The Leader News
BREAKING
Top Ad
පුවත්

පාස්කු නඩුවේ උණුසුම් වාද විවාද: සුරේෂ් සලේ අධිකරණයට නොකැඳවීම ගැන මහේස්ත්‍රාත්ගෙන් CIDයට දොස්

T

The Leader Desk

March 26, 2026 • 4:47 PM

පාස්කු නඩුවේ උණුසුම් වාද විවාද: සුරේෂ් සලේ අධිකරණයට නොකැඳවීම ගැන මහේස්ත්‍රාත්ගෙන් CIDයට දොස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 21 වන දින, වසර දහයක සාමය සුනුවිසුනු කරමින් එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය මෙරට ඉතිහාසයේ අඳුරුතම සලකුණකි.
  • පුද්ගලයින් 300 කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළ මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට, පෙර සිටම ලැබී තිබූ නිශ්චිත බුද්ධි තොරතුරු ක්‍රියාත්මක නොවීම පිළිබඳව විවිධ කොමිෂන් සභා හරහා ආරක්ෂක අංශවල බරපතල ආයතනික සහ සම්බන්ධීකරණ දුර්වලතා රැසක් හෙළිදරව් විය.
  • දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් භාරයේ පසුවන ඔහුගේ නඩුකරය අද (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, විත්තියේ නීතිඥයින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහේස්ත්‍රාත්වරයා අතර උණුසුම් නීතිමය තර්ක විතර්ක සහ සංවාද හුවමාරු විය.
  • සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බවට CID නිලධාරියා ලබාදුන් පිළිතුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැඩි ස්ථාවරයකට එළඹියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


2019 අප්‍රේල් 21 වන දින, වසර දහයක සාමය සුනුවිසුනු කරමින් එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය මෙරට ඉතිහාසයේ අඳුරුතම සලකුණකි. පුද්ගලයින් 300 කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළ මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට, පෙර සිටම ලැබී තිබූ නිශ්චිත බුද්ධි තොරතුරු ක්‍රියාත්මක නොවීම පිළිබඳව විවිධ කොමිෂන් සභා හරහා ආරක්ෂක අංශවල බරපතල ආයතනික සහ සම්බන්ධීකරණ දුර්වලතා රැසක් හෙළිදරව් විය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවල නවතම පෙරළිය සනිටුහන් කරමින්, ප්‍රහාරය සමයේ ඉන්දියාවේ පුහුණුවක නිරතව සිටි හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් භාරයේ පසුවන ඔහුගේ නඩුකරය අද (26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, විත්තියේ නීතිඥයින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහේස්ත්‍රාත්වරයා අතර උණුසුම් නීතිමය තර්ක විතර්ක සහ සංවාද හුවමාරු විය. පහත දැක්වෙන්නේ එම අධිකරණ ක්‍රියාවලියේ සජීවී වාර්තාවකි.

"නිකන් රඳවාගෙන සිටින පුද්ගලයෙක් නෙමෙයි" - CIDයට මහේස්ත්‍රාත්ගෙන් නියෝග

නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ මහතා අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා CIDයෙන් විමසීමක් කළේය. සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බවට CID නිලධාරියා ලබාදුන් පිළිතුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැඩි ස්ථාවරයකට එළඹියේය.

කොටුව මහේස්ත්‍රාත්:
"මේ පුද්ගලයා දැන් සැකකරුවෙක්. නිකන් රඳවාගෙන සිටින පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ යුතු යි."

ඒ අනුව සැකකරු මීළඟ නඩු දිනය වන අප්‍රේල් 22 වැනිදා අධිකරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා CIDයට නියෝග කළේය.


බුද්ධි අංශ නිලධාරීන් සාක්ෂිකරුගේ නිවසට යයි: අධිකරණයේ අවධානය

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මතු වූ සංවාදයේදී CIDය විසින් බරපතල අනාවරණයක් සිදු කරන ලදී.

CID නිලධාරියා:
"ස්වාමීනි, පසුගිය නඩු දිනයට පසු දින යුද හමුදා බුද්ධි අංශයේ පිරිසක් මීගමුව ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවෙකුගේ නිවසට ගොස් තිබෙනවා. එම සැකකරු මේ වන විට නිවසින් පලා ගොස් වෙනස් ස්ථානයක ජීවත් වෙනවා. මේ සාක්ෂිකරු වෙත සැකකාර සුරේෂ් සලේ විසින් මුස්ලිම් ජාතිකයන් පිරිසක් යොමු කර තිබෙන බව ඔහුගේ කට උත්තරයේ සඳහන් කර තිබුණා. ප්‍රදේශයේ පල්ලි පිළිබඳ තොරතුරු එම මුස්ලිම් ජාතිකයින්ට ලබා දෙන ලෙස සුරේෂ් සලේ දැනුම් දී තිබූ බවත් එම සාක්ෂිකරු තමන්ගේ ප්‍රකාශයේ සඳහන් කර තිබුණා. මේ තුළින් සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදුවී තිබෙනවා."

මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අදාළ නිලධාරීන් නීත්‍යානුකූල රාජකාරියකට එහි ගියේ නම් ගැටලුවක් නොමැති වුවද, එය බලපෑම් කිරීමේ අරමුණින් සිදුකළ අපරාධමය වරදක් නම් වහාම වගකිවයුත්තන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

"යුක්තිය අපගමනය වන පරීක්ෂණයක්" - විත්තියෙන් දැඩි ප්‍රහාරයක්

සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වමින් විමර්ශනයේ අපක්ෂපාතීත්වය දැඩි ලෙස ප්‍රශ්න කළේය.

