බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සහ මූල්‍ය අංශයේ ඉහළම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026 ව්‍යාපෘති නිසි කලට නිම කිරීමේ සැලසුම් සකස් කෙරේ
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් යන උතුරු දූපත් ත්‍රිත්වය 'හරිත බලශක්ති දූපත්' ලෙස ප්‍රවර්ධනය කිරීමට සහ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නතර කර දමා තිබූ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතන (JICA) ආධාර ලත් බලශක්ති ව්‍යාපෘති 2027 අයවැය ප්‍රතිපාදන යටතේ කඩිනමින් යළි ආරම්භ කිරීමට රජය තීරණය කරයි.
බලශක්ති අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී තිබේ.
දෙමුහුන් පුනර්ජනනීය බලශක්තිය සහ විදුලි සම්ප්‍රේෂණ ව්‍යුහය
උතුරු දූපත් ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති (Hybrid Renewable Energy System - HRES) මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම් කිහිපයක ප්‍රගතිය මෙහිදී විමසා බැලුණි.
භූගත සහ ජාල උපපොළ සංවර්ධනය:
දැනට වැඩ කටයුතු සිදුවෙමින් පවතින කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා වන 220 kV දෙවන භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය, සාම්පුර් - කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය සහ පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනයට ලක් විය.
නවීන බලශක්ති ප්‍රවේශයන්:
වහල මත සවි කරන සූර්ය බලශක්ති එකතු කිරීම සහ අතථ්‍ය ශුද්ධ මිනුම් ව්‍යාපෘතිය (Virtual Net Metering Project) ඇතුළු පාරිභෝගික මට්ටමේ ව්‍යාපෘති කඩිනම් කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.
ඛනිජ තෙල් ගබඩා සංකීර්ණ පුළුල් කිරීමේ ව්‍යාපෘති 14ක්
රටේ ඉන්ධන සුරක්ෂිතතාව සහ ගබඩා පහසුකම් ඉහළ නැංවීම උදෙසා ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති 14ක ඉදිරි ප්‍රතිපාදන අවශ්‍යතා ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.
නව තෙල් ටැංකි ඉදිකිරීම:
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ අලුතින් ටැංකි 06ක් සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ නව ටැංකි 02ක් ඉදිකිරීමේ කටයුතු මෙහිදී ප්‍රධාන වේ.
පහසුකම් ප්‍රතිෂ්ඨාපනය:
මීට අමතරව කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ පැරණි ටැංකි ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ එහි 07වන කලාපයේ පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතු නිසි කලට අවසන් කර මහජනතාවට ප්‍රතිලාභ සැලසීමට නියමිතය.
මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.





