ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා (Masato Kanda) මාර්තු 23 සිට 25 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙයි .
සභාපතිවරයා 23 වන සඳුදා අලුයම 00:15 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත අතර, එහිදී කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු විසින් ඔහුව පිළිගනු ලැබීමට නියමිතව ඇත.
කොළඹ වරාය පාලක මැදිරිය නිරීක්ෂණය කරන සභාපතිවරයා, අනතුරුව කොළඹ ITC රත්නදීප හෝටලයේදී පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ විශේෂ දිවා භෝජන සාකච්ඡාවකට සහභාගී වනු ඇත.
එදිනම පස්වරුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලයේ (SLRM) පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයකට සහ කාර්ය මණ්ඩල හමුවකට ද ඔහු එක්වීමට නියමිතය.
සංචාරයේ දෙවන දිනය වන මාර්තු 24 වන අඟහරුවාදා, මෑතකදී බලපෑ "දිට්වා" (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ හානි නිරීක්ෂණය කිරීම සඳහා සභාපතිවරයා ප්‍රමුඛ දූත පිරිස කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇත.
හෙලිකොප්ටර් යානා මගින් අරණායක රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලය වෙත ගොස්, එතැන් සිට නාරංගල සහ අඹලන්කන්ද යන ප්‍රදේශවල සිදු වූ විනාශය පිළිබඳව ඔහු පෞද්ගලිකවම සොයා බලනු ඇත.
එදිනම පස්වරු 3:00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ සුවිශේෂී අවස්ථාවකි.
සියලු නිල කටයුතු නිම කිරීමෙන් පසු සභාපති මසාටෝ කන්ඩා මාර්තු 25 වන බදාදා අලුයම 01:00 ට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
(සටහන | ජේ. මුණසිංහ)





