට පැමිණ නැත. එසේම චීනයෙන් ආධාර ලබාගැනීමට මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් දරු උත්සාහයන්ද අසාර්ථක වී තිබේ.



මේ වනවිට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.2 දක්වා පහත වැටී ඇති බව අනාවරණය වේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මේ බව පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.

මෙය ලංකා ඉතිහාසයේ අවම විදේශ සංචිත ප්‍රමාණය පැවැති කාලසීමාව බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව ලබන වසරේ විදෙස් ණය ගෙවා ගැනීමේ බරපතල අර්බුදයකට මුදල් අමාත්‍යවරයා මේවනවිට මුහුණ දී සිටියි.

 

 

THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය 

 

පිස්සුකුට්ටයා පිටුපස ඉන්න පිස්සා මැදමුලනේ !| මොණරවිලගේ ලියමන  

 

ස' Tool මාරු කරයි! ගොඩයයිද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්