දින පහකින් නොනවත්වා කඳු දහයක් තරණය කරනවායැ යි පැවසුවොත් ඔබට එය විශ්වාස කළ හැකිද?

ඒ කඳු දහයත්, ශ්‍රී ලංකාවේ පිළිවෙළින් උසින් වැඩිම කඳු දහය නම් ඔබට එය විශ්වාස කිරීම තවත් අපහසු විය හැකි ය.

බීබීසී සිංහල මේ ලිපියෙන් පාඨක ඔබ වෙත ගෙන එන්නේ බාධක අවම කරගනිමින් ශ්‍රී ලංකාවේ උසින් වැඩිම කඳු දහය සාර්ථක ලෙස තරණය කළ කණ්ඩායමක අත්දැකීම යි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කඳු තරණයට, ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමට කැමති දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් තුළ ද විශාල උනන්දුවක් තිබේ.

වර්තමානයේ දී, තනිව සංචාරය කිරීමේ (solo travelling) ප්‍රවණතාව ඇතැමුන් තුළ ඇති වී තිබීමෙන් බොහෝ සංචාරකයන් මෙම කඳු තනිව තරණය කිරීමට යාම නිසා සිදුවූ විවිධ අනතුරු පසුගිය කාලයේ වාර්තා විය. විදේශීය කාන්තාවන් කිහිපදෙනෙකු ද ඒ අතර විය.

මෙවැනි හේතූන් නිසා, සංචාරකයන් තුළ ඇතිවන සැකය දුරලීමට සහ ලිංගභේදයකින් තොරව නිවැරදි සැලසුමක් ඇති ඕනෑම අයෙකුට කඳු තරණය කිරීමේ අභියෝගය ජයගත හැකිබව ඔප්පු කර පෙන්වීමට, අටදෙනෙකුගෙන් සමන්විත තරුණ කණ්ඩායමක් අගෝස්තු මාසයේ දී දින පහකින් ශ්‍රී ලංකාවේ උසම කඳු දහය තරණය කිරීම ආරම්භ කළහ.

 

ගමනට පෙර ශාරීරික හා මානසික සූදානම

"මම මීට කලින් විවිධ ත්‍රාසජනක අත්දැකීම් ලැබෙන සංචාරයන් කරලා තියෙනවා. ඒ වගේ ම මම කඳු තරණයටත් ටිකක් උනන්දු යි. මේ අදහස මට ආවේ හරිම අහම්බයකින්," එලෙස බීබීසී සිංහල සමග දොඬමළු වූයේ මෙම කඳු තරණය කළ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ සංජීවන් අමලනාතන් ය.

"එවරස්ට් කන්ද තරණය කරපු පළමු ශ්‍රී ලාංකිකයා වෙන ජයන්ති මහත්මියව මට මුණගැහුණු වෙලාවක එයා කිව්වා තවමත් කාන්තාවන්ට සහ වෙනත් අනන්‍යතාවක් තියෙන කෙනෙක්ට ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න අනාරක්ෂිත තත්ත්වයක් තියෙන්නේ කියලා. ඒ මතුකරපු ගැටළුවත් එක්ක තමයි මේ අදහස මගේ හිතට ආවේ," ඔහු පවසයි.

පසුව ඔහුගේ මිතුරු කණ්ඩායමක් සමග සාකච්ඡා කර, ඕනෑම පුද්ගල සමාජභාවයක් ඇති අයෙකුට ආරක්ෂිතව කඳු තරණය කළ හැකි බවට සමාජයට පණිවුඩයක් ලබා දීම සඳහා මෙම ගමන සැලසුම් කර තිබේ.

ඔවුන්ගේ සංචාරය ඔවුන් නම් කර තිබුණේ 'Summit Equality' ලෙස ය. මෙම කණ්ඩායමට තරුණයන් සිව්දෙනෙකුත්, තරුණියන් තිදෙනෙකුත් සහ සංක්‍රාන්තික ලිංගික කාන්තාවක ද එක්ව තිබුණි.

