එම සංවිධානයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නිතිඥ අතුල ද සිල්වා ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත්, තවත් පිරිසකට සංකූලතා ඇතිවීමත්, රෝගීන්ට නිකුත් කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය සහතික කිරීමට නොහැකිවීමත් පිළිබඳව Free Lawyers සංවිධානය කනස්සල්ල පළකර සිටියි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ප්‍රමිතියෙන් බාල ඖෂධ රජයේ රෝහල් මගින් නිකුත් කිරීම, කෘතිම මිල පාලනයක් යටතේ ප්‍රමිතියෙන් උසස් ඖෂධ සඳහා වෙළඳපොල වසා දැමීම, ඖෂධ තත්වය පාලනය විධිමත් නොවීම හා වංචා දුෂණ හෙළිකරන පුද්ගලයින්ගේ රැකියා අහිමි කිරීම හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවය බලවත් අර්බුදයකට ලක්වී ඇත.
බාල ඖෂධ ආනයනය කිරීමත්, ඒ බව අනාවරණය කිරීමෙන් පසුව එම ඖෂධ වර්ග තහනම් කිරීම හා ආශ්‍රීතව බලවත් සැක සංකා උපදවන ක්‍රියාදාමයක් වර්ධනය වෙමින් ඇත. ඖෂධ සැපයුම් සමාගම් හා දේශීය ඖෂධ ප්‍රමිතිකරණයේ නිර්ණායක මේ වන විට බලවත් සැකයට හේතු වී ඇත.
අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශනයක් හේතුවෙන් වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය ඒකකය මේ වන විට සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී ඇති බව පවසන Free Lawyers සංවිධානය, සෞඛ්‍ය කේෂ්ත්‍රයේ පරිපාලන ගැටළු කලමනාකරණයට අසමත්වීම නිසා රට තුල රෝගීන් දහස් ගණනක් පීඩාවට පත් ඇතැයි පවසයි.
Free Lawyers නිවේදනයේ තවදුරටත් මෙසේ දැක්වේ.
කුප්‍රකට කෙහෙළිය රඹුක්වැල්ල ඖෂධ ජාවාරම මෙන් 20 ගුණයකට වැඩි වටිනාකමකින් යුතු ඖෂධ ද, නිසි ප්‍රමිතියක් නොමැති බව නිශ්චිතව හඳුණාගෙන ඇත. නිසි ප්‍රමිතියක් රහිත ඖෂධ වර්ග කොපමණ ප්‍රමාණයක් පවතින්නේ ද යන්න පිළිබඳ නිශ්චිත අදහසක් කිසිදු රාජ්‍ය ආයතනයකට නැත. දියවැඩියාව, අධිකර රුධිර පීඩනය, ප්‍රතිජීවක, වකුගඩු රෝගීන්ට අවශ්‍ය උපකරණ තබා වෙළුම්පටි පවා හිඟයක් පවතී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් ආයතනික විමර්ශන සිදු නොවන අතර, රජයේ විගණන ක්‍රියාවලිය ද අඩපණව ඇත. තව ද, මෙරට ප්‍රධානතම පලාත් පාලන ආයතනයක ප්‍රධානියෙකුගේ ඥාතියෙකුට අයත් සමාගමක් මගින් ගෙන්වූ ඖෂධ වල ප්‍රමිතිය ලබවත් සැකයට හේතුවී ඇත.
කොළඹ ජාතික රෝහලේ භාණ්ඩ මිලදී ගැනීමේ සිදු වී ඇති වංචාවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ගේ වැඩ තහනම් කිරීම Free Lawyers සංවිධානයේ දැඩි අවධානයට යොමුව ඇත. ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා සමාගමේ නිදහස’ මෙමගින් බලවත් සැකයට පාත්‍ර වේ.
තත්වයෙන් උසස් ඖෂධ ජනතාවට දැරිය හැකි මිලකට රෝගීන්ට ලබාදීම රජයට කිසි ලෙසකින් හෝ පැහැර නොහැරිය හැකි වගකීමකි. රජය එම වගකීම තවදුරටත් පැහැර හරින්නේ නම් ඒ පිළිබඳ නෛතික මැදිහත්වීම් සිදු කිරීමට Free Lawyers ක්‍රියාකරනු ඇත. ''