නීතිඥ අසිත් සිරිවර්ධන:
"ස්වාමීනි මේක සම්පූර්ණයෙන් ම යුක්තිය අපගමනය වන ආකාරයේ පරීක්ෂණයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI ආයතනය, ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය මගින් විශේෂ විමර්ශන පවත්වා තිබෙනවා. ඒ කිසිදු විදේශීය විමර්ශන ආයතනයක් මේ ප්‍රහාරයට මගේ සේවාදායකයා සම්බන්ධ යි කියලා ප්‍රකාශ කරලා නැහැ. විජිත් මලල්ගොඩ කොමිසම, ජනක් ද සිල්වා ජනාධිපති කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කිසිවකින් චෝදනා එල්ල වෙලා නෑ.

"අනෙක් අතට ජයකී ද අල්විස් කොමිසමෙන් වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතාට සහ වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගත් අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කරන ලෙස නිර්දේශ කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවැනි අධ්‍යක්ෂවරයෙක් තමයි මගේ සේවාදායකයාට එරෙහිව විමර්ශනයක් කරන්නේ. ඉතිං සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන්න පුළුවන් ද?"


විත්තිය (වැඩිදුරටත්):
"ස්වාමීනී..., වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මගේ සේවාදායකයාට විරුද්ධව සිදු කරන පරීක්ෂණවලින් යුක්තිය අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා මේ පරීක්ෂණය ඔහු ප්‍රධානත්වය නොදරන පොලිසියේ ඕනෑ ම අංශයකට මාරු කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

එමෙන්ම CIDය විසින් අධිකරණයෙන් කරුණු වසන් කරන බවටත්, "හාදියා" නමැත්තියගේ ප්‍රකාශවලට සාරා ජස්මින්ගේ කටහඬ ඇසුණු බවට අලුතින් කරුණු එක්කර ඇති බවටත් නීතිඥවරයා චෝදනා කළේය.

විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: CIDය කරුණු පැහැදිලි කරයි

විත්තියේ ඉල්ලීම සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනය මාරු කිරීම ප්‍රතික්ෂේප කළේය.

කොටුව මහේස්ත්‍රාත්:
"මේ නඩුකරයට පාදක වන සිද්ධිය බරපතළ අපරාධයක්. ඒ වගේ ම මේක සංවේදී විමර්ශනයක්. මෙවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් සලකා බලන්න ප්‍රබල කරුණු ඉදිරිපත් විය යුතු යි. මේ සිද්ධියට අදාළ මුල් විමර්ශනය ආරම්භ කර තිබෙන්නෙත් වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යටතේ. එනිසා මේ විමර්ශනය වෙනත් අංශයකට මාරු කිරීම් නිසා ප්‍රබල කරුණු අධිකරණයට පෙනී යන්නේ නැහැ."


විමර්ශනයේ අරමුණු පැහැදිලි කරමින් CID නිලධාරීන් අධිකරණයට මෙසේ කරුණු දැක්වීය:

CID නිලධාරියා:
"ස්වාමීනී..., මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතාවට ආරම්භ කළ විමර්ශනයක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය සමග සැඟවී තිබෙන තොරතුරු අනාවරණය කර ගැනීමට යි මේ විමර්ශනය ආරම්භ කරලා තිබෙන්නේ. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරා නොගියේ ඇයි? සයින්දමරුදු පිපිරීම සිදුවන අවස්ථාවේ නියාස් නමැති යුද හමුදා තොරතුරුකරු වෙඩි තබා ඝාතනය කළ ආකාරයට, බෝම්බ පිපිරිම් සඳහා කොළඹ හා මඩකලපුව තෝරා ගත්තේ ඇයි? යනාදී සංවේදී කරුණු අනාවරණය කරගැනීම සඳහා මේ විමර්ශනය සිදු කරනවා."

අසාද් මවුලානාගේ ප්‍රකාශය සහ නීතිඥ රහස්‍යභාවය පිළිබඳ නියෝග

චැනල් 4 නාලිකාවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අසාද් මවුලානාගෙන් මෙතෙක් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බව CIDය අධිකරණයේදී පිළිගැනීමෙන් අනතුරුව, මීළඟ නඩු දිනයට පෙර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට උත්සාහ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එසේම, සැකකරු නීතිඥවරුන් හමුවන අවස්ථාවල විමර්ශන නිලධාරීන් ඒ අසල සිටින බවට විත්තිය නැගූ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්, නීතිඥ-සේවාදායක සන්නිවේදනයන්ට සවන් දීමට CIDයට අයිතියක් නොමැති බව අධිකරණය තරයේ අවධාරණය කළේය.

භාරයේ පසුවන අනෙක් සැකකරුවන් දෙදෙනාට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ ද නැතහොත් PTA යටතේ චෝදනා ගොනු කරන්නේ ද යන්න පිළිබඳව මීළඟ දිනයේ දැනුවත් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව යළි අප්‍රේල් 22 වන දා කැඳවීමට නියෝග කළේය.

මේ හරහා ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ හා දේශපාලන ක්‍රියාකාරිත්වයේ අඳුරු තැන් ස්පර්ශ කරන පාස්කු විමර්ශන, තවත් තීරණාත්මක සහ සංකීර්ණ නීතිමය ක්‍රියාවලියක් කරා අවතීර්ණ වී ඇති බව පැහැදිලිය.

 
  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...