මෙවැනි දීර්ඝ ගමනක් යාමට නම් අනිවාර්යයෙන්ම සංචාරකයන්ගේ ශරීරයට එයට ඔරොත්තු දිය යුතු ය. එම නිසා නිතර එවැනි ක්‍රියාකාරකම්හි නොයෙදෙන තැනැත්තන් එවැනි සංචාරයකට පිටත්වීමට පෙර ඔවුන්ගේ ශරීරය මෙන් මනස ද සූදානම් කරගත යුතු බව සංජීවන් පැවසුවේ ය.

කඳු තරණයට පිටත්වීමට පෙර මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් ව්‍යායාම කරමින් සහ ආහාර පාලනය කරමින් එයට සූදානම් වූ බව,කණ්ඩායමේ සාමාජිකාවක් වූ ඉන්දුජා ගුණසේකරන් පැවසුවා ය.

"මම ශාරීරිකව වගේම මානසිකවත් ඒකට ලෑස්ති වුණා. සමහරවිට මට මහන්සි වුණාම හිතෙන්න පුළුවන් නවතින්න ඕනෙ කියලා. ඒ වගේ දේවල් වෙන එක නවත්වගන්න මම හොඳ මානසික තත්ත්වයක් ඒ ආසන්න කාලයේ පවත්වාගෙන ගියා."

මෙම කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකුම බාලදක්ෂ සාමජිකයන් වීමත්, එක් සාමාජිකාවක් ප්‍රථමාධාර සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඇති තැනැත්තියක වීමත් ගමන සාර්ථක කරගැනීමට සහායක් වූ බව කණ්ඩායමේ සාමාජිකයෝ පවසති.

 

උසම කන්දෙන් ආරම්භය

මෙම කණ්ඩායම පළමුව තරණය කිරීමට තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ උසින් වැඩිම කන්ද වන පිදුරුතලාගල යි. ඉන්පසු ඔවුහු Single Tree Hill, කිකිළියමාන, මහකුඩුගල, Conical Hill, කිරිගල්පොත්ත, තොටුපොළ කන්ද, උඩ රදැල්ල සහ සමනල කන්ද තරණය කළහ.

"අපි මේ හැම තරණයකටම කලින් ඒ ඒ කන්ද අයිති ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ හෝ රෝහලේ වෛද්‍යවරයෙක් එක්ක දුරකතනයෙන් සම්බන්ධතාවයක් තියාගෙන ගියා. ඒ වගේම අපි මේ විදිහෙ සංචාරයක් යන බවට ඒ අයව දැනුවත් කරලයි ගියේ," තරණයට පෙර සිදු කළ වැදගත් ම කටයුත්තක් ගැන සංජීවන් ප්‍රකාශ කළේ ය.

ඇතැම් කඳු තරණයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබා ගැනීමට සිදු වූ බව ද ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම මෙම කඳු තරණය සඳහා ඔවුන් පළපුරුදු මඟපෙන්වන්නෙකුගේ සහාය ද ලබාගෙන තිබේ.

"ගොඩක් අය Solo Hiking වලට මඟපෙන්වන්නෙක් නැතිව යනවා. නමුත් ඒක අනතුරුදායක යි. අපි දන්නෙ නෑ ඒ ප්‍රදේශයේ තත්ත්වය කොහොමද කියලා. ඇතිවෙන්න පුළුවන් අනතුරු මොනවද කියලා අපි දන්නෙ නැතිවෙන්න පුළුවන්. විදේශීය සංචාරකයන් බොහෝ වෙලාවට ඒ දේවල් නොදැන යන්න ගිහින් තමයි විවිධ අනතුරුවලට ලක්වෙන්නේ. ඒ පණිවුඩයත් අපට කඳු නගින්න උනන්දු අයට දෙන්න අවශ්‍ය වුණා," එක් සාමාජිකයෙකු පැවසුවේ ය.

"අපි අරගෙන ගිය බෑග් පහළ අපි නවතින්න වෙන් කරගත්ත තැනක තියලා අපට අවශ්‍යම දේවල් විතරක් අරගෙන තමයි අපි ගමන පිටත් වුණේ. ඒ දවසේ නගින තියෙන කඳු ටික නැගලා, දවස අවසන් වෙනකොට එන්න නවාතැන් අපි කලින් ම සූදානම් කරගත්තා," කණ්ඩායමේ සාමාජිකාවක් වන සයෝ පැවසුවා ය.

zdsfsfe3

Equality Summit කණ්ඩායම

 

කඳු අතර දින පහක්

ආරම්භයේ සිට අවසානය දක්වා ම සාමාජිකයන් අතර වූ කණ්ඩායම් හැඟීම ද ගමන සාර්ථක කරගැනීමට හේතුවක් වූ බව සාමාජිකයෝ පවසති.

"අපි යන අතරෙ දි කෙනෙක්ට ටිකක් අමාරු වුණත් එයාගෙ බෑග් තව කෙනෙක් අරගෙන, එයාට උදවු කරගෙන යන්න අපට පුළුවන් වුණේ කණ්ඩායමක් විදිහට මේ ගමන යන්න සැලසුම් කළ නිසයි. ඒ වගේම සමබර කණ්ඩායමකුත් සිටි නිසා හොඳින් තත්ත්ව කළමනාකරණය කරගන්න පුළුවන් වුණා," එක් සාමාජිකයෙක් පැවසුවේ ය.

"මේ ගමනෙ දි අපට පරිසරයෙ ඇත්තම සුන්දරත්වය විඳගන්න පුළුවන්වුණා. පුංචි දිය පාරවල්වලින් එතෙරවෙලා පාරවල් හදාගෙන යන්න වුණා. මඟ දි පොඩි පොඩි කෑම කකා ගියේ. වතුර ඉවර වුණාම පොඩි වතුර පාරවල්වලින් වතුර බිවුවා. කාර්යයබහුලව හිටපු අපට මේ අත්දැකීම වෙනස්ම අත්දැකීමක් වුණා," ඉන්දුජා පැවසුවා ය.

ඔවුන් එක් රාත්‍රියක් හෝර්ටන් තැන්නේ ඉදිකළ කඳවුරක ගතකර තිබුණි.

"රෑ වෙනකොට ඇඟ හිරිවැටිලා යන සීතලක් දැනුණා. පුංචි ගිනි මැලයකුත් අපි ගහගෙන හිටියෙ සත්තුන්ගෙන් කරදරයක් වුණොත් කියලා. එදා කොයිතරම් සිතල දවසක් වුණත් උදේ වෙද්දි පුදුම ලස්සනක් තිබුණේ. එක පැත්තකින් ඉර පායගෙන එනකොට තිබුණේ හරිම සුන්දර දර්ශනයක්," එක් සාමාජිකයෙකු ඔහුගේ අත්දැකීම පැවසුවේ ය.

"අපට තරණය කරන්න අමාරුම වුණේ කිරිගල්පොත්ත. ඒක ලොකු බෑවුම් තියෙන කන්දක්. සමහර විට පොඩි දුරක් යන්න අපට ලොකු වටයක් යන්න වුණා. ඒ වගේ කන්දක් මඟපෙන්වන්නෙක් නැතිව යන එක හරිම අනතුරුදායක යි," සංජීවන් පවසයි.

"කිරිගල්පොත්ත කියන්නෙ ලංකාවේ දෙවැනියට උසම කන්ද වුණත් පිදුරුතලාගලට වඩා ලොකු මහන්සියක් කිරිගල්පොත්ත වෙනුවෙන් යොදවන්න අපට සිදුවුණා. අපේ සාමාජිකයන්ට ඒ වෙනකොට තෙහෙට්ටුවත් ටිකක් වැඩි වෙලා තිබුණේ. මඟ නැවතිලා අපේ ඒකාකාරී බව බිඳෙන දේවල් කරමින් තමයි අපි මේ ගමන ගියේ."

සෑම පැය බාගයකට වරක් ම සාමාජිකයන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් සැවොම සොයා බැලූ බවත්, සෑම පැයකට/ පැය එකහමාරකට වරක්ම කෙටි විවේකයක් ලබා ගැනීමට අමතක නොකළ බවත් ඉන්දුජා සිහි කළා ය.

"සමහර දවස්වල අපි එක දවසෙ කඳු කීපයක් නැග්ගා. ඒ අපට පහසුවෙන් නගින්න පුළුවන් වගේ ම එකම ප්‍රදේශයක පිහිටලා තියෙන කඳු. ඒ දිනය අවසන් වෙලා පහුවදා උදේ පාන්දරින්ම අනෙක් තැනට යන්න පිටත් වුණා," ඇය පැවසුවා ය.

ඔවුන් පළමු දිනයේ දී Single Tree Hill, පිදුරුතලාගල හා කිකිළියාමාන කඳු ද, දෙවන දිනයේ මහකුඩුගල ද, තෙවන දිනයේ Conical Hill, තොටුපොළ කන්ද හා උඩ රදැල්ල ද, සිවුවන දිනයේ උඩ රදැල්ල කන්ද සහ පස්වන දිනයේ දී සමනල කන්ද තරණය කර තිබේ.

"කන්ද නගින එක කොයි තරම් අමාරු වුණත් අන්තිමේ දි මුදුනට ගිහින් පහළ බලනකොට ඒ හැම මහන්සියක්ම අමතක වෙලා ගියා. ඒ හැම දර්ශනයක්ම පුදුමාකාර ලස්සන දර්ශන," සයෝ පවසයි.

"අන්තිම දවසෙ සමනල කන්ද නගිනකොට මටත් ඉන්දුජාටත් ටිකක් අමාරු වුණා. කණ්ඩායමේ අනිත් අය අපේ බෑග් අරගෙන අපට උදවු කරගෙන ගමන අවසන් වනතෙක්ම එකට ගියා."

සමනල කන්දේ දී දුටු ඉර උදාවන දර්ශනය ඔවුන් එම ගමනේ දී නැරඹූ සුන්දරතම දර්ශනයක් බව කණ්ඩායමේ සියලුම සාමාජිකයෝ ප්‍රකාශ කළ හ.

"අහස රත්තරන් පාට වෙලා මීදුම අතරින් ඉර උදාවෙන ඒ දර්ශනය ගැන විස්තර කරන්න වචන නෑ," ඔවුහු පැවසූ හ.

 

xrwexc

සමනල කන්ද ඉර උදාව

 

හයවෙනි දිනයෙන් පසුව

දින පහක අඛණ්ඩ කඳු තරණයෙන් පසුව නැවත සිය සාමාන්‍ය ජීවිතයට පැමිණීම සඳහා ඔවුන්ට දින කිහිපයක් ම ගත වී තිබේ.

"අපි හරියටම මේ ගමන ප්ලෑන් කරලා ගිය නිසාත්, වෙන බාහිර දේවල්වලින් එන බලපෑමත් ගොඩක්ම අඩු වෙලා තිබුණ නිසාත් අපි කිසිම කෙනෙකුට බරපතල අමාරුකම් ආවේ නෑ," එක් සාමාජිකාවක් පැවසුවා ය.

"අපේ කකුල් ඉදිමිලා අන්තිම දවස් වෙද්දි ලොකු අමාරුවක් තිබුණා. ඒවට අවශ්‍ය ප්‍රථමාධාර කරන ගමන් තමයි ගියෙ. අපි යන අතරතුරේ දි කාන්තාවක් අනතුරක් වෙලා මියගිහින් තිබුණා. අපේ අනතුරු අවමවීමට හේතුව අපි කණ්ඩායමක් විදිහට මේ ගමන ගිය එක බවයි මම හිතන්නේ."

ඉන්දුජා පවසන ආකාරයට ඇයට දින කිහිපයක් යන තෙක්ම කකුල්වල මස්පිඬු වේදනාව ඉතා තදින් දැනී ඇත. කෙමෙන් කෙමෙන් ව්‍යායාම සහ අවශ්‍ය මූලික ප්‍රතිකාර සමගින් ඔවුහු නැවත ඉක්මනින් ම යථා තත්ත්වයට පත් වී සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණ සිටිති.

"ඕනෑම පුද්ගල සමාජභාවයක් තියෙන කෙනෙක්ට හරි සැලසුමක් ඇතිව ගියොත් ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් කියන එක අපට අවසානයේ සමාජයට කියන්න පුළුවන් වුණා. ඒ වගේ ම කණ්ඩායම් හැඟීමත් මොන තරම් වැදගත් ද කියන එකත්," සංජීවන් අවසාන වශයෙන් පැවසුවේ ය.

(BBC සිංහල සේවය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්